TIDයේ නාලක ද සිල්වා ජාතකය


රටේ සිදු වූ අපරාධ වලට එරෙහිව විමර්ශනය කිරීම සඳහා රාජ්‍යය සම්පත් යහමින් යොදා නඩත්තු කරන ආයතන වල මෙවැනි ජූතක බමුණන් සිටින තෙක් සිදුවන්නේ රටට සහ ජාතියට හෙණ වැදීම මිස වෙන කිසිවක් නොවේ. සමාජ ව්‍යාකූලත්වය නඩත්තු කොට ඉන් තම පැවැත්ම තහවුරු කර ගන්නා අයවලුන් සිටින තෙක් මෙම ජාතියට ගොඩ ඒමක් නැත.







ශ්‍රී ලංකා පොලිසියට අවුරුදු 152 කි. වෙනත් වචන වලින් කිවහොත් පරම්පරා තුනකි.

කෙදිනක හෝ පොලිස් ඉතිහාසය ලියන විට නියෝජ්‍යය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඉතාම වාසනාවන්තයෙක් ලෙස යමෙකු ලියනු ඇත. මන්ද ඉතිහාසය ලියනු ලබන්නේ සෑම විටම ජයග්‍රාහකයින් විසිනි.

නාලක ද සිල්වා මහතා ගැන හෙළිදරව් වූ දෑ ගැන වෙනත් අයෙකු ගැන හෙළිදරව් වූයේනම් සිදුවන දේ ගැන හිතා ගැනීමටවත් නොහැකිය. කුමන හෝ හේතුවක් නිසා ඔහුට එරෙහිව නැගෙන චෝදනා සියල්ල ගැන ගොලුබෙලි ගමනින් සිදු කරන විමර්ශන සහ ඔහුගේ “සූජාතභාවය” තහවුරු කිරීම සඳහා පොලිස්පති ඇතුළු කණ්ඩායම් රාශියක් පෙරමුණ ගෙන සිටින සැටියෙකි.

පොලිස්පතිවරයාගේ මුඛයට අනුව මෙම නාලක ද සිල්වා “උතුමාණන්ට” පොලිසිය තුළම සතුරන් රාශියකි. ඒ නිසා ඔහු සක්වල තලයෙන් ත්‍රස්තවාදය අතුගා දමනු වස් සිදු කරන මහා භාරදූර කාර්යයට හෙවත් ප්‍රාතිහාර්යයට එරෙහිව බොහෝ දෙනෙකු බොහෝ දෑ කියා ඇත. එය කෙතරම්ද යත්, මෙතරම් බුද්ධිමතෙකු වන ඔහුට එරෙහිව හොර සහතික තනා තනතුරුවලට පත් වී ඇති බවටද ඔහුගේ “සතුරන්” චෝදනා කරමින් පැමිණිලි කොට ඇත. ඒ පැමිණිලි නාලක ද සිල්වා මහතාගේ මහා පින් බලයෙන් අතුරුදන් වී ඇත්තේද? මෙවන් පිංකාර “මහත්මයෙකු” ජනාධිපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට අංචි ඇන්දේ යැයි විශ්වාස කළ හැකිද? තම මිතුරන්ට සහ සගයින්ට පමණක් නොව රටේ නම් දරා සිටින පතාලයින්ට ඉහළින්ම සැලකීමට පවා උපතින්ම උරුම වූ ගුණයන් අමතක කොට ඔහුට වඩා දක්ෂයින් පීච්චන් කිරීමට ඔහු සැලසුම් කරනු ඇතැයි සිහිනෙන්වත් සිතිය හැකිද?

පොලිස්පතිවරයාට අනුව ඔහුගේ මෙන් කටහඬක් ඔහුගේ සතුරන් විසින් නිර්මාණය කළා විය හැකිය යන්න, සැබවින්ම සිදු වූවා වියහැකිය. එය නම් කදිමය.

