සමරිසි ප්‍රජාව හා හෝමෆෝබියාවෙන් පෙළෙන මෙරට සෞඛ්‍ය සේවය



– වෛද්‍ය රුවන් එම් ජයතුංග –

ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය තුලදී සමරිසියන් පීඩාවට පත් වන බව නොරහසකි. මේ නිසා සෞඛ්‍ය සේවය තුල සිටින සමරිසි ප්‍රජාවද , සේවාලාභීන් ද නිරන්තරයෙන්ම වෙනස්කම් වලට භාජනය වෙති.

රෝහල් වලදී අඩන්තේට්ටම් වලට ලක්වන සමරිසි ප්‍රජාව

1994 වසරේදී මා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල හෙවත් කළුබෝවිල රෝහලේ සේවය කළ කාලයේදී එම රෝහලේ කම්කරුවෙකු ලෙස සේවය කල සමරිසි පුද්ගලයෙකුගේ චර්යා නිරීක්‍ෂණය කළෙමි. ඔහු සමහර විට රෝගීන් ගේ පිරිමි ඥාතීන්ට යම් බලපෑම් කල අතර රෝහලේ අනෙකුත් කම්කරුවන් ඔහුව කවටයෙකුගේ තත්වයට පත් කොට තිබුණි. 1999 වසරේදී මම උතුරු කොලඹ ශික්‍ෂණ රෝහල හෙවත් රාගම රෝහලේ සේවය කළ කාලයේදී සමරිසි වෛද්‍යවරියක් අනෙකුත් වෛද්‍යවරුන් ගේ අවමන් සහගත කතාබහට ලක් වන අයුරු අත් දුටුවෙමි. ඇය තමන් ගේ ඥාති සොහොයුරියක් බව පවසා තම සහකාරිය රෝහල් නිල නිවාසයක නවතාගෙන සිටි අතර බොහෝ වෛද්‍යවරු මෙන්ම වෛද්‍යවරියන් ඒ පිලිබඳව උපහාසයෙන් කතා කළහ.

සමරිසියෙකු වූවද ඒ බව ප්‍රසිද්ධියේ හෙළි නොකොට ජීවත් වන මනෝ වෛද්‍ය මහාචාර්‍යවරයෙකු සමග මම කාලයක් වැඩ කලෙමි. ඔහු ඉහළ දැනුමකින් යුතු පුද්ගලයෙකි. එහෙත් සමහර ව්‍යාපෘති වලදී මම ඔහුගේ නම යෝජනා කල විට සමහර විද්වතුන් විද්වත්වරියන් ඔහුව හෙළා දුටුවේ ඔහු සමරිසියෙකු බව කියමිනි. තවත් ද්‍රවිඩ මනෝ වෛද්‍යවරයෙකු තම සහකරුවා සමාජයෙන් සඟවාගෙන සිටියේ ඔහු තමාගේ රියැදුරා බව පවසමිනි. මොවුන් දෙදෙනාම පිලිගත් උගතුන් වූවද ඔවුන් තම ලිංගික අනන්‍යතාව සඟවමින් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය තුල සේවය කලේ සමාජ අපවාද වලින් බේරීම සඳහාය.

මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය දිස්ත්‍රික් සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේදී සමරිසියෙකු වූ එක් සෞඛ්‍ය ලිපිකරුවෙකුගේ චර්යාව නිරීක්‍ෂණය කළෙමි. ඔහු කාර්‍යාලයට එන බොහෝ තරුණ නිලධාරීන්ට බලපෑම් කලේය. එසේම ඔහු තරුණ ගිලන් රථ රියැදුරන්ට ලිංගික එස්.එම් එස් පණිවිඩ යැවීම් කලේය. තම ලිංගික දිශානතිය තුල ඔහු අතරමංව සිටි බවක් පෙනෙන්නට තිබුණි.

‘මා සමරිසියෙකු බව දැනගත්තේ වයස අවුරුදු 10 දීයි‘ – සමරිසි වෛද්‍යවරයෙකු කී කතාව

මා සමග මේ මාතෘකාව පිලිබඳව සාකච්ඡාවේ යෙදුණු වෛද්‍ය YKXX මහතා තමන් සමලිංගිකයෙකු ලෙස පිලිගන්නෙකි. ඔහු තම අනන්‍යතාව සඟවමින් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය තුලදී සමරිසියන් පීඩාවට පත් වන ආකාරය මෙලෙස විස්තර කරයි.

‘‘මා සමරිසියෙකු බව මම වටහා ගත්තේ වයස 10 දී පමණය. මා අමුතු අයෙකු ලෙස මට දැනුනේය. එහෙත් මම අස්වාභාවික පුද්ගලයෙකු නොවන බව මගේ සිත මට කීවේය. මම ජීව විද්‍යාව සහ මනෝ විද්‍යාව පොත පත කියවමින් සමරිසි තත්වය පිලිබඳව කියවමින් දැනුම ලබා ගත්තෙමි. මේ දැනුම පසුකාලීන ජීවන අර්බුද ජය ගැනීමට බොහෝ සෙයින් බලපෑවේය. මා අධ්‍යාපනය ලැබුවේ කොලඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලකය. මා තුළ පුරුෂරූපී ලක්‍ෂණ නොමැත බව වටහා ගත් අනෙක් සිසුන් මාගේ පාසල් කාලය පුරා මාව වාචික හිංසනයන්ට ලක් කළහ. මේ නිසා පාසල් කාලය පිලිබඳව සොඳුරු මතකයන් මා තුළ නොමැත. මගේ දෙමාපියන් මා සමරිසියෙකු බව වටහා ගත්හ. මගේ මව මට භාවාත්මකව අනගි සහයක් දුන් නමුත් මගේ පියා ඒ පිලිබඳව නිශ්ශබ්ද විය. ඔහු ඔහුගේ මරණය වන තෙත් මේ පිලිබඳව මා සමග කතා නොකළේය. යම් ආකාරයකට මා ඔහුගේ බලාපොරොත්තු කඩ කළ පුද්ගලයෙකු වන්නට ඇත. මගේ සොහොයුරියන් මට ශක්තියක් වූ නමුත් මාගේ එකම සොහොයුරාද මා පිලිබඳව මුනිවත රැක්කේය.‘‘

