කංසා නීතිගත කිරීම රටට විදෙස් විනිමය ගෙනඑන උල්පතක්






කංසා නීතිගත කිරීමෙන් විදෙස් විනිමය ඉපැයිය හැකි බවත් කංසා ශාකය නීතිගත කරන ලෙස රජයෙන් ඉල්ලා ඇති බවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් තුසිත බාලසූරිය පවසයි. මේ ගැන නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍යංශය කරන ලද ඉල්ලීමකට අනුව මේ අදහස අයවැය යෝජනාවක් ලෙස ද ඉදිරිපත් කර ඇති බවයි. 






සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය,     









''කංසා ශාකය නීතිගත කරන ලෙසට අප විසින් රාජ්‍යයෙන් ඉතා පැහැදිලි ඉල්ලීමක් කර ඇත. මුදල් අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව අයවැය යෝජනාවක් ලෙස අප එම යෝජනාවලිය ඉදිරිපත් කරන ලදී. එහි අරමුණ කංසා ජාතික ධනය උපයන ශාකයක් බවට පත්කිරීමයි. රටේ ණය ගෙවා දැමීමට ජනාධිපති අපේක්ෂකයෙක් යෝජනා කිරීම වෙනුවට රටට ධන උපායන මාර්ගයක් අප විසින් ගෙන එයි. එය රටට විශාල විදෙස් විනිමයක් උපයන මිල අධික යෝජනාවකි.









දකුණු ආසියාවේ කංසා නීතිගත කරන පළමු රට බවට පත්වීමට එමගින් ලංකාවට අවස්ථාව උදාවෙයි. මත්පැන් වෙළෙන්දන්, බටහිර ඖෂධ නිෂ්පාදකයින්, වික්ටෝරියානු සදාචාරවාදී වෘත්තිකයන් සමඟ එක්ව මාධ්‍ය මාෆියාව විසින් කංසාවලට විශාල සමාජ අපකීර්තියක් පටබැඳ ඇති නිසා කංසා පිළිබඳ ජනතා මතය ප්‍ර‍සිද්ධියේ ප්‍රකාශ නොවුනත් බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාව සිටින්නේ කංසා නීතිගත කිරීම අනුමත කරන ස්ථාවරයක බව නොඅනුමානය.









කංසාවලට අදාළ නීතිරීති වෙනස් කිරීමට පැවති රජයන් කිහිපයක් උත්සාහ ගත්තේ ය. නීතිය හා සාමය සුරකින පොලිසියද දැනටමත් ඊට යම් අනුමැතියක් ලබා දී තිබේ. නැත්නම් කංසා භාවිතය නිසා අත්අඩංගුවට පත්වන පිරිස මීට වඩා බොහෝ වැඩි වෙති. අධිකරණය වුවද කංසා ස්වල්පයක් ලග තබා ගැනීමේ වරදට නියම කරන්නෙ සුලු දඩ මුදලකි. ව්‍යවස්ථාපිත නීතිය අනුගමනය කිරීමට වඩා භාවිත නීතියේ තරමක සහනයක් ලබා දීමට පොලිසියේ සහ අධිකරණයේ නැඹුරුවක් ඇති බව එමගින් තහවුරු වෙයි.













කංසා නීති විරෝධී වුවත් මත් ජාවාරම්කරුවන් කංසා වෙළදාමේ නිරත වන බව නොරහසකි. ඉන්දියානු ධීවරයින් හරහා ලැබෙන කේරල ගංජා ලංකාවේ බහුතර ජනයා අතර ප්‍ර‍සිද්ධ ය. කංසා බීජ අභිජනනය අතින්ද ඉන්දියාව ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ කංසා වගාව අනීතිකව පැවතීමෙන් වාසි අත්වන්නේ ඉන්දියාවට ය. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල කංසා වෙළදාම සිදුකරන්නේ යුරෝපයේ සිට එන සංචාරකයින් ය. පසුගිය පස් වසරක් තිස්සේ අප රාජ්‍යයෙන් ඉල්ලා සිටින්නේ කංසාවලින් රටට ලැබෙන ආර්ථික වාසි අත්හැර නොදමන ලෙසයි.









වගා බලපත්‍ර නිකුත් කිරීම මගින් පුද්ගලික අංශයද ඊට දායක කරගත හැකිය. නමුත් ඔවුන් සියල්ල රජයේ නියාමනයට හෝ හවුල්කාරිත්වයට යටත් විය යුතුය. ඊට අමතරව රජයට අයත් කංසා බීජ පර්යේෂණ ආයතන, වගා බිම් හා කංසා ආශ්‍රිත කර්මාන්ත ආයතන පිහිටුවීමෙහි සිට රාජ්‍ය ඔසුසැල්වල කංසා අලෙවි කිරීම දක්වා රාජ්‍ය අංශයට ඊට සෘජුව දායක වියහැකි අවස්ථා අපගේ අයවැය යෝජනාවලියේ පැහැදිලිව අන්තර්ගත කර ඇත. ඉදිරියේ කංසා පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කිරීම අපගේ බලාපොරොත්තුවයි.'' 

















සබැඳි පුවත් 









ලංකාවට මත් යුද්ධයක් එපා  





කංසා අපරාධ නීතියෙන් වෙන්කොට තබන්න