ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක ක්‍රියාකාරීත්වය වෙනුවෙන් සෑම වසරකම ලොව පුරා සංකේතාත්මක වැදගත්කම් සහිත ගොඩනැගිලි තැඹිලි පැහැයෙන් වර්ණවත් කරනු ලැබේ.
මෙවර ශ්‍රී ලංකාව කොළඹ මහනගර සභාවේ අනුග්‍රහයෙන් මෙම දින 16 තුළ කොළඹ නගර ශාලාව තැඹිලි පැහැයෙන් ආලෝකවත් කරනු ඇත. එහි අරමුණ වන්නේ කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමයි.
සෑම වසරකම නොවැම්බර් 25 දිනට යෙදෙන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයේ සිට දෙසැම්බර් 10 දාට යෙදෙන මානව හිමිකම් දිනය දක්වා දින 16 ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි 16 දින ක්‍රියාකාරිත්වය ලෙස සැලකේ. එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, සිවිල් සමාජය සහ ක්‍රියාධරයන් එක්ව මේ පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමට කටයුතු කරනු ලැබේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය යනු සමාජ, ආර්ථික, ජාතික සීමා මායිම් නැති පුළුල්ව පැතිරුණු ප්‍රශ්නයකි.
ලොව පුරා කාන්තාවන්ගෙන් තුනෙන් එකක් ම තම ජීවිත කාලය තුළදී ශාරීරික හෝ ලිංගික වශයෙන් කිසියම් ආකාරයක ප්‍රචණ්ඩත්වයක් අත්විඳ තිබේ.
“කුමන දේශපාලන වාතාවරණයකදී වුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය දිගට ම සිදු වේ. එය නතර කළ යුතු ය. ශ්‍රී ලංකාව තුළත්, ලොව පුරාමත් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය නොඉවසීමේ ප්‍රතිපත්තියක් වෙනුවෙන් අපි වැඩ කරන්නෙමු. කිසිවකු නොසලකා හැරීමට ලක් නොවන බව තහවුරු කිරීම අපගේ අරමුණයි,” යි එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත රිට්ස් නකේන් මහත්මිය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි 16 දින ක්‍රියාකාරිත්වය වෙනුවෙන් ප්‍රකාශ කළා ය.
Post a Comment