ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ව්‍යවස්ථා විරෝධියි - ඵෙතිහාසික තීන්දුවක්






ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) ප්‍රකාශ කළ අතර මෙය ඵෙතිහාසික තීන්දුවක් වේ.









අගවිනිසුරු නලින් පෙරේරා, විනිසුරු බුවනෙක අළුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෘ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, විනිසුරු ප්‍රසන්න එස්. ජයවර්ධන, විනිසුරු විජිත් කේ. මළලගොඩ හා මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුණි.









ජනාධිපති සිරිසේන පසුගිය මාසයේදී අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළේය. පාර්ශ්ව ගණනාවක් මේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සම් ගොනුකරනු ලැබුණි.









මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට හත්වන ජනාධිපතිවරයා වන අතර පසුගිය 2015 වසරේ දී බලයට පත්වූ මෙතුමා මේ වනවිට උද්ගතව ඇති ව්‍යවස්ථා අර්බුදයට මග පෑදූ තැනැත්තා ලෙස සලකනු ලැබේ.









පසුගිය සැප්තැම්බර් 26 වැනිදා එජාපය නියෝජනය කරන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇතිකරගෙන තිබූ ඒකාබද්ධ ආණ්ඩුවෙන් ඉවත්වීමට මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කළේය.









මෙදිනම රාත්‍රී 7 ට පමණ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීමට ජනපති සිරිසේන කටයුතු කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරක්ෂක අංශයේ ඉහළ බලධාරීන් ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දුන් අතර මේ අවස්ථාව රූපවාහිනී මාධ්‍යයෙන්ද සජීවීව විකාශය කෙරුණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දකුණු පළාතේ සංචාරයක නියැලෙමින් සිටින අතරතුරදී ජනපති විසින් තවත් අගමැතිවරයෙකු බලයට පත්කෙරුණි. සමහර මැති ඇමතිවරු මේ අවස්ථාව සහමුලින්ම ව්‍යවස්ථා විරෝධී බව පවසන විට අනෙක් පසින් නව ආණ්ඩුවට සහයදීමට තවත් ඇමතිවරු පිරිසක් එක්විය. එ් සමග කොළඹ නගරය පුරා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත විය.









අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් විය යුතු බව ජනාධිපති සිරිසේන සැප්තැම්බර් 27 වැනිදා නිළ වශයෙන් දැනුම් දුන් අතර තමන් මෙතෙක් කළ කටයුතු සාධාරණීකරණය කරමින් ජනපති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළේය.









තත්ත්වය මෙසේ තිබියදී අගමැති නිළ නිවස වූ අරලියගහ මැඳුරට පිවිසි වික්‍රමසිංහ මහතා - මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම ප්‍රතික්ෂේප කරමින් තමන් තවමත් අගමැති බව දන්වමින් ජනපති වෙත ලිපියක් ද යොමුකළේය. ජනපති සිරිසේන හා ජනපති විසින් පත්කළ අගමැති මහින්ද එක්වී නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවන බවට නිවේදනයක් නිකුත් කළේය.









ඉන්පසු, ජනපතිතුමා අසාමාන්‍ය අන්දමේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් 2019 ජනවාරි 5 වැනිදා මහ මැතිවරණය පවත්වන බවත් අලුත් පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම 2019 ජනවාරි 17 වැනිදා සිදුකරන බවත් නිවේදනය කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ, ‘‘නොවැම්බර් 9 – 26 වැනිදා දක්වා කාලයේදී නාමයෝජනා කැඳවීමට නියමිත බව‘‘යි.









කෙසේවුවත්, ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සම් 12 ක් යොමුකෙරුණි. ඒ අතරට UNP, TNA, JVP, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) හා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන රත්නජීවන් හූලේ මහතා ද ඇතුළත්ය.









ජනපතිගේ තීරණය ව්‍යවස්ථා විරෝධී බව මෙමගින් අවධාරණය කළ අතර ඔක්තෝබර් 26 වැනිදාට පෙර පැවති තත්ත්වය නැවත ඇතිකරන ලෙස හූලේ මහතාගේ පෙත්සම මගින් ඉල්ලා ඇත. හූලේ මහතා යොමුකළ පෙත්සම මගින් අවධාරණය කර ඇති මෙම කරුණ තවත් පෙත්සම් 11 කින් දක්වා ඇති තර්කය ශක්තිමත් කරයි.









මෙම පෙත්සම් මෙදිනම ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන හා ප්‍රියන්ත ජයවර්ධන යන තිදෙනෙකුගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල විභාග කළ අතර පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනපති ගත් තීරණය පිළිබඳ දෙසැම්බර් 7 වැනිදා දක්වා අතුරු තහනම් නියෝගයක් මෙම විනිසුරු මඩුල්ල විසින් පනවනු ලැබුණි. මේ සමග ජනපතිතුමා ගත් තීරණය පිළිබඳ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරියට ගෙන යාමට අවසර දෙන ලදී.









මේ අතරින් පෙත්සම් 10 ක් විභාග කිරීමට විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් සමන්විත මඩුල්ලක් අගවිනිසුරුතුමා විසින් නම් කරන ලද අතර දෙසැම්බර් 4, 5, 6 හා 7 දින ඒ සඳහා වෙන් කෙරුණි. අද දින ප්‍රකාශයට පත්කළ මෙම ඵෙතිහාසික තීන්දුව ලබාදුන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.