නෝනා අත වනනවා

| උපුල් ජෝශප් ප්‍රනාන්දු

මේ දවස්වල හැමෝම අහන්නේ ඔය ප්‍රශ්නයය. පහුගිය පළාත් සභා ඡන්දයට කලින් චන්ද්‍රිකා ප්‍රසිද්ධ රැස්වීම්වල කතා කොට මහින්දගේ නම නොකියා බැන්නාය. හිටි හැටියේම රනිල් ඇතුළු යූ.ඇන්.පී. නායකයන් හමු වෙන්න ගියාය. එම හමුවෙන් පසු මාධ්‍ය අමතා මහින්දගේ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළාය.

‘චන්ද්‍රිකා ආපහු දේශපාලනයට එන්න වගේ නේද යන්නේ...?’

‘චන්ද්‍රිකා ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂිකාවද....?’

මේ ඒ දවස්වල මිනිස්සු කියපු කතාය. වැඩි දවසක් ගියේ නැත. චන්ද්‍රිකා හිටි හැටියේම අතුරුදන් විය. ඇය විදේශගත වූ බව ආරංචි විය. එහෙත් තාමත් චන්ද්‍රිකා ගැන සද්දයක් නැත.

‘චන්ද්‍රිකා සද්දෙ දැම්මේ පොදු අපේක්‍ෂකයෙක් ගැන කතා කරන කාලයේ. ඒ පළාත් සභා ඡන්දයට කලින්. පළාත් සභා ඡන්දෙට  පස්සේ රනිල් ජනාධිපතිවරණයට එන්න තීරණය කළාම චන්ද්‍රිකා සද්දෙ වහ ගත්තා....’
මේ සමහරු කියන කතාය.

ඇත්තටම යූ.ඇන්.පී. ය ඇතුළේ රනිල් එළවන සටනේදී චන්ද්‍රිකා හිටියේ රනිල් එක්කය. ඒකට ප්‍රධානතම හේතුව රනිල්ව නායකත්වයේ තියාගත්තොත් ඊළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයෙක් දමා ගන්න පුළුවන් වේ යැයි චන්ද්‍රිකා හිතපු නිසාය. ජනාධිපතිවරණයකදී යූ.ඇන්.පී. අපේක්‍ෂකයකුට ඡන්දය දෙන්න කියන්න චන්ද්‍රිකාට බැරිය. අලියට ඡන්දය දෙන්න කියන්න ඊටත් වඩා අමාරුය. චන්ද්‍රිකාට හරවන්න පුළුවන් ශ්‍රී ලනිප ඡන්දය. ඒත් චන්ද්‍රිකාට කටක් ඇරලා මහින්දව පරද්දන්න අලියට ඡන්දය දෙන්න කියල කියන්න බැරිය. චන්ද්‍රිකා හිතුවේ 2009 වගේ මෙවරත් රනිල් පොදු අපේක්‍ෂකයකුට සහාය දෙන්න හිත හදා ගනී කියලාය. ඒ වගේම රනිල් පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ලවා එයට අනුමැතිය ලබා ගනී කියලත් ඇය හිතුවාය. රනිල් පක්‍ෂ නායකත්වයෙන් විසිවී සජිත් ආවා නම් අනිවාර්යයෙන්ම සජිත් අලියා ලකුණින් යූ.ඇන්.පී. අපේක්‍ෂක ලෙස තරග කරන බව ඇය දැන සිටින්නට ඇත. එවිට ඇයට බැහැල ගේමක් ගහන්න බැරිය. ඇය රනිල්ව තියා ගත්තේ පොදු අපේක්‍ෂකයෙක් දමල ගේම ගහන්නටය.

“ඒත් දැන් රනිල් එනවා කියල එනවුන්ස් කරල ඉවරනේ....’

ඇත්තටම ඇයට දැන් වෙලා තියෙන්නේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුණා වගේ වැඩක්ය. ඇයට මහින්ද පරද්දන්න රනිල්ට ඡන්දය දෙන්න කියල ශ්‍රී ලනිප පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලන්න බැරිය. රනිල්ව දිනවන්න ආණ්ඩුවෙන් එළියට එන්න කියල මහින්දව එපා වුණ ඇමැතිවරුන්ගෙන් ඉල්ලන්නත් බැරිය.

