අලුත්ගම දෝශාභියෝගය

| සුනන්ද දේශප්‍රිය

ජීනීවාහි මානව හිමිකම් කවුන්සිලය මුළුදෙන සෑම වාරයක් අතරතුර ම ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක මානව හිමිකම් කෙළෙසීමක් සිදුවීම දැන් එක්තරා විදියක ආන්ඩුවේ අසුබ ළකුණක් බවට පත්ව තිබේ.  අලුත්ගම ගැටුම මෑත අසුබ ළකුණ ය. එය දැන් ශ්‍රී ලංකාන්ඩුවට එරෙහි දේශිය මෙන්ම අන්තර් ජාතික දේශපාලන දෝශාභියෝගයක් දක්වා වර්ධනය වන ළකුණු පෙනෙන්නට තිබේ.

පසුගිය මාර්තු මාසයෙහි මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සාකච්ජාවට ගැනීමට නියමිතව තිබිය දී රුකී ප්‍රනාන්දු සහ දේවගැති ප්‍රවීන් මහේසන් යන මානව හිමිකම් ආරක්ෂකයින් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ  පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලදී. ඒ මාර්තු 16 දා ය.  එම අත් අඩංගුවට ගැනීම නිසා මහත් අන්තර් ජාතික තෙරපුමකට මුහුණ දීමට ආන්ඩුවට සිදු විය. ඒ කොතක් වීද යත් මානව හිමිකම් මහ කොමසාරිස්  නවී පිල්ලේ  විසින් ද එම අත්අඩංඟුවට ගැනීම හෙළා දකින ලදී. ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාන්ඩුවේ ජිනීවා නියෝජිතයින් කවුන්සිලය හමූයේ ඇද බෑවේ පට්ටපල් බොරු සහ අර්ධ සත්‍යයන් ය. එළෙස අත් අඩංඟුවට ගෙන පසුව නිදහස් කරන ලද රුකී ප්‍රනාන්දු සහ දේවගැති ප්‍රවීන් මහේසන්  යන දෙදෙනාට එරෙහිව විසි වසරක් සිරගත කළ හැකි  ''වාර්ගික ප්‍රජාවන් අතර අස්ථාවරත්වය ඇති කිරීමට කටයුතු කිරීම සහ ත්‍රස්තවාදයට අනුබල දීම'' යන චෝදනා උඩ නඩු පවරන බව පොලිස් ප්‍රකාශක කියා සිටි නමුත්  තවමත් එවැනි කිසිදු නඩුවක් පවරා නැත. එනමුත්  ඔවුන් මත පවරන ලද තහංචි තවමත් එළෙසම පවතී.

ඒ රාජපක්ෂ නීතියේ හැටි ය.

මානව හිමිකම් කවුන්සිලයයේ ජූනි සැසිවාරය පසුගිය 08 දා ආරම්භ විය. ඉන්  සතියක් ගත වූ තැන අලුත්ගම මුස්ලිම් විරෝධි ප්‍රහාරයන් දියත් කෙරුණි. අනතුරුව මාර්තු සැසි වාරයේ දී මෙන්ම රටවල් ගණනාවක් මෙකී වාර්ගික ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාන්ඩුවේ වගකීම ඉස්මතු කරමින් කතා කළහ. දේශිය සහ අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන මෙන්ම මුස්ලිම් සංවිධාන ද මුස්ලිම් විරෝධි ප්‍රහාරයන් වැළැක්වීමට පියවර නොගැනීම ගැන ආන්ඩු‍වට දොස් සහ වගකීම පැවරූහ.

අලුත්ගම වාර්ගික ගැටුම් ඇති වූ දිනට පසුදා ම (16) ප්‍රකාශයක් කරමින්  මහ කොමසාරිස් නවී පිල්ලේ කියා සිටියේ මෙම ගැටුම් මුස්ලිම් ජනයා වෙසෙන අනෙක් පෙදෙස් කරා පැතිරීම වැළැක්වීමටත් වාර්ගික කෝළාහලකරුවන් නීතිය හමුවට ගෙන ඒමටත් ශ්‍රී ලංකාන්ඩුව වහාම ක්‍රියා කළ යුතු බව ය. එමෙන්ම මෙම ගැටුම් ඇති කරවන වෛරී උසිගැන්වීම් නතර කිරීමටත් ආගමික සුලුතර ප්‍රජාවන් ආරක්ෂා කිරීමටත් ලංකාන්ඩුව වහාම පියවර ගත යුතු බව ද ඇය කියා සිටියා ය.

