'රණවිරුවෝ' කියන වචනේ වැරදියට පාවිච්චි කරන්න එපා - හේමසිරි ප්‍රනාන්දු



ඊයේ (21) දින නාලන්දා විද්‍යාලයේ පැවති පිළිගැනීමේ උත්සවයකදී ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ‘රණවිරුවන්‘ යන වචනය ලංකාවේ භාවිත කිරීමේ නිරවද්‍යතාව හා එළඹෙන සති දෙක තුළදී හමුදාවේ සේවය කළ ම්ලේච්ඡ මිනීමැරුම් වලට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකුට දඬුවම් ලබාදීමට නියමිත බව අනාවරණය කළේය. මේ කතාබහත් සමග ආරක්ෂක ලේකම්වරයා ඩයස්පෝරාවේ අවශ්‍යතාවන් ඉටුකරන බවට වූ මතයක්ද සමාජ මාධ්‍ය හරහා පැතිර යයි. 

‘රණවිරුවන්‘ යන වචනය උත්කර්ෂයට නැගෙන්නේ මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදීය. මේ වචනය තව තවත් සමාජය අතර පැතිරෙන්නට පටන්ගන්නේ මානුෂීය මෙහෙයුමේදී යුද්ධය ගැන පුළුල් වාර්තාකරණයක නියැලුණු ජනමාධ්‍ය හරහාය. 

කෙසේවුවත්, හේමසිරි ප්‍රනාන්දු පළකල මේ අදහස ගැන දේශපාලඥයින් මෙන්ම ජනතාවද නැවත වරක් සිතා බැලිය යුතුය. 

‘මේ රටේ රණවිරුවෝ ඉන්නේ 39,000 යි. ඒ 39,000 න් 34,000 ක් ඉන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ. 4400 ක් ඉන්නේ නාවික හමුදාවේ, 868 යි ඉන්නේ ගුවන් හමුදාවේ. රණවිරුවෙක් වෙන්න නම් තමන්ගේ නමට රණවිරු පදක්කමක් අනිවාර්යෙන් ගැසට් කළ යුතුමයි. එහෙම නැතුව අර දැන් මාස තුනකට ඉස්සරලා හමුදාවට බැඳෙන අර තරුණ කොල්ලා ගමෙන් බහින්නේ බස් එකෙන් ‘මමත් දැන් රණවිරුවෙක්‘ කියාගෙන. ඒක හරියන්නෑ. රණවිරුවෝ 39,000 යි ඉන්නේ. මම තමයි ඉස්සරලම ජනාධිපතිතුමාට කිව්වේ ‘අතිගරු ජනාධිපතිතුමනි, මේ ප්‍රකාශය කරන්න එපා, මේක හරිම නොමගයවන සුළු ප්‍රකාශයක්. මේ ඉන්න රණවිරුවෝ හැමදෙනාටම ගැසට් කරලා තියෙන්න ඕන රණවිරු පදක්කමක්.  

මේ රටේ බොහෝ දෙනා මේ රණවිරුවෝ කියන එක වැරදි විදියට අර්ථකතනය කරනවා. රණවිරුවා හමුදාවෙන් ගිහිල්ලා මිනියක් මරපු දවසට එයාට රණවිරුවා කියන්න බැහැ. එයාට කියන්නේ මිනීමරුවා කියලා, එයාව ලංකාවේ වලංගු නීතියට අනුව අධිකරණයට ගෙනැල්ලා උපරිම දඬුවම් දිය යුතුයි. අපි ඒ වගේ ක්‍රියාමාර්ග දැන් අරගනිමින් යනවා. 

විශේෂයෙන්ම තව සුමාන දෙකක් ඇතුළත ලංකාවේ සිදුවෙච්ච ඉතාම බිහිසුණු ම්ලේච්ඡ මිනීමැරුමට සම්බන්ධ වෙච්ච හමුදා පුද්ගලයන් 11 දෙනෙකුට අපි නඩු පවරනවා, අන්න එදාට ඩයස්පෝරා එකට කියන්න බැහැ, ‘ලංකාවේ හමුදාව, එහෙම නැත්නම් රජය මේ මානව හිමිකම් කඩකළ, අමානුෂික විදියට කටයුතු කරපු, හමුදාවට අපි දඬුවම් දෙන්නේ නැහැ කියලා‘. අපි එදාට අභියෝග කරනවා ඩයස්පෝරා එකට ‘උඹලට තියෙනවා නම් තවත් මේ වගේ ඔප්පු කරන්න පුළුවන් සාධක ඇති මේ වගේ මිනීමැරුම් කරුණාකරලා අපිට දෙන්න.‘ අපි ඒවත් ඒ විදියටම විභාග කරලා ඒවටත් දඬුවම් දෙනවා. 

අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලත් සමහරවෙලාවට මේ ‘රණවිරුවෝ‘ කියන වචනේ වැරදියට පාවිච්චි කරනවා. මේක පාවිච්චි කරන්න එපා. මේකට එංගලන්තේ කියන්නේ ‘වෝර් හීරෝ‘ කියලා, ඇමරිකාවේ කියන්නේ ‘වෝර් වෙටරන්‘ කියලා. ලංකාවේ තමයි පන්ලක්ෂයක් යුද්ධෙට සහභාගී වුණු හමුදාවට - රණවිරුවෝ කියන්නේ. මේක සම්පූර්ණයෙන් වැරදියි.‘‘