‘විධායක ජනාධිපති ක්‍රමයෙන් එජාපයත් විනාශ වුණා. ශ්‍රී ලනිපයත් විනාශයි. මේ ක්‍රමය වෙනස් කරන්න අපි හැමෝම එකතු වෙමු....’

මේ ඇය ජනාධිපතිවරණයේදී ගහන්න ගිය සින්දුවය. මේ සින්දුවට නටන්න ආණ්ඩුව ඇතුළේ මැති ඇමැතිවරු පිරිසක් සෑදී පැහැදී සිටියහ.

‘රනිල් එනවා නම් මොකද කරන්නේ...?’

චන්ද්‍රිකාට දැන් තියෙන ප්‍රශ්නය  ඒකය. ඉස්කෝලෙ යන කාලයේ රොස්මිඩ් වත්තේ රනිල් එක්කලා කන් කන් බූරූ චින් චින් නෝරූ කළා කියල චන්ද්‍රිකා ජනාධිපති කාලේ කීවාය. හැබැයි රනිල් කවුද කියල චන්ද්‍රිකා තවම හඳුනන්නේ නැත. රනිල් කාගේවත් පදයට නටන කෙනෙක් නොවේ. රනිල් තමන්ගේ පදයට අනුන්ව නටවන්න දක්‍ෂ නායකයෙකි.

2010 ජනාධිපතිවරණය පරාජය වූවාට පසු මාධ්‍යවේදියෝ රනිල් හමුවී හංසයා ලකුණින් මහ මැතිවරණයට තරග කරන එක නරකදැයි ඇසූහ. හිතාගත නොහැකි ලෙස රනිල් ඒ වෙලාවේ කෝපයට පත්විය.
“නෑ... නෑ... අලියාගෙන් තරග කරන්න අපි තීරණය කරල තියෙන්නේ. ඔයගොල්ලො ඔක්කොම මාව බය කළා මට ජනාධිපතිවරණය දිනන්න බැහැ කියල. මම 2005 ඡන්ද ලක්‍ෂ 48ක් ගත්තා. මේ පාර ඉල්ලුවා නම් ඒ ගාණ ගන්නවා. මට අනෙක් පත්තර කට්ටිය කියන්නේ අලියගෙන් ඉල්ලන්න කියල. බලන්න ෆොන්සේකාට බැරි වුණාට මම මේ ඡන්දය දිනනවා....’

ඔහු කියාගෙන ගියේය.

“දිනන්න පුළුවන් නම් අලියාගෙන් තමයි ඉල්ලන්න ඕනා. හැබැයි දිනන්න බෑ. හංසයාගෙන් ඉල්ලුවත් දිනන්න බෑ. හැබැයි ෆොන්සේකාවයි ජේ.වී.පී. යයි එකතු කරගෙන යූ.ඇන්.පී.ය හංසයාගෙන් ඉල්ලුවොත් මහින්ද ආණ්ඩුව පිහිටුවන්නේ 115කින් හෝ 120කින්. එතකොට මහින්දට තුන්වැනි පාර ජනාධිපතිවරණය ඉල්ලන්න තුනෙන් දෙකක් නැහැ. වැඩි කලක් යන්නේ නැතිව ආණ්ඩුව වට්ටන්නත් පුළුවන්. ෆොන්සේකා හිරේ නිසා ෆොන්සේකාගෙන් ඔබගේ විපක්‍ෂ නායකත්වයට තර්ජනයකුත් නැහැ. එජාප මහලේකම් තිස්සව හංසයාගේ පක්‍ෂයේ ලේකම් කර ගන්න. නැති නම් 2004 චන්ද්‍රිකා සුසිල්ව සන්ධාන ලේකම් කළා සේ ඔබට විශ්වාස එජාපයෙන් කෙනෙක් ලේකම් කර ගන්න...’

මාධ්‍යවේදියෝ කීහ.

‘ඉස්සෙල්ලා මහින්ද ඊළඟ ජනාධිපතිවරණයට යන එක බ්ලොක් කර ගන්න. එතකොට ඔබට ඊළඟ ජනාධිපතිවරණය අලියාගෙන් ඉල්ලන්න පුළුවන්...’