පසුගිය මාර්තු මාසයේ දී මානව හිමිකම් ආරක්ෂකයින් අත් අඩංඟුවට ගැනීම ගැන බොරු දෙසා බෑ පරිදිම මෙවර ද ජිනීවාහි ශ්‍රී ලංකාන්ඩුවේ නියෝජිතයෝ අලුත්ගම ප්‍රචන්ඩත්වයන් පිළිබඳව අර්ධ සත්‍යයන් මත පදනම් වූ කෙබර අන්තර් ජාතික ප්‍රජාව හමූයේ ඇද බෑහ.

බොරු කීම සහ බොරු පොරොන්දු දීම සම්බන්ධයෙන් ලංකාන්ඩුව ජිනිවාහි ලබා ගෙන ඇත්තේ ඉහළම තැනකි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාන්ඩුව මුස්ලිම් විරෝධි ප්‍රහාරයන් සාධාරණ කලේ මුල් ගල් ප්‍රහාරය පැමිණියේ මුස්ලිම් පාර්ශවයෙන් යැයි කියා සිටිමිනි. එමෙන්ම මුස්ලිම් තරුණයන් තිදෙනෙකු විසින් බෞද්ධ භික්ෂුවකට පහර දීම මෙම ගැටුමට මුල වූ  බවත් එහි සදහන් වී තිබුණි. එසේ නමුත් බෞද්ධ භික්ෂුවට පහර දුන්නේය යනු එක් පාර්ශවයක මතය පමණක් බවත් මුස්ලිම් පාර්ශවය එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් ලංකාන්ඩුව මානව හිමිකම් කවුන්සිලයට කීවේ නැත. ඒ වෙනුවට ලංකාන්ඩුව කියා සිටියේ මෙම ගැටුම ආරම්භ වූයේ බෞද්ධ භික්ෂුවකට පහර දීම නිසා බව ප්‍රදේශයේ මුස්ලිම් පූජකයින් පවා ජනාධිපතිතුමා සමඟ එකඟ වූ බවයි!

එසේ නමුත් පසුගිය වසර ගණනාව පුරාම මෙරටෙහි වර්ධනය කරන ලද  මුස්ලිම් විරෝධී වෛර උසිගැන්වීම් ගැන හෝ 15 දින රුස්වීමෙහි ඥනසාර (හිමි) කල කෝපකාරී දේශණාව ගැන හෝ වචනයක්වත් ලංකාන්ඩුව කළ ප්‍රකාශයේ තිබුණේ නැත. අලුත්ගම ප්‍රහාර සම්බන්ධයෙන් ලංකාන්ඩුව මානව හිමිකම් කවුන්සිලය හමූයේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළේ ද සිංහල සහ මුස්ලිම් යන දෙපාර්ශය ම එක සමානව බැට කා ඇතැයි පෙනී යන පරිදි ය.  ඊටත් වඩා භයානක කරුණ නම් මෙම වාර්ගික ප්‍රහාරයන් සහ වෛරී උසිගැන්වීම් ලාකාන්ඩුව විසින් හෙළා දකින්නේ යැ යි එම ප්‍රකාශයේ කිසිදු තැනක සඳහන් නොවීම යි.

ඇත්ත වශයෙන් ම නම් මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාන්ඩුව ඉදිරිපත් කල ප්‍රකාශය අලුත්ගම මුස්ලිම් විරෝධී ප්‍රහාරයන් සාධාරණ කිරීමකි. වාර්ගික ගැටුම් සම්බන්ධයෙන් වැදගත් වන්නේ සිදුවීම් වලට වඩා සන්දර්භය ඉදිරිපත් කිරීම බව ගැටුම් සමනය කිරීමේ සියළු න්‍යයන්හි පදනමකි. ලංකාන්ඩුවේ ප්‍රකාශය කිසිම ලෙසකින් අලුත්ගමගැටුමේ සන්දර්භය ඉදිරිපත් කළේ නැත.

