උත්තරීතර ශ්‍රේඨාධිකරණ තීන්දුවෙන් පසු!


මැතිවරණ පිස්සුව අමතකකොට සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා රට ස්ථාවර කිරීමට සෑම දෙනෙකුම කටයුතු කළ යුතු වෙමු





කතුවැකිය





ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තම තීන්දුව ප්‍රකාශ කොට ඇත. එය කිසිවකුගේ ජයග්‍රහණයක් හෝ පරාජයක් නොව, ඉතාම හොඳ පාඩමකි. මෙහිදී කිසිවකුට එරෙහිව අවලාද නැගීම හෝ හරයක් නැති නමුත් හැඟීම් මත පදනම් වූ විවේචන ඉදිරිපත් කිරීම කිසිම ප්‍රයෝජනයක් නොමැති දෑය. වැදගත් වන්නේ මරු කටෙන් ගොඩ ඒම සඳහා ගතහැකි වඩාත්ම යහපත් තීරණය ගැනීමය.





එසේම සීතල කුමන්ත්‍රණයෙන් ආණ්ඩු බලය ලබාගත් පාර්ශවය රටේ අධිකරණය විවේචනය කිරීම වැදගත් නැත. මන්ද අධිකරණය විසින් මෙරට කාලාන්තරයක් තිස්සේ දැවුණු ප්‍රශ්නයක් විසඳා ඇත. එනම්, මෙරට අධිකරණය ස්වාධීන සහ එය යුක්තිය පසිඳලීමේ හැකියාවෙන් ඇති බව ලෝකය හමුවේ ඔප්පුකොට ඇත. විදේශීය විනිසුරන් මෙරටට ගෙන්වීම, විදුලි පුටු ගැන තිබු ව්‍යාජ භීතිය අධිකරණය විසිනම් එහි ගෞරවය මනා ලෙස ආරක්ෂා කරගෙන සහතික කොට තිබේ. මේ නිසා රටේ දේශප්‍රේමීන්, ජනතාව මුලාවේ නොහෙලන්නේ නම් මනාය. මේ නිසා අනවශ්‍ය ලෙස ගරු අධිකරණයේ කටයුතු ගැන තම පටු දේශපාලන අරමුණු දිනා ගැනීම වෙනුවෙන් විවේචනය නොකරන්නේ නම් වටින්නේය.





අද දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර, මැතිවරණයක් කැඳවීමේ නියෝගයට අදාළ ගැසට් පත්‍රය නීති විරෝධී බව සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කරනු ලැබීය. එය ඉතිහාසගත තීන්දුවකි. ඒ අනුව ජනාධිපතිවරයා රටේ ව්‍යවස්ථාව උල්ලඝණය කළ අයෙකු බවට පත් වේ. මෙය බරපතළ තත්වයක් වන අතර මෙහි කෙලවර ජනාධිපතිවරයා දෝෂාභියෝගයකට ලක කල හැකිය. එහි අවසානය ජනාධිපති සිරිසේන මහතාට ප්‍රජා අයිතිය අහිමිවීමේ අවදානමක් තිබේ. මෙමෙ ගැටලුවේ අවසානය එවැනි ඛේදවාචකයක් කරා නොයන්නේ යයි සිතමු.





එසේම මහින්ද රාජපක්ෂ මහතා සර්ව සම්පූර්නයෙන්ම දේශපාලන අනාතයෙකු වීමට පෙර රටේ ජනතාව අමතා අධිකරණය විසින් අත්හිටුවා ඇති අග්‍රාමාත්‍යය තනතුරෙන් ඉල්ලා අස්වන්නේ නම් ඉතා වැදගත් වේ.





මෙහිදී ඉතාම වැදගත් වන්නේ, කුමන හෝ හේතුවක් යළිත් අමුණාගෙන නිශ්චිත කාලය පැමිණීමට පෙර යළිත් මැතිවරණයක් කැඳවීම කළහොත් රටේ ඇති වී ඇති අස්ථාවර දේශපාලන තත්වය තව දුරටත් ව්‍යාකූල වීම හැරෙන්නට වෙනත් යමක් සිදුවන්නේ නැත.





