ඇමෙරිකාව කඩන් පනීද?

| උපුල් ජෝශප් ප්‍රනාන්දු

දිනය - 27.05.2014
ස්ථානය - හයිඩ්‍රාබාද් විදේශ රාජ්‍ය අමුත්තන්ගේ නිවෙස, දිල්ලිය.
වේලාව - උදෑසන 9.00 සහ 10.00 අතර.
අවස්ථාව - ඉන්දීය අගමැති මෝඩි සහ ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර පළමු හමුව.

මෝඩි - "ඉන්දියාවට පහර දෙන්න ත්‍රස්තවාදීන් ලංකාව ආරක්‍ෂිත ස්ථානයක් ලෙස යොදාගන්න උත්සාහ කරන බව ඔබ දන්නවද...?"
මහින්ද - (මඳක් කලබලයෙන්) "එවැන්නක් සිදුවිය නොහැකියි. මා එවැන්නකට කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ..."
රැස්වීම අවසන් වූ වහාම මහින්ද, සහෝදරයා වන ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට කතා කොට මේ කතාවේ ඇත්ත, නැත්ත ඇසුවාට සැක නැත.
ඉන්දියාව ලංකාවට මේ චෝදනාව නැඟුවේ 2010දීය. ඉන්දියාවේ පූනේහි ජර්මන් බේකරියේ සිදුවූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවකු පාපෝච්චාරණය කර තිබුණේ බෝම්බ ප්‍රහාරයේ අවසන් සැලැසුම සකස් කළේ කොළඹදී කියාය.

"කොළඹදී තමයි ටීම් එක හමුවුණේ, සාකච්ඡා කළේ, ප්ලෑන් එක ගැහුවේ, සල්ලි හුවමාරු කරගත්තේ..."
සැකකරුගේ පාපෝච්චාරණයට අනුව ඉන්දීය මාධ්‍ය හෙළි කළේ එසේය. ඉන් ටික දිනකට පසු ඇමෙරිකානු ශාන්තිකර කලාපයේ නාවික හමුදා ප්‍රධානී රොබට් විලාඩ් එරට හමුදා සේවය සම්බන්ධ සෙනෙට් සභා කමිටුව ඉදිරියට ගොස් කීවේ ලංකාවද ඇතුළු දකුණු ආසියාව ලෙට් (ඹ්ඥබ) නම් වූ භයානක ත්‍රස්තවාදීන්ට ක්‍ෂේම භූමියක් වී ඇති බවය. එසේම ඉන්දියාවට පහර දෙන්න ලෙට් (ඹ්ඥබ) නම් වූ භයානක ත්‍රස්ත සංවිධානය ලංකාව ආරක්‍ෂිත ස්ථානයක් ලෙස පාවිච්චි කරනවා යැයි ඇමෙරිකානු රහස් ඔත්තු සේවා අනතුරු ඇඟවීමක් කළේය.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ එය ප්‍රතික්‍ෂේප කළේය.
"මේ චෝදනාව නොමඟ යවනසුලු බොරුවක්. ලංකාව කිසිම ත්‍රස්ත සංවිධානයකට සිය භූමිය පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි ලෝක ත්‍රස්තවාදයට එරෙහි සටනේ නියමුවන්...."

මේ ඔහුගේ ප්‍රකාශයය.
මේ අතර දැන් සති දෙකකට කලින් මහින්ද - මෝඩි හමුවෙන් පසු ඉන්දියාවේ "ඉකොනොමිස්ට් ටයිම්ස්" පුවත්පත මෙලෙස ප්‍රවෘත්තියක් පළ කොට තිබිණි.
"කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ සිට ක්‍රියාත්මක වූ පාකිස්තාන රහස් ඔත්තු සේවයේ නිලධාරීන් දකුණු ඉන්දියාවේ චෙන්නායි වරාය හා ප්‍රධාන මධ්‍යම දුම්රිය ස්ථානය ඉලක්ක කර තිබුණේ සිය ත්‍රස්ත ජාලය ඔස්සේ ප්‍රහාර එල්ල කර ඉන්දියාව වට කිරීමට බව ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා හෙළිකර ඇතැයි "ඉන්දීය ඉකොනොමික් ටයිම්ස්" වෙබ් අඩවිය ආන්දෝලනාත්මක පුවතක් වාර්තා කර තිබේ.
ඉතා සැලැසුම් සහගතව හිතාමතාම පාකිස්තාන රහස් ඔත්තු සේවය විසින් චෙන්නායි හා බැංගලෝර්හි පිහිටි ගුවන්තොටුපොළද සිය ත්‍රස්ත ප්‍රහාර සඳහා ඉලක්ක කර තිබුණේ යැයි පසුගිය අප්‍රේල් මාසයේ චෙන්නායිහිදී අත්අඩංගුවට ගත් මොහොමඩ් සකීර් හුසේන් නමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි මෙතෙක් සඟවාගෙන සිටි රහසක් හෙළි කරමින් වෙබ් අඩවිය සඳහන් කර ඇත.


