මානව හිමිකම් කවුන්සලය සමග සහයෝගයෙන් ගණුදෙනු කරනු - එජාප

| එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කළ පුවත් නිවේදනය.

ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ල වී ඇති බරපතල තර්ජන හමුවේ ජාතික ප්‍රශ්නය දඩමීමා කර ගනිමින් රාජපක්ෂ පාලනය යළිදු වතාවක් බාල දේශපාලන සූදුවක නිරතවෙමින් සිටී.  ශ්‍රි ලංකාවේ පැවති අර්බුදය තුළ රජය සහ එල්.ටී.ටී.ඊ ය යන දෙපාර්ශවය විසින්ම සිදු කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති විරෝධී ක්‍රියා පිළිබඳ සොයා බැලීමට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් පසුගිය දා තම කණ්ඩායමක් ප්‍රකාශයට පත් කළ පසු එම කාරණය ඉතා අප්‍රසන්න ආකාරයෙන්, දේශපාලනීකරණයට ලක් කිරිමට රජය උත්සාහ දරමින් සිටින බවක් පෙනෙන්නට ඇත.  එම පරීක්ෂකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට ඉඩ දිය යුතු ද නැත්ද කියමින්, මේ කාරණය දේශපාලනික මාතෘකාවක් බවට පත්කිරිමට රජය සැරසෙන බව දැක ගත හැකිය.

මේ මොහොතේ රටේ දැවෙන ප්‍රශ්නය වී ඇත්තේ විදේශිකයන් මෙරටට පිරිසකට ඇතුල්වීමට “වීසා” නිකුත් කිරිම නොවේ.   ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණිය ද, නොපැමිණිය ද අනිවාර්යයෙන්ම එම පරීක්ෂණය ඉදිරියට යනු ඇත.  අපගේ අභ්‍යන්තර කාරණා පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂාවක් සිදු නොවනු පිණිස, වැඩ බලාගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය ලෙස අපි පසුගිය කාලයේ දිගින් දිගටම රජයට අවධාරණය කළෙමු.  එබැවින්,  ඇතිවෙමින් තිබෙන මේ අවාසනාවන්ත තත්ත්වය ඇතිවීමට පදනම වනුයේ පාලක රෙජීමයේ නොහැකියාව හා බරපතල උඩඟු හැසිරීමය.   

යුද්ධයේ අවසාන භාගයේ දී සිදුවූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් සැමට පිළිගත හැකි අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මීට පෙර අවස්ථා ගණනාවක් ලබා දුනමුත්,  එවැන්නක් සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය කිසිදු උනන්දුවක් නොදක්වන බව ජාත්‍යන්තර ප්‍රජාව පසුගිය අත්දැකීම්වලින් ම අවබෝධ කර ගෙන සිටිති.  යුද්ධයේ අවසන් භාගයේ දී සිදු වූවායැයි චෝදනා එල්ලවන මානව හිමිකම් උල්ලංගනයන් පිළිබඳ සොයා බැලිමට තමන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවත්, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවත් කියමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් හට 2009 මැයි මාසයේ දී පොරොන්දුවක් ලබා දුන්නේ අන් කිසිවකු නොව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය.  ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කිරිම වෙනුවෙන් ඉන් පසුව ද වරින්වර මේ “ මන්තරය”  රජය මැතිරරුවත්, එය කිසි දිනක මහ පොළොවේ ඇත්තක් නොවුණි.   වසර කිහිපයක් ම එලෙස රැවටීමකට ලක්වීමෙන් පසු සාධාරණත්වය පිළිබඳ ජාත්‍යන්තර දැති රෝද දැන් ශ්‍රී ලංකාව දෙසට හැරී තිබේ.

රටේ ස්ථාපිතව ඇති දේශිය අධිකරණ පද්ධතිය තුළින්, වින්දිතයන් හට පිළිගත හැකි විසදුම් ලබා නොදෙන පසුබිමක ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයකට මැදිහත්වීමේ අවස්ථාව හිමිව තිබේ.  රාජපක්ෂ පාලනය රටේ බලය ලබාගත් පසු රටේ අධිකරණ පද්ධතියේ බරපතල ඛාදනයක් දැක ගත හැකි අතර,  මේ වන විට එය විනාශයේ කෙළවරට පැමිණ ඇත.  වසර දෙසීයකට අධික ඉතිහාසයක් සහිත ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ධූරයට පත් වූ පළමු කාන්තාව වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මියව නීති විරෝධී දෝෂාභියෝගයක් හරහා එම ධූරයෙන් ඉවත් කළ රජය පසුව තමන්ගේ පදයට නටන “රූකඩ”  අගවිනිසුරුවරයෙකුව ඇගේ අනුප්‍රාප්තිකයා ලෙස නම් කළේය.  ඊට ම ගැළපෙන සේ, රටේ සෙසු ඉහළ  අධිකරණය ද තම දේශපාලන ආවතේවකරුවන්ගෙන් පිරවීමට රාජපක්ෂ පාලනය නිර්ලෝභිව කටයුතු කරන ලදී.  මේ සියල්ල සමගින්,  තවදුරටත් ස්වාධීන අධිකරණ පද්ධතියක් රට තුළ ක්‍රියාත්මක නොවන බව රාජපක්ෂ පාලනය තම රට වැසියන්ට හා ලෝකයාට පෙන්වන ලදී.

