ඌවෙන් දැල්වූ මේ පළමු වෙඩි මුරය, රාජපක්‍ෂ පවුලේ සාපයෙන් ජනතාව මුදා ගැනීම සඳහාය

 | ඌවේ මැතිවරණ ප්‍රතිපල විග්‍රහ කරමින් එක්සත් ජාතික පක්‍ෂය නිකුත් කළ පුවත් නිවේදනය

බ්‍රිතාන්‍ය  අධිරාජ්‍යවාදීන් මෙරටින් පළවා හැරීමේ අරමුණින් දියත් වූ සටනට දැඩි බලපෑමක් ගෙන දුන් මෙරට නිදහස් අරගලයේ පළමු වෙඩි මුරය ඌව  වෙල්ලස්සෙන් ඇසුනේ මීට වසර 200 කට ඉහතදී ය.

එම වීර ජීවගුණය යළි දෝංකාර නංවමින් නිදහස හා සාධාරණත්වය මුදුන්පත් කර ගැනීමේ අභිලාෂය පෙරදැරිව අඥාදායක රාජපක්‍ෂ පාලනය පැරදවීමේ සටන ඓතිහාසික ඌව වෙල්ලස්සෙන් දැන් යළි ආරම්භ වී තිබේ.

සුළුතරයක් සනසවමින්, ඔවුන්ව පමණක් පෝෂණය කරමින්, රටේ බහුතරයක් ජනතාව නොසලකා හරිමින් වත්මන් රෙජීමය ගෙන ගිය එම දුර්දාන්ත ප්‍රතිපත්ති බරපතළ ලෙස ප්‍රතිෙක්‍ෂ්ප කිරීම ඌව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල තුළ පෙනෙන්නට ඇත. රාජ්‍ය පාලනය සම්බන්ධ ඔවුන්ගේ මන්තරයෙන් තවදුරටත් තමන් රැවටිය නොහැකි බව ඌවේ ජනතාව පෙන්වා තිබේ.

නීති විරෝධී ආකාරයෙන් තුන් වැනි වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමට ඇති රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ නොනිමි ආශාව තුළ ඔහු, සෙනසුරාදා නිමාව දුටු මැතිවරණය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් මුල සිටම දක්වන ලදී. ඡන්ද ප්‍රචාරක ක්‍රියාවලියේ අවසානය තෙක්මඌවේ රැඳී සිටිමින් ඔහු උත්සාහ කළේ තීරණාත්මක සටනට පෙර තම ශක්තිය පිටතට පෙන්වීමටය.

අනිත් අතට ඌව පළාත සැලකෙනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශක්තිමත් බල කොටුවක් ලෙසය. මේ මැතිවරණ ප්‍රතිඵලයේ විශිෂ්ඨත්වය වැඩි වනුයේ ඒ සන්දර්භය තුළය.

රාජපක්‍ෂවරු සතු ශක්තිමත් බලකොටුව පවා ජනතා ශක්තිය මතින් බිඳලිය හැකි බවට වන වැදගත් පණිවුඩය මේ ප්‍රතිඵලය තුළින් රටේ සෙසු ජනතාවට හා පිටස්තර ලෝකයාට ලබාදී තිබේ.

සැබැවින්ම මෙවර රජයට නිසි පිළිතුරු ලැබී ඇත. ඓතිහාසික ඌව වෙල්ලස්සෙන් රාජපක්‍ෂ රෙජීමයට ලැබුණු ඒ පණිවුඩය හඳුනාගැනීමට ඒ හැටි අසීරු නොමැත. එය සුපැහැදිලිය. වත්මන් රජය හා එහි ප්‍රකාශකයන් සමාජගත කරමින් සිටින මිත්‍යාවන්ට තවත් එපාෙ යන පණිවුඩය ජනතාව මැතිවරණ ප්‍රතිඵල හරහා ලබා දී ඇත.

දූෂණයෙන් පිරුණු වත්මන් රජයේ කොල්ලකාරී වැඩපිළිවෙළ තවත් තමන් නොඉවසන බව ජනතාව ප්‍රකාශ කර තිබේ.