"ඉකොනොමික් ටයිම්ස්" වෙබ් අඩවිය සිය තහවුරු කළ වාර්තාවෙන් පවසන්නේ ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික නගරය ලෙස පැවැසෙන බැංගලෝරය හා තමිල්නාඩුවේ ඇති න්‍යෂ්ටික බලාගාරයද ත්‍රස්ත ප්‍රහාර සැලැසුමේ ඉලක්ක වී තිබූ බවයි.


ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ශ්‍රී ලාංකිකයා තමන් හට ඉලක්කවලට තොරතුරු සෙවීම පැවැරූ හා ඊට අනුබල දුන් හා මුදල් සැපැයූ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ සියලු තොරතුරු හෙළි කරන ලද බවත්, කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකයාද වරින් වර තමන් හට උපදෙස් ලබාදුන් බවත් ඉන්දීය පොලිසියට හෙළිකර තිබේ. අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා හා කොළඹ පාකිස්තාන තානාපති නිලධාරීන් සම්බන්ධකම් පැවැත් වූ ශ්‍රී ලංකා, මලයාසියා හා මාලදිවයින් දුරකතන අංකවල තොරතුරුද තමන් සතුව ඇති බව පවසන වෙබ් අඩවිය කොචින් නාවික හමුදා මූලස්ථානයේ චෙන්නායි ගුවන් තොටුපොළේ හා තමිල්නාඩු න්‍යෂ්ටික බලාගාරයේ සේවය කරන විශ්වාසවන්ත අය හා සම්බන්ධකම් ගොඩනඟා ගැනීම ශ්‍රී ලාංකිකයාට පවරා තිබූ කාර්යය බවද කියා ඇත.


එම කාර්යයන්ට අමතරව 2013 ජුනි මාසයේදී චෙන්නායිහි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය, චෙන්නියි වරාය, චෙන්නායි ගුවන්තොටුපොළ, මධ්‍යම දුම්රිය ස්ථානය, ඊශ්‍රායල තානාපති කාර්යාලය, බැංගලෝර් ඉලෙක්ට්‍රොනික් නගරය හා බැංගලෝර් ගුවන්තොටුපොළ යන ස්ථානවල ඡායාරූප ගැනීමට මොහු යොදවා තිබුණේ යැයි සඳහන් වේ."
අලුත්ගම කලකෝලාහලය ඇති වුණේ මෙයින් පසුවය.
"ලංකාව ඇතුළේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් ඉන්නවා...."
"ඔවුන් ලංකාවේ ඉඳන් ඉන්දියාවට පහර දෙන්න පුළුවන්...."
"ඔවුන් ලංකාවේ ඉඳන් බෝම්බ අරන් අගමැති මෝඩිව මරන්න ගියොත් ලංකාවට මොකක් වෙයිද...."
මෙහෙම කියන්නේ වෙන කවුරුවත් නොවේ. ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් වන චම්පික රණවකය.
"අපි කිව්වේ බොරුද?"
දැන් අමෙරිකාව සහ ඉන්දියාව එහෙම ඇහුවොත් පුදුමයක් නොවේ.

"අපි කියපු එක ඔය ආණ්ඩුවේ ඇමැතිවරුම කියන්නේ...."
ඇමෙරිකාවට සහ ඉන්දියාවට එහෙම කියන්න පුළුවන.

