අලූත්ගම නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට

අලූත්ගමදී දුම්රිය නතර වෙන්නේ නෑ

අලූත්ගම ඊයේ ඇති වු නොසන්සුන්තාවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන්ගේ සිරුරු මේ වන විට තැන්පත් කර තිබෙන්නේ කළුතර නාගොඩ මහ රෝහලේයි. තවත් තුවාලකරුවන් 34 දෙනෙකු එහි නේවාසිකව ප‍‍්‍රතිකාර ලබනවා. අසාධ්‍ය තත්වයේ පසු වු තුන්දෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කළ බවයි එම රෝහලේ ප‍‍්‍රකාශකයෙකු වෙත කියා සිටියේ.

අදාළ නොසන්සුන්තාව සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදු කර  වගකිවයුතු සියලූදෙනා නීතිය හමුවට පමුණුවන බව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බොලීවියාවේ සිට ට්විටර් සටහනක් තබමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ නීතිය අතට ගැනීමට රජය කිසිවෙකුටත් ඉඩ නොදෙන බවයි. සාමකාමීව සහ සන්සුන්ව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

මේ අතර අලූත්ගම සහ බේරුවල ප‍‍්‍රදේශවලට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මකයි. ඊට පටහැනිව කි‍‍්‍රයා කරන්නන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පැවසුවා.

අලූත්ගම සහ බේරුවල යන ප‍‍්‍රදේශවලට තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. එසේ තිබියදීත් ස්ථාන කිහිපයක නොසන්සුන්තා ඇති වූ බවයි වාර්තාකරු තුසිත කුමාර ද සිල්වා පවසන්නේ. වෙළෙඳසැල් සහ නිවාස කිහිපයක්ද ගිනිතබා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් ප‍‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙවැනි නොසන්සුන්තා රටට එරෙහි විදෙස් බලවේගවලට වාසි අත්කර දෙන බවයි.

මේ අතර මෙම නොසන්සුන්තාවලින් තුවාල ලැබූ සියයකට ආසන්න පිරිසක් මේ වන විට රෝහල්ගතව ප‍‍්‍රතිකාර ලබනවා. කළුතර රෝහලේ තුවාලකරුවන් 43 දෙනෙකු ප‍‍්‍රතිකාර ලබන බවයි එහි ප‍‍්‍රකාශකයෙකු පැවසුවේ. නාගොඩ රෝහලේ තුවාලකරුවන් 35 දෙනෙකු ප‍‍්‍රතිකාර ලබනවා. ඒ අතර කාන්තාවන් දෙදෙනකුද සිටින බවයි එහි ප‍‍්‍රකාශකයෙකු කියා සිටියේ. තවත් තුන්දෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

බේරුවල දිසා රෝහලේ, ධර්ගා නගරයේ රජයේ රෝහලේ සහ අලූත්ගම ග‍‍්‍රාමීය රෝහලේද තුවාලකරුවන් ප‍‍්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. මෙම තුවාලකරුවන් අතර වෙඩි වැදුණු කිහිපදෙනෙකුද සිටින බව රෝහල් ආරංචි කියා සිටියා.

අලූත්ගම හරහා ධාවනය කෙරෙන කිසිදු දුම්රියක් අලූත්ගම දුම්රිය ස්ථානයේ නතර නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පාලක මැදිරිය පැවසුවේ අලූත්ගම ඊයේ ඇති වූ නොසන්සුන්තාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.