අගමැති දිවුරුම් දීම ජනමාධ්‍යට වාරණය කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකියි






රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස ඊයේ (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්  අවස්ථාව ජනමාධ්‍යට වාරණය කිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි විරෝධය පළකර නිවේදනයක් නිකුත් කර ඇත. 





එම නිවේදනය, 





‘‘ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයෙ දී දිවුරුම් දුන් අවස්ථාව ජනමාධ්‍යට වාරණය කිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම දැඩි විරෝධය පළ කරයි.









අග්‍රාමාත්‍යවරයෙකු දිවුරුම් දීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඉහළ ප්‍රවෘත්තිමය වටිනාකමකින් යුත් සිදුවිමක් වන අතර, ඒ පිළිබඳ තොරතුරු දැනගැනීම සමාජයේ සියලු පුරවැසියන් සතු අයිතියකි. එය මෙරට පමණක් නොව ජාත්‍යයන්තර ප්‍රජාව ගේ ද අවධානයට යොමු වන පුවතකි. එසේ තිබියදි මෙම අවස්ථාව දෙස් විදෙස් ජනමාධ්‍යයට වාරණය කිරීම අප දකින්නේ ප්‍රජාව සතු තොරතුරු දැන ගැනීමේ අයිතියට එරෙහි වීමේ පියවරක් ලෙසය.









එම පසුබිම යටතේ මෙම වාරණය මෙරට ජනමාධ්‍ය නිදහසට මෙන්ම තොරතුරු දැන ගැනිමේ අයිතියට ද එල්ල කළ බාධාවක් ලෙස සලකමින්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම පියවර දැඩිව හෙළා දකියි.‘‘