ජාතික රෝහලේ විකිරණ අංශයේ DSA යන්ත‍්‍රය වසර දෙකක් අක්‍රියයි - රෝගී ජීවිත අනතුරේ

ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ ප‍්‍රධාන විකිරණ අංශයේ තිබූ DSA යන්ත‍්‍රය (Digital Substractive Angiogram - ලේ නහර ආශ‍්‍රිත පරීක්ෂණ හා ප‍්‍රතිකාර කිරීම - හෘදය හැර) 2016 වසරේ සිට අක‍්‍රීයව තිබෙන නිසා රෝගීන් දැඩි පීඩාවට පත්ව තිබෙන බවට සමස්ත ලංකා හෙද සංගමයේ වැඩබලන සභාපති මැදවත්ත මහතා නිවේදනය කර සිටියි. 


මෙම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ,  ‘‘මෙම යන්ත‍්‍රය මගින් රෝගීන්ට විශාල සේවාවක් ලැබී තිබේ. ලේ නහරවල ඇතිවන්නා වූ විවිධ රෝග තත්ත්ව සම්බන්ධයෙන් පරීක්ෂණ හා ප‍්‍රතිකාර ලබාදීමට ද මෙම යන්ත‍්‍රය උපයෝගී කොට ගන්නා ලදී. මෙම යන්ත‍්‍රයේ විශේෂත්වය වන්නේ ශල්‍යකර්ම කිරීමකින් තොරව රෝගියාගේ රෝගී තත්ත්වයට ප‍්‍රතිකාර කිරීමට හැකිවීමයි.


නමුත් 2016 වසරේ සිට නව යන්ත‍්‍රයක් ගැනීමට ටෙන්ඩර් කැඳවූවද, ටෙන්ඩරය ලබාගත් ආයතනයට විරුද්ධව ටෙන්ඩර් ඉදිරිපත් කළ තවත් ආයතනයක් කටයුතු කිරීම තුළ ටෙන්ඩරය අවලංගු වී තිබේ. 2018 වසරේදී ද එම යන්ත‍්‍රය ලබාගැනීමට ටෙන්ඩර් කැඳවූව ද ටෙන්ඩරය ලබාගත් ආයතනයට විරුද්ධව තවත් ආයතනයක් කටයුතු කිරීම හේතුවෙන් තවමත් DSA යන්ත‍්‍රය ලබාගැනීමට නොහැකි වී තිබේ.


මෙම තත්වය හමුවේ ජාතික රෝහල තුළ ලේ නහර ආශ‍්‍රිත විවිධ ආබාධවලින් පෙළෙන දහස් සංඛ්‍යාත රෝගීන් පිරිසකට ප‍්‍රතිකාර ලබාදීමේ හැකියාව සීමා වී ඇත. මෙය රෝගීන්ට සිදුවී තිබෙන දැඩි අසාධාරණයකි. රට පුරා දහස් සංඛ්‍යාත පිරිසක් ලේ නහර ආශ‍්‍රිත රෝගවලින් පෙළෙන අතර, ඒවාට කළට වේලාවට ප‍්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවීම නිසා ඔවුන්ගේ රෝග තත්ත්වය බරපතල වීම හෝ ඔවුන් මියයාම සිදුවේ. 


ජාතික රෝහල සතුව වෙනත් ඒකක 02 ක DSA යන්ත‍්‍ර 02 ක් තිබුණද, ඒවා එම ඒකකවල ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ කටයුතු සඳහා ප‍්‍රධාන වශයෙන් යොදා ගැනීමට සිදුවී තිබේ. එසේම ජාතික රෝහලේ මෙම ප‍්‍රතිකාර සඳහා මාස 02 - 03 ක පොරොත්තු ලේඛණයක් ද ඇති බව පැවසේ.


තවද, ප‍්‍රධාන විකිරණ අංශය තුළ DSA යන්ත‍්‍රයෙන් ප‍්‍රතිකාර ලබාදීම සඳහා විකිරණ විශේෂඥ වෛද්‍යවරු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු ද ඇතුළුව අනිකුත් සියලූ උපකරණ ද විශාල ලෙස තිබෙන තත්ත්වයකදී මෙමDSA යන්ත‍්‍රය ලබාගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන් අවංක මැදිහත් වීමක් සිදු නොකිරීම බරපතල සැක සංකා ගණනාවක් ඇති කර තිබේ. මෙම පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදුකරගැනීමේදී ලක්ෂ ගණනින් ගෙවීමට රෝගීන්ට සිදුවේ. 


එබැවින්, රටේ අසරණ රෝගීන්ට නොමිලේ ප‍්‍රතිකාර ලබාගැනීමට තිබෙන මෙම සුවිශේෂී යන්ත‍්‍රය ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් මෙන්ම ජාතික රෝහලේ බලධාරීන් ද වහා කටයුතු කළයුතු බව පෙන්වා දෙන්නෙමු.'' යන්නයි.