ලංකාන්ඩුවේ එකී ප්‍රකාශය මුළුමනින් ම ප්‍රතික්ෂේප කරමින් විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් වෙත ලිපියක් යැවූ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කියා සිටියේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි ඉදිරිපත් කරන ලද ආන්ඩුවේ ප්‍රකාශය මුස්ලිම් විරෝධීන්ගේ අදහස් යළි පුනරුච්චාරණය කිරීමක් බව යි. තවද ගැටුමෙහි විපාකයක් වශයෙන් සිදු වූ අලාබහානි පිළිබඳව ආන්ඩුව විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛන විකාර සහගත බොරු බව ද එය කියා සිටියේ ය. මේ අතර වෙනත් ආරංචි මාර්ග දක්වන්නේ මුස්ලිම් පාර්ශවයේ මතය දක්වන ලියැවිල්ලක් ජිනීවා වෙත එවීමට ආන්ඩුවේ මුස්ලිම් ඇමැතිවරුන් කටයුතු කරමින් සිටින බවය.

මේ අතර අලුත්ගම ප්‍රහාරයෙන් පණ ලැබූ, යුද්ධ ජයග්‍රහණයේ රණකාමී මතවාදී උරුමකරුවන් බවට පත්ව සිටින හෙළ උරුමය, බොදු බල සේනා සහ එවැනි අනෙක් අන්තවාදී සංවිධාන සිය ජාතිවාදී කාල තුවක්කු මුස්ලිම් ඇමැතිවරුන් වන රවුප් හකීම් සහ  රිෂාඩ් බදූර්දීන් අමත්‍යවරුනට එරෙහිව පමණක් නොව වාසුදේව නානායක්කාර සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරුන්ට එරෙහිව ද පත්තු කරන්නට පටන් ගෙන තිබේ. රාජපක්ෂ ආන්ඩුවේ මතවාදී සගයින් වන්නේ ද දේශපාලන සහකරුවන් වන්නේ ද මෙම අන්තවාදී  පිරිස් ය. ගොඨාබය රාජපක්ෂ මෙම අන්තවාදී පිරිස්හි නොනිල නායකයා ය. මෙම අන්තවාදීන්ට රාජපක්ෂවරුන් නැතිවද රාජපක්ෂවරුන්ට එකි අන්තවාදී බලවේගයන් නොමැතිව ද දේශපාලන බලය සිය අත්හි පවත්වා ගැනීමට නොහැකි ය. ඔවුන්ට අනුව අන් සියළු දේශපාලන පක්ෂ දේශදෝහී ද වෙයි.  එබැවින්ම එළඹෙන කවර හෝ මැතිවරණයක දී රාජපක්ෂවරුන් වෙනුවෙන් ජන්ද සටන යුද පිටියක් කිරීමට වුව මෙම පිරිස් නොපැකිළෙනු ඇත.

තව ද පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවෙහි කවර ‍බලවේගයක් විසින් වත් නොදක්වන තරමේ සාහසික සහ වියරු වාග් ප්‍රහාරයක් දියත් කරමින් හැකි නම් තමා අත් අඩංඟුවට ගන්නා ලෙස රජයට අභියෝග කිරීමට තරම්  බොදු බල සේනාව සහ ඥානසාර (හිමි) අද බලවත් ය. මෙම අභියෝගයට අනුව ඥාණසාර (හිමි) කවර තත්ත්වයක් යටතේ හෝ අත් අඩංඟුවට ගැනීම තහනම් ය‍. එසේ අත් අඩංඟුවට ගත හොත් සියළු පොල්ගස් එල්ලුම් ගස් බවටත් සියළු ගොඩනැඟිළි සිර ගෙවල් බවට පරිවර්ථනය කිරීමටත් සිදුවනු ඇතැයි බොදු බල සේනාව මහින්ද රාජපක්ෂ ආන්ඩුවට තර්ජනය කරයි. ඒ  එමගින් සිය රණකාමී බලය ගොඩ නගා ගැනීමට මිස රාජපක්ෂවරුන් බිය ගැන්වීමට නොවේ.