ජනාධිපති සිරිසේන මහතා විසින් ගත් තීන්දු හේතුවෙන් සිදු වී ඇති සමාජ සහ දේශපාලාන වෙනස්කම් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අවදානයක් ගෙන ඇත. ශ්‍රී ලංකාව අනෙක් රටවල වෙළඳපල සමග යැපෙන ආර්ථිකයක් ඇති රටකි. ඇත්ත තේරුම් ගැනීමට මෙයම ප්‍රමාණවත් වේ. එසේම අනෙකුත් රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන යන ප්‍රතිපත්තිය මෙරට සමාජ ප්‍රගමනය සඳහා ඉතාම තීරණාත්මක වේ. එබැවින්, මෙම කාරණය පසෙකලා තම බලය තහවුරු කිරීම සඳහා පමණක් තීන්දු නොගත යුතුය. එහි අවදානම නොසලකා හැර තම අභිමතය පරිදි දේශපාලන තීන්දුවක් ගතහොත් රටට සහ ජනතාවට සිදුවිය හැකි හානිය ඉතාම බරපතළ විය හැකිය.





මෙවැනි ව්‍යාකූල වටපිටාව විසඳා ගැනීම සඳහා ඇති ඉතාම වැදගත් විසඳුම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් වලට අනුගත වෙමින් වඩාත් හොඳ තීරණය ලබා ගැනීමට කටයුතු කිරීමය. ඊට ඇති එකම ක්‍රමය නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ එකතු වී සර්ව පාක්ෂික අනත්ර්වාර ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමය. පාර්ලිමේන්තුවේ සිටින පුද්ගලයින්ට, බුදුන්ගේ සහ දෙවියන්ගේ නාමයෙන් මේ රට වෙනුවෙන් කළ හැකි වඩාත්ම යහපත් කටයුත්ත එය වනු ඇත.





මෙහිදී අගමැතිධූරයට වික්‍රමසිංහ මහතා පත් කරන්නේද, නොඑසේනම් වෙනත් අයෙකු පත් කරන්නේද? යන්න මෙම කාරණයේ අතුරු ප්‍රශ්ණයක් පමණි. වැදගත් වන්නේ, කෙසේ හෝ රට මුහුණ දී ඇති අතිශය ව්‍යාකූල තත්වයෙන් ගලවා ගැනීමය. එය කළ හැකි ඉතාම වැදගත් සහ ශීලාචාර ක්‍රමය වන්නේ, සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් විසින් වසරක් පමණවත් රටේ පරිපාලන කටයුතුවල වගකීම භාර ගැනීමය.





ජාත්‍යන්තර වශයෙන් වර්ධනය වෙමින් පවතින විරෝධය රටේ මහජනතාවගේ යහපත වෙනුවෙන් හරවා ගැනීමට සර්ව පාක්ෂික අනතර්වාර ආණ්ඩුවක් යටතේ හැකි වනු ඇත. එසේම, රට තුළ මතු වෙමින් පවතින හිංසනය නැඹුරු වූ වර්ගවාදී මූලයන් වලින් සිදුකළ හැකි විශාල හානිය ඉතාම අඩු කරගැනීමට හැකිවනු ඇත. වසරක පමණ කාලයකින් පසු, රට ජනතාවට තම කැමත්ත මත අවශ්‍යය පාලකයා සහ පාලක කණඩායම තෝරා ගැනීමට හැකි වනු ඇත.





ඒ වෙනුවට, ජයග්‍රහණය බලෙන් ලබා ගැනීමට ගියහොත් සිදුවන්නේ, කකුල මුඛයට දාගෙන හපා ගැනීමක් පමණක් නොව සමස්ථ රාජ්‍යය වඩාත් බිහිශුනු ලෙස ගරා වැටීමට ලක්වීමය. කරුණාකර එම පව් වැඩේ නොකර සිටින මෙන් අපි, වගකිව යුතු සියලුම දෙනාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.