"මෙහෙම බලන කොට ලංකාව අපේ ආරක්‍ෂාවට තර්ජනයක්..."
ඉන්දියාව මෙලෙස සිතනවාට සැක නැත.
"ඒක අපිටත් තර්ජනයක්..."
ඇමෙරිකාවද ඒකට ලුණු ඇඹුල් දමනු ඇත.
'ඉතින් අපි මොකද කරන්නේ...?"
ඇමෙරිකාව ඉන්දියාවෙන් අසනු ඇත.

"පාකිස්තානයට බලෙන් ගිහින් බින්ලාඩන් අල්ල ගත්තා වගේ මෙහෙයුමක් ලංකාවේත් කරන්න..."
ඉන්දියාව ඇමෙරිකාවට උපදෙස් දෙනු ඇත. ඇමෙරිකාව පාකිස්තානයට ගිහින් බින්ලාඩන් අල්ලා ගත්තේ පාකිස්තාන ආණ්ඩුවටවත්, හමුදාවටවත් ඔත්තු සේවාවටවත් කියල නෙවේ.
"පාකිස්තාන ජනාධිපති සහ හමුදාව ඉන්නේ ලැජ්ජාවෙන්. ඇමෙරිකානු ගුවන් යානය පාකිස්තානයේ ස්වාධිපත්‍ය උල්ලංඝනය කරල එරට ගුවනට ඇතුළු වෙලා ආරක්‍ෂා සහිතව යන්න ගියේ කොහොමද කියල මිනිස්සු අහන ප්‍රශ්නවලට ජනාධිපතිටයි හමුදාවටයි උත්තර නැහැ..."
මේ එරට මාධ්‍ය කියපු කතාවය.
"ජනාධිපති සර්දාරිගේ වැටීමට ගොඩක් හේතු තිබුණා. එක හේතුවක් තමයි ඇමෙරිකාව පාකිස්තාන ගුවන් සීමා ආක්‍රමණය කරල යනකම් සර්දාරි අසරණ වෙලා සිටීම..."
මේ ජනාධිපති සර්දාරිගේ පරාජයෙන් පසු එරට දේශපාලන විචාරකයන් පළ කළ විග්‍රහයන්ය.
ඇත්තටම මහින්ද ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කොට ඡන්ද සටනේ අතරමඟදී ඇමෙරිකාව ලංකාවේ ගුවන් සීමා ආක්‍රමණය කරල පාකිස්තාන පන්නයේ මෙහෙයුමක් දියත් කරල ගියොත් මහින්ද ජනතාව ඉදිරියට යන්නේ වීර දේශප්‍රේමියෙක් ලෙස නොව බයගුල්ලකු ලෙසය. රටේ ස්වාධිපත්‍ය පාවාදුන් අයකු ලෙසය.

මේ චෝදනාව ජේ.ආර්.ටත් ආවේය. ඒ ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කරලා යාපනයට පරිප්පු දමපු වෙලාවේය.
"ජේ.ආර්. ලංකාව බලු කළා..."
මිනිස්සු කිව්වේ එහෙමය. ජේ.ආර්. වැටුණේ එතැනින්ය.
චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ එල්.ටී.ටී.ඊ.ය කටුනායක ගුවන් තොටුපොළට ගහපුවාම මිනිස්සු කිව්වෙත් ඔය කතාවමය.
"මහ ලොකුවට කොටින්ට රට පාවා දෙන්නේ නැහැ කියල උදේ හවා කෑගහනවා. ගහල යනකන් දන්නේ නෑ. මෙයා කොටි ඉස්සරහ ලංකාව දණගැස්සුවා..."
මිනිස්සු ඒ වෙලාවේ වෛර බැඳගත්තේ කොටින්ට වඩා චන්ද්‍රිකා එක්කය.
"හෙට ඇමෙරිකාව ඇවිත් තමන්ගේ රටටත් ඉන්දියාවටත් තර්ජනයක් වන ත්‍රස්තවාදීන් අල්ලාගෙන ගියොත් මහින්දට වෙන්නෙත් ඒකම නේද..."
ඇත්ත කතාව ඒකය. ඇමෙරිකාව බොදු බල සේනාවේ නායක හාමුදුරුවන්ගේ වීසා අවලංගු කරලා මෙරට මුස්ලිම් ජනයා අතර වීරයෙක් වෙලා බොදු බල සේනාව කියන ත්‍රස්තවාදීන් හොයන්න ලංකාවට ඇවිත් මහින්දව ද්‍රෝහියෙක් කරන්න යනවාද දන්නේ නැත.