මේ සියලු කාරණා සැලකිල්ලට ගනිමින් අපි මෙම සම්පූරණ නාට්‍යයට “නාලක ද සිල්වා ජාතකය” යැයි කියමු. ඉතින් ඒ ජාතකයෙන් පජාත වීමට යන ජාතියක් ලෙස අපි මේ සියල්ල දෙස බලා සරුවත් බොමින් රටේ මහජන සම්පත් සහ දේපල හූරාකන ගල් බමුණන්ගේ කටයුතු වලට සාදුකාර දී නිර්වාන සම්පත්තිය ලැබෙන තෙක් බලා ඉඳිමු. තමන් සමග එකට කටයුතු කළ එකා, රාත්‍රියට ඔලු බක්කන් මාර්ගයෙන් උස්සේගෙන ගොස් ටයර් සෑයවල් මත පිචේචෙන විට තම ආත්මය ගැන පමණක් සිතු මිනිසුන් සිට තැනක මෙවැනි දෑ අරුමයන් නොවේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සුදු කොඩි රැගෙන පැමිණි අයවලුන්ට වෙඩි තැබීමට අණ දුන්නේ යැයි කියූ නිසා පැය ගණනාවක් ඇතුළත, කුදලාගෙන ගොස් නාවික හමුදාවේ භාරයට පමුණුවා, නඩු අසා, ජම්බරයක් ඇන්දුවේය. එවන් කටයුතු රැසක් පසුගිය කාලය පුරා විවිධ පුද්ගලයින් විෂයෙහිලා සිදුකොට තිබේ.

කෙසේ වෙතත්, රටේ රාජ්‍ය ඔත්තු සේවයේ සාමාජිකයින් රාශියක් විවිධ සැක කටයුතු දෑ වලට වගකිව යුතු බව කියමින් නීතියේ රැහැනට හසු කර ගැනීමට උත්සහ කළ නමුත් ඔවුහු සිදුකළ අපරාධ ගැන ඔප්පු කිරීමට හැකි වූයේද? ඒ වෙනුවට මීට වසර විස්සකට පමණ පෙර ගත් බැංකු ණය ආදී ගැන වාර්තා සොයමින් තම නොහැකියාව වසා ගැනීමට ඇතැමුන් උත්සහ නොකරන්නේද?

නමුත්, රටේ නායකයා මඩකලපුවේදී ඝාතනය කිරීමට සහ තමන්ට තරගයක් වන අයවලුන්ට එරෙහිව හීන් නූලෙන් වැඩේ සිදුකොට ඔහුගේම වචනයෙන් කිවහොත් ඔවුහු පීච්චන් කොට පළමුව බුද්ධි අංශයේ ලොක්කත් දෙවනුව පොලිස්පතිත් වීමට අවශ්‍යය පසුබිම සකස් කිරීමේ සැලසුමක් සකස් කළ සිල්වා මහතා තවමත් නිරුපද්‍රිතය.

පෙනන හැටියට යහපාලනය මූලික නෛතික මූලධර්මය වන, “ යමෙකු ස්වාධීන අධිකරණ ක්‍රියාදාමයක් ඔස්සේ වරදක් කළ බව ඔප්පු කරන තෙක් ඔහු නිවැරදිකරු වන්නේය,” යන මූලධර්මයේ මනාව පිහිටා කටයුතු කරන්නේය. නමුත් අවාසනාවට මෙන් එම මූලධර්මය අදාළ වන්නේ තෝරාගත් කිහිප දෙනෙකුට පමණි.

මෙහිදී මතු කළ යුතු කාරනා කිහිපයක් තිබේ. නාලක ද සිල්වා පිළිබඳ පැමිණිල්ලක් පොලිස් කොමිසමට ඉදිරිපත් වී ඇත. එසේම පොලිස්පති අදාළ කටයුත්ත ගැන පරීක්‍ෂණ කිරීම සඳහා විශේෂ විමර්ශන ඒකකය ( එස්.අයි.යු.) වෙත පවරා ඇත. එසේම පැමිණිලිකරු , වත්මන් පොලිස්පතිවරයා සහ අදාළ සැකකාර නියෝජ්‍යය පොලිස්පති නාලක ද සිල්වා අතර දැඩි මිත්‍රත්වයක් ඇති බව කියන්නේය. මන්ද, අදාළ පැමිණිලිකරුට, අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා හඳුන්වා දෙනු ලබන්නේද වත්මන් පොලිස්පතිවරයා විසිනි. පොලිස්පතිවරයා මෙම කාරණය ගැන විමර්ශනය කිරීම සඳහා භාරදී ඇති විශේෂ විමර්ශන ඒකකය ඍජුවම පාලනය වන්නේ, පොලිස්පතිවරයා යටතේය. එවැනි වටපිටාවක පොලිසිය විසින් සිදුකරණ මෙම පරීක්ෂණය හොරාගේ අම්මගෙන් පේන ඇසීමට වඩා වැඩිමනක් වන්නේද?