මෙසේ කීවත් රනිල් හිටියේ අලියාගෙන් ඉල්ලන්න ඕනා කියන තද තැනකය. එතැනදී ඔහුත් මාධ්‍යවේදිනුත් අතර වාදයක් ඇති විය. මාධ්‍යවේදිනුත් කීවේ 2009 යුද්ධයේ ජයග්‍රහණයේ වාසිය මහින්ද අරගෙන තියෙන වෙලාවක යුද්ධයට එරෙහි වූ දේශද්‍රෝහියා ලෙස ඔහු මහින්ද එක්ක සටනට ගියා නම් ඔහු අන්ත පරාජයකට ලක්වෙනවා කියාය. ඔවුන්ගේ තර්කය වූයේ ෆොන්සේකා නිසා ඔහු ඔහුගේ දේශපාලන පණ නල බේරා ගත්තා කියන එකය. ඔහු එය පිළිගත්තේම නැත. එදායින් පසු ඒ මාධ්‍යවේදීන්ට රනිල් හමු වුණේ 2010 මහ මැතිවරණ දිනයේය. ඔහු හිටියේ ආණ්ඩුව හදන්න බලාගෙනය.

මේ රනිල්ගේ හැටිය. අද රනිල් ජනාධිපතිවරණයට අලියාගෙන් ඉල්ලන්න ඕනා කියන්නේත් ඔහු ජනාධිපති අපේක්‍ෂක වෙන්න ඕනා කියන්නේත් එදා හිටපු තැන සිටගෙනය. ඔහු පක්‍ෂය තුළ තමාට එරෙහි කැරලි ආ විට කරන්නේ විපක්‍ෂයේ අනෙකුත් පක්‍ෂ එකතු කරගෙන සන්ධාන හදන්න සාකච්ඡා කොට සන්ධානයේ නායකයා වී පක්‍ෂය තුළ නායකත්වයට එරෙහි කැරලි යටපත් කරන එකය. සන්ධාන, සන්ධාන කිය කියා සිට කැරැල්ල යටපත් වී ඔහුගේ නායකත්වය ස්ථාවර වූ පසු එළැඹෙන ජාතික මැතිවරණයට ඔහු යන්නේ අලියාගෙන්ය.

එතැනදී ඔහු වැරැදිත් නැත. එජාපය සහ එජාප පාක්‍ෂිකයන් ඡන්ද පිට ඡන්ද පැරැදුණත් අලියා අත හරින්න කැමැති නැත. 2010 මහ මැතිවරණයට අලියගෙන් ඉල්ලන්න යැයි එජාප මන්ත්‍රිවරුන් ඔහුට බලපෑම් කළේ හංසයාගෙන් ඉල්ලන්න ගිහින් තම මන්ත්‍රිකම් ෆොන්සේකාට හෝ ජවිපෙට යයි කියන බයටය.

අදටත් එජාප පාක්‍ෂිකයන් සහ මන්ත්‍රිවරු බහුතරයක් අලියාගෙන් තරග කරන රනිල්ගේ යෝජනාවට කැමැතිය. හතුරා පරාජය කරන පොදු අපේක්‍ෂක සහ සන්ධානකම් හරියන්නේ ශ්‍රී ලනිපයටය. එජාපයට ඕනෑ එජාප අපේක්‍ෂකයා සහ අලියාවය. රනිල් සින්දුව ගහන්නේ එතැනටය.

2014 බස්නාහිර සහ දකුණේ ප්‍රතිඵලය විග්‍රහ කළ රනිල්ට පෙනුණේ ආණ්ඩුවේ ඡන්ද නාය යන බවය. එසේම ආණ්ඩුවේ ඡන්දවලින් කොටසක් ජවිපෙ සහ ෆොන්සේකා ගන්නා බවය. ආණ්ඩුවේ වගේම එජාප ඡන්දත් නාය ගොස් ඇති බව ඔහු දනී. ඔහු දැන් සජිත් ප්‍රේමදාසට අත දිගු කරන්නේ සජිත්ගේ කර පිට ගිහින් නාය ගිය ඡන්ද එකතු කර ගන්නටය. නැතිව සජිත්ට ආදරේකට නොවේ.