‍මේ සියළු ගිනි කෙළි මැද තවත් වැදගත් වර්ධනයක් දක්නට ලැබුණි. එනම් මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි ශ්‍රී ලංකාන්ඩුව විසින් දිග හරින ලද ජාතිවාදී කතාන්තරය නොසළකා එක්සත් ජාතීන්ගේ විශේෂඥයින්  තිදෙනෙකු අලුත්ගම ප්‍රචන්ඩත්වයන් පිළිබඳ තදබල ඒකාබද්ධ  ප්‍රකාශයක් කරමින් වෛරය වැපිරීම සහ ඇදහිල්ල මත පදනම්ව කැරෙන ප්‍රචන්ඩ ක්‍රියා නතර කිරීමට ශ්‍රී ලංකාන්ඩුව වහාම පියවර ගත යුතු බව යකියා සිටීම ය. මෙම විශේෂඥයින් තිදෙනා නම් ආගමික නිදහස පිළිබඳ එ.ජා. වි‍ශේෂඥයා වන හයිනර් බිල‍ෆෙල්ඩ්, සුළුතර අයිතීන් පිළිබඳ විශේෂඥ රීතා අයිසැක් සහ අනීතික ඝාතන පිළිබඳ විශේෂඥ ක්‍රිස්ටෝපර් හයින්ස් ය.  මෙවැනි ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කැරෙන්නේ ඉතා ම බරපතල සේ කල්පනා කැරෙන අවස්ථාවන්හිදී පමණක් බව ද සඳහන් කළ යුතු ය‍.

අලුත්ගම ප්‍රහාරයන්හි දී  පුද්ගල ඝාතනයන් කළ අපරාධකරුවන් අත් අඩංඟුවට ගෙන දඩුවම් කිරීම එවැනි සිදුවීම් වැළැක්වීමට ඇති හොදම සහතිකය බව ක්‍රිස්ටෝපර් හයින්ස් කියා සිටියේ ය.

ආන්ඩුව වහාම ප්‍රචන්ඩ ක්‍රියා නතර කොට රටෙහි ජීවත් වන ආගමික සුලුතරයන්ට අයත්වන සියළුම දෙනාගේ ජීවිතාරක්ෂාව තහවුරු කැරෙන වැඩ සටහනක් ක්‍රියාත්මක කළ යුතු යැයි රීතා අයිසැක් කියා සිටියා ය.

මෙවැනි ප්‍රචන්ඩ ක්‍රියා ශ්‍රී ලංකාවෙහි පවත්නා දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය නිසා වර්ධනය වන බව කියා සිටි හයිනර් බිලෆෙල්ඩ්, පොලීසිය සහ අධිකරණය  ජීවිතාරක්ෂාව සහ ආගමික ස්ථාන රැකදීම යනාදියට පියවර නොගැනීම මෙවැනි වාර්ගික ප්‍රචන්ඩ ක්‍රියා පැතිර යෑමට හේතු වන බව සඳහන් කළේ ය.

එම ඒකාබද්ධ ප්‍රකාශයෙහි බොදු බල සේනා සහ සිංහල රාවය වැනි  අන්තවාදී සංවිධානය සිංහල බෞද්ධයින් තුල බිය ජනිත කර  සුලුතර ප්‍රජාවන් කෙරෙහි වෛරයක් ගොඩ නගන බව ද සඳහන් වෙයි.

මෙම ඒකාබද්ධ ප්‍රකාශය  විසින් පෙන්නුම් කරන්නේ ආන්ඩුවේ පාර්ශවික ජාතිවාදී  ස්ථාවරය හෙළිදරව් කැරෙන විශ්වසනීය සහ කරුණු සහිත වාර්තා දැනටමත් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය වෙත ලඟා වී ඇති බවයි.

අලුත්ගම ජාතිවාදී ප්‍රහාරය විසින් ආන්ඩුව පඹ ගාලක පටළවා තිබේ.  ඉන් ගොඩ ආ හැකි එකම මඟ ඇත්ත සොයා ගැනීම සහ ඒ අනුව ගත යුතු පියවර ගැනීම පමණි. නමුත් එවැනි ලැදියාවක් අද රාජපක්ෂවරුන්ට නැත. 

පසු සටහන:
දකුණුබඳ පෙදෙස්හි ජීවත්වන, යුද සමයෙහි ආන්ඩුවේ උග්‍ර සහායකයින් වූ මුස්ලිම් ප්‍රජාවට එල්ල කරන ලද මෙම ජාතිවාදී ප්‍රචන්ඩ ප්‍රහාරය හමුවෙහි පවා සංඛ්‍යා ලේඛන විජ්ජා පෙන්වමින් සත්‍ය විකෘති කරමින් අපරාධකරුවන්ට රැකවරණය සපයන ආන්ඩුවක්  දෙමළ ජනයා දහස් ගණනින් ඝාතනය වූ එල්ටීටීඊ විරෝධී යුද්ධය සම්බන්ධයෙන් ඇත්ත කියනු ඇතැයි  කවරකු හෝ විශ්වාශ කළ යුතු ද?