නාලක ද සිල්වා ජාතකයේදී මතක් කළ යුතු තවත් කාරණයක් තිබේ. එනම්, මෙවැනි බරපතළ කාරණයක් හමුවේ රටේ සිවිල් සංවිධාන නිහඬව සිටින්නේ මන්ද යන්නය. මීට මාස ගණනාවකට පෙර, සිවිල් සංවිධානවල නියෝජිතයෙකු වූ කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල විෂයට සම්බන්ධ මහාචාර්යවරයෙකු, යුද්ධ හමුදාවේ බුද්ධි අංශය ඇතුළු, රටේ ජාතික ආරක්ෂාවට ඉතාම වැදගත් වන කාරණා රාශියක් සහ පුද්ගලයින් ගැන මාධ්‍යය ඉදිරියට පැමිණ තප්පු ලෑවේය.

ඉන් පසු, රටේ බුද්ධි අංශ සාමාජිකයින් රාශියක්, නාලක ද සිල්වා යටතේ මෙහෙවන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඉදිරියේ නිරුවත් කරනු ලැබීය. ඔවුහුගේ අනන්‍යතාවයන් හෙළිදරව් විය. රාජපක්ෂ සමයේ සිදු වූ අපරාධ වලට වගකිව යුතු අයවලුන් ලෙස ඔවුහු හංවඩු ගැසුවේය. එම “අපරාධ කරුවන්” අල්ලා ගැනීමට යැයි කියමින් සිදු වූ පරීක්‍ෂණ වලදී ඒවා භාරව සිටි අයවලුන්ට රිසිසේ විදෙස් සංචාර හමුවිය. මහමගදී ඝාතනය වූ තම සහෝදරයාගේ අවෑමෙන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තනතුරක් ලබාගත් ඔහුගේ වැඩිමහල් සහෝදරයා සොයා මෙම විමර්ශකයින් අවස්ථා ගණනාවකදී එරටට ගියේලු. වසර තුනකට වැඩි කාලයක් පසු වී ඇත. ඇතැමෙකුට උසස් වීම් රාශියක් ලැබී ඇත. නමුත් රටේ මිනිසුන් වෙසෙන බිමේ, විශාල ගඳක් සහ ශබ්දයක් පමණක් ඉතුරු වී ඇත. සැබෑ ඝාතකයින් ගැන හෙළිදරව් වූ ඉටිගෙඩියක් නැත. එසේනම්, අවුල ඇත්තේ කොතැනද යන්න, කිසිවකුට හෝ සැකයක් තිබේද?

පෙර සඳහන් කළ මහාචාර්යයවරයා ඇතුළු කණ්ඩායම ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ නාලක ද සිල්වා ජාතකය හමුවේ දෙකොන වසාගෙන සිටීමට හේතුවක් තිබිය යුතුය. ඔවුහු තම මුඛය එකළ විවර කොට ඇත්තේ, කිසිවෙකුගේ හෝ පන්දමකට අනුව යමින් නම් මෙකල ඔවුහුට කතා කිරීමට නොහැකිය.

අවසාන විග්‍රහය කුමක්ද?

රටේ සිදු වූ අපරාධ වලට එරෙහිව විමර්ශනය කිරීම සඳහා රාජ්‍යය සම්පත් යහමින් යොදා නඩත්තු කරන ආයතන වල මෙවැනි ජූතක බමුණන් සිටින තෙක් සිදුවන්නේ රටට සහ ජාතියට හෙණ වැදීම මිස වෙන කිසිවක් නොවේ. සමාජ ව්‍යාකූලත්වය නඩත්තු කොට ඉන් තම පැවැත්ම තහවුරු කර ගන්නා අයවලුන් සිටින තෙක් මෙම ජාතියට ගොඩ ඒමක් නැත. මෙවැනි වංචනිකයින්ට ස්වයං ලැජ්ජාවක් නැත. ඔහු ඊයේ කළ දේ අද , මෙන්ම හෙටත් කරනු ඇත. පැළඳ සිටින වෙස්මුහුණ පමණක් වෙනස් කරනු ඇත.

සියලු නාඩගම් අවසානයේ, නාලක ද සිල්වාගේ සැබෑ කඩහඬ නොවන ව්‍යාජ හඬ පට නිකුත් කිරීමේ “පාපයට” පැමිණිලිකරු නාමල් කුමාර බොරුකාරයෙකු කළහොත් පුදුමයක් නැත. නාලක ද සිල්වා ජාතකය යනු එයමැයි!