කරු ජයසූරියට සහ නායකත්ව මණ්ඩලයට එජාප නාය යෑම නතර කර ගත නොහැකි බව ඔහු පළාත් සභා ඡන්ද ප්‍රතිඵලයෙන් තේරුම් ගෙන ඇත. ඔහු දැන් හිතන්නේ 2005 ජනාධිපතිවරණයේදී ඔහු ගත් ඡන්ද ලක්‍ෂ 48 ගත්ත එජාපය ශක්තිමත් කර ගන්නටය. ජවිපෙ සහ ෆොන්සේකාගෙන් තෙවැනි අපේක්‍ෂකයෙක් ආවොත් නාය යන්නේ ආණ්ඩුවේ ඡන්ද බව ඔහු දනී. ඔහු හිතන්නේ ආණ්ඩුවේ ඡන්ද තෙවැනි අපේක්‍ෂකයකුට නාය ගොස් එජාප ඡන්ද ටික බේරා ගත්තොත් ඔහු ජනාධිපති කියාය. නැතිනම් මහින්දටයි ඔහුටයි දෙදෙනාටම 50%ක් ගන්න බැරි වී තෙවැනි අපේක්‍ෂකයාගේ මනාපවලින් ඔහු ජනාධිපති වෙන්නටය.

ඔහු හිතන සූත්‍රය හිතන තරම් සරල නැත. චන්ද්‍රිකාලා බය වී ඉන්නේ ඒ නිසාය. මේ ශ්‍රී ලනිපය සියතට ගන්න චන්ද්‍රිකාලාට ලැබෙන අවසන් අවස්ථාවය. ඒකට හරියන්නේ පොදු අපේක්‍ෂක සහ පොදු ලාංකික සූත්‍රයය. රනිල් එක්ක ඒ වැඩේ හරි යන්නේ නැතිනම් චන්ද්‍රිකාලා කරන්න ඕනා තුන්වැනි අපේක්‍ෂකයා ශක්තිමත් කිරීමය. තුන්වැනි අපේක්‍ෂකයකුට සහාය දෙන්න ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් තවත් ශ්‍රී ලනිප ඡන්දදායකයන් තුන්වැනි අපේක්‍ෂකයකුට ඡන්දය දමා ගන්න ඡන්ද පොළට ගෙන්වා ගන්න චන්ද්‍රිකාට අමාරු නැත. එහෙම නැතිව චන්ද්‍රිකා ගිහින් රනිල්ගේ වේදිකාවේ නැඟල රනිල්ට ඡන්දය දෙන්න කියල ශ්‍රී ලනිප පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලුවාට ඔවුන් රනිල්ට හෝ අලියට කතිරය ගහන්න එන්නේ නැත. හොඳම උදාහරණය මංගලය. මංගලට මාතර ශ්‍රී ලනිප ඡන්දවත් ගන්න බැරි වූයේ මංගල කොළ පාට වී යූඇන්පී වූ නිසාය.

රනිල්ට ඕනෑ කුදයක් ගහගන්න කියල චන්ද්‍රිකා හැංගිලා හිටියොත් මහින්දට රජ මඟුල්ය. රනිල් අලියාගෙන් ජනාධිපතිවරණයට එන එක වළක්වන්න චන්ද්‍රිකාට බැරි නම් එකම විකල්පය තෙවැනි අපේක්‍ෂකයෙක් ශක්තිමත් කරන එකය. තෙවැනි අපේක්‍ෂකයා ඡන්ද ලක්‍ෂ 15ක් 20ක් ගතහොත් මහින්දට 50%ක් ගැනීම අසීරු වනු ඇත.
මේක වෙන කාගේවත් නොව ලලිත් ඇතුලත්මුදලිගේ තියරියකි.

“මැතිනිය ජනාධිපතිවරණයට ඉල්ලුවොත් මම වෙනම ඉල්ලනවා. අපි මැතිනියට සහාය දෙන්න ගියොත් අපිට යූඇන්පී ඡන්ද කඩන්න බැහැ. මම ඉල්ලලා යූඇන්පී ඡන්ද කඩනවා. මැතිනිය දිනාවි. හැබැයි අපි ප්‍රේමදාස පන්නල යූඇන්පී බලය අතට ගන්නවා....”

මේ ලලිත් මැරෙනකම් කී කතාවය. ඔහු චන්ද්‍රිකාව අවසන් වරට හමු වූ විට කීවේත් මේ කතාවමය.

“ඔයා පළාත් සභාවට පොදු පෙරමුණෙන් ඇවිත් ශ්‍රී ලනිප - වාමාංශික ඡන්ද ටික බේරා ගන්න. මම රාජාලියාගෙන් ඇවිත් යූඇන්පී ඡන්ද කඩන්නම්. මහ ඇමැතිකම අපි දෙන්නා අවුරුදු පහට බෙදා ගමු....”
අදටත් චන්ද්‍රිකාට මේ කතාව මතක තිබිය යුතුය.