"ප්‍රතිඵලයට දැඩි බලපෑමක් වන සිදුවීම් කිසිවක් නෑ" - කැෆේ

අද පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් වන ආකාරයේ කිසිදු සිදුවීමක් මැතිවරණ දිනය තුළ වාර්තා නොවු බව කැෆේ සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද (8 ) පස්වරුවේ  නාරාහේන්පිට ජානකී හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

යාපනය සහ වවුනියාව දිස්ත්‍රික්ක වලින් අත් ‍බෝම්බ ප්‍රහාර 3ක් සහ මාතලේ අක්කරපත්තු ආදී ප්‍රදේශ වලින් යම් ප්‍රචණ්ඩත්වයක් වාර්තා වුවද එය    මැතිවරණ ක්‍රියාවලියට  බලපෑමක් නොවු බව කැෆේ විධායක අධ්‍යක්ෂවරයා සදහන් කලේය.

සමස්තයක් ලෙස මැතිවරණ දිනයේ සිදුකෙරෙන ආක්‍රමණශිලි මැතිවරණ ව්‍යාපාර සහ කල්ලි ගැසීම් කෙටි කාලයක් තුළ වැළැක්වීමට  මැතිවරණ නිලධාරින් සහ පොලිසිය මැදිහත් වී  ක්‍රියා කළ බවද ඒ මහතා මෙහිදී කීය.  සාමකාමී මැතිවරණ දිනයක් පවත්වාගෙන යාමට එය පිටිවහලක් වු බවද   කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම  ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉහළ ප්‍රතිශතයක් මෙවර වාර්තා වීම  විශේෂත්වයක් බව ද කැෆේ විධායක අධ්‍යක්ෂවරයා මෙහිදී පෙන්වා දුන්නේය.