 ඥාති සංග්‍රහය හා දැඩි ආත්මාර්ථකාමී පාලනය තුළ තමන් වෙහෙසට පත්ව ඇති වග ජනතාව පෙන්වා දී තිබේ. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම, වැරදිකරුවන් සම්බන්ධයෙන් පාලක රෙජීමය අනුගමනය කරන ලිහිල් ප්‍රතිපත්ති ජනතාව මැතිවරණයේ දී ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප  කර තිබේ.

ගෙදර යෑම සඳහා පැදුරු අකුලා ගනිමින් සූදානම් වන ලෙසට, ජනතාව රාජපක්‍ෂ රෙජීමයට පණිවිඩයක් ලබාදී තිබේ.

භීතිය හා දූෂණය වපුරවමින් සිටින වත්මන් පාලනය සහතිකවම, තම අවසානය කරා ළඟා වෙමින් සිටී.

ප්‍රජාතන්ත්‍රවාදය දිනෙක ජය ගන්නා බව දැන් ඉතා පැහැදිලිය. සෙනසුරාදා පැවැති ඡන්ද විමසීමේ දී ඒ සඳහා අවශ්‍ය මාවත ඌව වෙල්ලස්සේ වීරෝදාර ජනතාව පෙන්වාදී ඇත.

ඉතා සද්භාවයෙන් යුතුව තමන් සිදු කළ අතිමහත් පරිත්‍යාගය වෙනුවෙන් නිසි ප්‍රතිඵල හරීන් ප්‍රනාන්දු මහතාට ලැබී තිබේ. රාජපක්‍ෂ පාලනයේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයට ශක්තිමත්ව මුහුණ දෙමින් ජනාධිපතිවරයාගේ බෑණනුවන් සමඟ තරග වැදුණු මේ තරුණ දේශපාලනඥයා, තමන් ලබාගත් අතිසාර්ථකත්වය හරහා දේශපාලන හිණිමඟේ ඉහළට යාමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ දේශපාලනඥයන්ට හා දේශපාලන විශාරදයන්ට ද මාහැඟි ආදර්ශයක් ලබාදී ඇත.

 ඔහු කළ සුවිසල් කැපකිරීම, බදුල්ල ප්‍රමුඛ ඌවේ ඡන්ද ව්‍යාපාරයට ලබා දුන් ජීවය තුළ මීළඟ ජනාධිපතිවරණය ජය ගැනීමට අවශ්‍ය මාවත කරා එජාපය රැගෙන යාමට හරීන් සමත්ව ඇත.

මේ මැතිවරණ ප්‍රතිඵල නිසා බියෙන් සැලූණු රාජපක්‍ෂ රෙජීමය, 2009 ඌව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල සමග මෙවර ප්‍රතිඵලය සංසන්දනය නොකරන මෙන් සියළු විද්‍යුත්  මාධ්‍යයන් වෙත බලපෑම් කර ඇත. මේ නිසා විද්‍යුත්  මාධ්‍යයන්හි වෙබ් අඩවිවල තිබූ එවැනි සංසන්දනාත්මක කරුණු සියල්ල ඉවත් කරලීමට ද, මාධ්‍ය ඔස්සේ සිදු කෙරුණු සංසන්දනාත්මක විග්‍රහ නවත්වා දැමීමට ද මාධ්‍යයන්ට සිදු වී තිබේ.

මෙයින් පිළිඹිබු  වන්නේ රාජපක්‍ෂ රෙජීමය සහ විශේෂයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පත් වී ඇති දේශපාලන අස්ථාවරත්වයයි.

සැලසුම් කළ ආකාරයටම මැතිවරණය පවත්වා, රාජපක්‍ෂ පාලනයේ පසුගිය 9 වසර තුළ ජනතාව පත්ව ඇති ව්‍යාකුලතාව, දුක්ඛිතතාව පිළිබඳ සැබෑ සත්‍යයට මුහුණ දෙන ලෙස අප රජයට අභියෝග කරන්නෙමු.

රජයේ අධිකාරිවාදී පාලනයට හා දූෂණයට එරෙහිව ඌවෙන් දැල්වූ මේ පළමු වෙඩි මුරය, රාජපක්‍ෂ පවුලේ සාපයෙන් ජනතාව මුදා ගැනීම සඳහා ඊට එරෙහි සියලූ බලවේගවලට එක්සත් වන ලෙස යළි බලකර තිබේ.

2014. 09. 21