හෝමෆෝබියාවෙන් පෙළෙන ලංකාවේ වෛද්‍යවරු

වෛද්‍යවරයෙකු ලෙස රජයේ රෝහල් වල සේවය කරන විට සෞඛ්‍ය සේවය තුල සිටින සමරිසි ප්‍රජාවද , සේවාලාභීන්ද දරුණු වෙනස්කම් වලට භාජනය වන අයුරු මම අත් දුටුවෙමි. මාගේ අදහස අනුව ශ්‍රී ලංකාවේ රෝහල් වල සේවය කරන හෙදියෝ බොහෝ දෙනෙකු හෝමෆෝබියා තත්වයෙන් පෙලෙති. බොහෝ වෛද්‍යවරු මෙන්ම වෛද්‍යවරියන් තුළද මෙම හෝමෆෝබියාව තිබෙන බව මම අත් දුටුවෙමි. රෝහල් කාර්‍යමණ්ඩලයට මාගේ ලිංගික දිශානතිය ගැටළුවක් විය. ඔවුන් ඒ පිලිබඳව මාගේ පසුපස සිට කසු කුසු ගෑහ. මා පිලිබඳ ඕපාදූප පැවසූහ. සමහරක් මාගේ රෝගීන්ට මා පිලිබඳව අණතුරු ඇඟවූහ. මේ නිසා සමහර විට රෝගීන් මා දෙස සැකෙන් බැලූහ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටි බලධාරීන්ටද මාගේ ලිංගික දිශානතිය ගැටළුවක් විය. එක් රෝහල් අධ්‍යක්‍ෂවරයෙක් මට සිල් ගන්නා ලෙසටද , කාන්තාවක් කසාද බඳින ලෙසටද නියම කළේය. ඔහුට අනුව මා තුල තිබුනේ ආධ්‍යාත්මික ගැටළුවකි. මේ නිසා මම රෝහල් තුලදී බොහෝ සෙයින් පීඩාවට පත් වූයෙමි. එහෙත් සමලිංගිකතාව අසාමාන්‍ය රෝගී තත්වයක් නොව එය සාමාන්‍ය ජෛව විද්‍යාත්මක තත්වයක් ලෙස වටහා ගැනීමට බුද්ධියක් තිබූ පුද්ගලයන් සුළු ප්‍රමාණයක් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය තුල සිටි බවද කියමි.

සමරිසි අයිතීන් සම්බන්ධයෙන් ඉන්දියාව අපට වඩා ඉදිරියෙන්

සමරිසි අයිතීන් පිලිබඳව සලකා බලන විට ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා ආකල්පමය අතින් ඉදිරියෙන්ම සිටියි. ශ්‍රී ලාංකික සමාජය තුල හෝමෝෆෝබියාව බොහෝ සෙයින් පැතිරී තිබේ. එය සාමාන්‍ය ජීවිතයේ පමණක් නොව සාමාජික ජීවිතය දේශපාලන ජීවිතය ආදී වශයෙන් විහිදී පවතියි. මෙහිදී සමලිංගික අයිතිවාසිකම් පිලිබඳව සටන් කරන ආයතන සහ පුද්ගලයන් ගැනද යමක් කිව යුතුය. මේ ආයතන සහ පුද්ගලයන්ට බොහෝ විට තමන් ගේ ආත්මාර්ථය වඩා ගැනීමේ පුද්ගලික ඇජෙන්ඩාවන් තිබේ. මේ නිසා සත් භාවයෙන් යුතුව සමලිංගික අයිතිවාසිකම් පිලිබඳව කටයුතු කරන්නෝ අල්පයකි. දුප්පත්කමින් සහ නූගත්කමින් මිරිකී ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත් වන සමරිසියන් පිලිබඳව බොහෝ දෙනෙකු දන්නේ නැත . ශ්‍රී ලාංකික සමාජය තුල ඔවුන් බොහෝ පීඩාවන්ට පත් වෙති.

සමලිංගිකතාව යනු ලිංගික දිශානතියක් පමණක් නොවන ජීවන ක්‍රමයකි

සමලිංගිකතාව යනු ලිංගික දිශානතිය පමණක් නොවේ. එය ජීවන ක්‍රමයකි. දියුණු රටවල සමලිංගිකතාව පිලිගන්නා නමුත් ශ්‍රී ලංකාව තවමත් එම මට්ටමට පත්වී නොමැත. කටුක සත්‍ය නම් ශ්‍රී ලාංකික සමාජයටත් වඩා ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය හෝමෝෆෝබියාවෙන් පෙළීමය.


වෛද්‍ය රුවන් එම් ජයතුංග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සැකසී ඇත.