ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය චීනයේ ෂැංහයි දී ඇරඹේ

චීන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අද (5) උදෑසන චීනයේ ෂැංහයි නගරයේ දී ආරම්භ වූ අතර ලබන 10 වැනිදා දක්වා මෙය පැවැත්වීමට නියමිතය.  මෙහි සමාරම්භක උළෙලේදී අදහස් දැක්වූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසුවේ, ‘‘මෙම ප්‍රදර්ශනයට එක් වන රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 172ක් සහ 3600කට වැඩි ව්‍යවසායන් චීන රජය හා ජනතාව වෙනුවෙන් උණුසුම්ව පිළිගන්නා බව‘‘ යි.  මෙරට නියෝජනය කරමින් ව්‍යාපාරික නියෝජිත පිරිසක් ද මීට සහභාගී වී සිටීම විශේෂය.



චීන සංවර්ධනයන්හි පවතින අවස්ථාවන් ග්‍රහණය කරගෙන ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ සහයෝගිතා පුළුල් කරමින් පොදු සමෘද්ධිය ඉටු කර ගත හැකි බවට ද හෙතෙම සිය විශ්වාසය පළ කළේය.


චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, ආනයනය තේමා කර ගත් ලෝකයේ ප්‍රථම ජාතික මට්ටමේ ප්‍රදර්ශනයයි. එය ජාත්‍යන්තර වෙළඳ සංවර්ධන ඉතිහාසයේ දැවැන්ත නිර්මාණයක් ද වේ. චීනය විදේශයන්ට විවෘත වීම පුළුල් කිරීම සඳහා අලුතින් ක්‍රියාත්මක කරන දැවැන්ත තීන්දුවක් ලෙස ද මේ අවස්ථාව හඳුනාගත හැකිය.


වත්මන් ලෝක ආර්ථිකය ගැඹුරු ලෙස සකස් වෙමින් පවතී. ආරක්ෂණවාදය හා ඒකපාර්ශ්වවාදය මතු වී තිබේ. ආර්ථික ගෝලීයකරණය, බහුපාර්ශවවාදය හා නිදහස් වෙළඳ පටිපාටිය බාධාවන්ට ලක් ව ඇත. අස්ථාවර හා අස්ථිර සාධකයන් තවමත් බහුලව පවතී. එබැවින් වත්මන් තත්වය ගැන පැහැදිලිව අවබෝධ කර ගෙන අදාළ මූලධර්ම ග්‍රහණය කරමින් විවෘත සහයෝගතා පිළිබඳ අධිෂ්ඨානයේ තරයේ ම නියැළී සිටිමින් අවදානම් හා අභියෝගයන්ට පොදුවේ මුහුණ දියු යුතු බව ෂී ජින් පිං මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



ඉදිරි වසර 15  තුළ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 30කට වැඩි ව‍ටිනාකමෙන් යුත් භාණ්ඩ හා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 10කට වැඩි වටිනාකමෙන් යුත් සේවා ‍වෙළඳාම  චීනය පිළිගනු ඇති බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.


විවෘතභාවය නූතන චීනයේ කැපී පෙනෙන සංකේතයක් බවට පත් ව ඇතැයිද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර චීන ආර්ථිකය දැවැන්ත පරාසයක් පුරා විහිද ඇති බැවින් විවිධ බලවේග වලට මෙය විනාශ වීමේ ඉඩකඩ නොමැති බව ද හෙතෙම පැවසීය.