‘දේශපාලන බලපෑම් නිසා මෙරට දූෂණ විරෝධී යාන්ත්‍රණය අඩපණ වීමේ අවදානමක’ – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්


දූෂණයට එරෙහි ගෝලීය එකමුතුව වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළිදක්වන දූෂණ සංජානන දර්ශකයට අනුව, 2018 වසරේදී ද පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බව එම ආයතනය අද (29) දින නිකුත් කළ නිවේදනයකින් අනාවරණය කර තිබේ.

දූෂණ සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 (බෙහෙවින්ම දුෂිත) සිට 100 (ඉතා පිරිසිදු) යන ආකාරයට අගයන් ලබා දෙමින් රටවල් ශ්‍රේණිගත කරන අතර, ඒ අනුව ශ්‍රී ලංකාව 38 ක අගයක් හිමි කරගෙන රටවල් 180 අතරින් අසු නව වන (89) ස්ථානයේ පසු වෙයි..දකුණු ආසියාතික රටවල් අතරින් තුන් වන (03) ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතත් එය පසුවන්නේ පිළිවෙලින් ලෝකයේ විසි පස්වන (25) සහ හැත්තෑ අට වන (78) ස්ථාන හිමිකර ගන්නට සමත් වූ භූතානය සහ ඉන්දියාවට පසුපසිනි.

ඒ අනුව, 2013 වසරේ සිට 36 සහ 38 යන අගයන් අතර ඉහළ පහළ යමින් වාර්තා වන දූෂණ සංජානන දර්ශක දත්ත හරහා පිළබිඹු වන්නේ, ආණ්ඩුව විසින් පොරොන්දු ප්‍රකාර ලෙස දූෂණයට එරෙහිව සටන් වදින බව පවසමින් ලබා ගත් ජන වරමට සහ බලයට පැමිණීමට පෙර ඉදිරිපත් කරන ලද දූෂණ විරෝධී ප්‍රතිපත්ති වලට පටහැණිව, ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී යාන්ත්‍රණය එක තැන පල් වෙන තත්වයකට පත්ව ඇති බවයි.

රටවල් 180 ක රාජ්‍ය අංශයේ වාර්තා වන දූෂිත ක්‍රියාකාරකම් මැනීම සඳහා 2018 වසරේ දූෂණ විරෝධී සංජානන දර්ශකය ගණනය කිරීමේදී, සමීක්ෂණ සහ විශේෂඥ ඇගයීම් 13 ක් යොදා ගනු ලැබූ අතර, ඉන් ලැබුණු ප්‍රථිපල අනුව, පිළිවෙලින් ඩෙන්මාර්කය සහ නවසීලන්තය ලකුණු 88 සහ 87 අගයන් ලබා ගනිමින් ප්‍රථම සහ දෙවන ස්ථාන වල රැඳී සිටින අතර ලකුණු 10 ක අගයක් ලබා ගත් සෝමාලියාව අවසාන ස්ථානයේ පසු වෙයි.


ශ්‍රී ලංකාව, දූෂණ සංජානන දර්ශකයේ ලබා තිබෙන අගය පිළිබඳ අදහස් දක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මෙසේ ප්‍රකාශ කර සිටියේය.“ දූෂණ සංජානන දර්ශකය හුවා දක්වන්නේ රාජ්‍ය අංශයේ සිදු වන දූෂණ බව වටහා ගැනීම අතිශයින් වැදගත්. ව්‍යවස්ථාවෙන් සම්පාදිත නීතිමය රාමුවට අනුව නිසි කලට සහ නිසි ආකාරයට දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම, රටක් වශයෙන් ශ්‍රී ලංකාව අද වන තුරුත් ප්‍රගතියක් අත් කර නොගැනීමට හේතු වී තිබෙනවා” යන්නයි.

ඔහු අවධාරණය කර සිටින්නේ, “2019 වසරේ දී, ඉහළ පෙලේ දූෂණ නඩු කිහිපයක අවසාන නිගමන ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. නමුත් ඒ සඳහා බලධාරීන් අපක්ෂපාතීව සහ ස්වාධීනව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. නීතිය ක්‍රියාත්මක වීම තෝරාගත් පිරිසකට හෝ දේශපාලන අරමුණු පදනම් කරගනිමින් සිදුවන්නේ නම්, එය දූෂණ විරෝධී යාන්ත්‍රනයට සහ අධිකරණ පද්ධතියට දැඩි ලෙස හානිකර විය හැකියි” යන්නයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය දක්වන ආකාරයට, රටක පවත්නා දූෂණ මට්ටමේ තරම සහ එම රට කොපමණ මට්ටමකට ප්‍රජාතන්ත්‍රවාදීද යන්න අතර සම්බන්ධතාවයක් පවතී. එම ආයතනය දක්වන ආකාරයට, පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රටවල්, දූෂණ සංජානන දර්ශකයේ ලබන සාමාන්‍ය අගය 75 වන අතර දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලබා ගන්නා සාමාන්‍ය අගය 45ක් ලෙස වාර්තා වේ. ප්‍රජාතන්ත්‍රවාදී එහෙත් ඒකාධිපති ප්‍රවණතා සහිත දෙමුහුන් රාජ්‍යයන් වල සාමාන්‍ය අගය 35 වන අතර අවම සාමාන්‍ය අගයක් සහිතව නරකම තත්වයෙන් පසුවන්නේ ඒකාධිපති පාලනය සහිත රටවල් වේ. එම රට වල සාමාන්‍ය අගය 30 ලෙස දැක්වේ. ඒ අනුව මෙම විග්‍රහයෙන් යෝජිත ආකාරයට, ශ්‍රී ලංකාව, දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී නමුත් ඒකාධිපති ප්‍රවණතා පෙන්නුම් කරන දෙමුහුන් පාලනයක් පවත්නා රටවල් අතර ස්ථානගත වී ඇත.