ඉන් පසු අවස්ථා කිහිපයක දී පවුල් පාලනයේ දුෂ්ට ආඥාදායක ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකාව යනු තවදුරටත්,  යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක හා නීතියේ පාලනය ක්‍රියාත්මක නොවන රටක් බව රාජපක්ෂ පාලනය නිර්ලජ්ජිතව ප්‍රදර්ශනය කරන ලදී.  එක් රැයකින් අතිශය ප්‍රජාතන්ත්‍රවාදී 17 වන ආණ්ඩු ක්‍රම

ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ රාජපක්ෂ පාලනය,  මාධ්‍ය හා ප්‍රතිවිරුද්ධ මතධාරීන් දඩයම් කිරිම ද අඩුවකින් තොරව කර ගෙන යන ලදී.  ඊට අමතරව වාර්ගික හා ආගමික සුළුතර කණ්ඩායම් ඉලක්ක කර ගනිමින්, මෑතක දී සිදු වූ අප්‍රසන්න සිදුවීම් හා සම්බන්ධ සියළු කොටස් පිටුපස සිටි මහා පොදු සාධකය වූයේ ද පාලක රෙජීමය බවට කිසිවෙකුට හෝ රහසක් නොවීය.  ඒ සියල්ල ප්‍රතිසන්ධානයක් වෙනුවෙන් රජයේ සැබෑ උනන්දුව බරපතළ ලෙස ප්‍රශ්න කරන ලදී.  විශේෂයෙන්ම නොනවත්වා සිදු වන්නා වූ පැහැර ගැනීම්, හිංසනයන්, මාධ්‍යය ආරභයා කරන අයුතු මැදිහත්වීම්, සමාජ හා ආර්ථික දේහයේ සෑම අංශයක්ම හමුදාකරණය වීම, අප්‍රසන්න ආකාරයට පිම්මේ වර්ධනය වන වංචා, දූෂණ, ඥාති සංග්‍රහය, වැරදිකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ ලිහිල් ප්‍රතිපත්ති මානව හිමිකම් පිළිබඳ ඇති සම්මත නීති රීති නොසලකා හැරීම ආදී මේ සියල්ල ජාත්‍යන්තර පරීක්ෂාවක් අභියසට ශ්‍රී ලංකාව රැගෙන යාමට හේතු වූ බව ඉතා පැහැදිලිය.

තමන් ඉදිරියේ ඇති මෙම ජාත්‍යන්තර අභියෝග පිළිබඳ සංවේදී ඒ පිළිබඳ නිසි ප්‍රතික්‍රියා දක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය නිරතුරුවම පෙන්වා දුන් මුත්,  රජය හැසිරුනේ ඒවා කිසිදු ආකාරයකට මායිම් නොකරමිනි.  වත්මන් රජය හැසිරුනේ එබදු උඩඟු අධිපතිවාදී මානසිකත්වයකිනි.   හුදු ජාතිකාවාදී හා දේශප්‍රේමී ප්‍රපචාරාත්මකවාදී ව්‍යාපෘති පිටුපස,  සැගවෙනවා වෙනුවට මානව හිමිකම් පිළිබඳ සැබෑ ප්‍රශ්නයක් රටේ ඇති බව රජය වටහා ගත යුතුව තිබුණි.

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් අරගල කළ වැලිවේරිය, අහිංසක ජනතාව වෙත යුද හමුදාව මුදා හරිමින් රාජපක්ෂ පාලනය කළ ලේ වැගිරීමෙන් පසු මානව හිමිකම් නමැති කාරණය පිළිබඳව දකුණේ ද ඇස් ඇරුණා යැයි පැවසුවහොත් එය බොහෝ දුරට නිවැරදි ය.  තමනට මෙසේ සලකනවා නම්,  උතුරේ  සහෝදර ජනතාවට රජය කෙසේ සලකන්නට ඇත් ද යන සාධාරණ ප්‍රශ්නය එක දිගට සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් කිහිපයකින් පසු දකුණේ ජනතාව වෙතින් මතුවන්නට විය.

පහත් දේශපාලනයක  නිරත වෙමින් දේශපාලන වාසී ලබා ගැනීම වෙනුවට,   එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලයේ හැම විටම දුෂ්කර මාර්ගය තෝරා ගත්තේය.  ඒ අනුව රටේ සියළු පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් රට තුළ නීතියේ පාලනය යලි පිහිටුවීමට අවශ්‍ය සියළු සහයෝගය රජයට ලබා දීමට සූදානම් බව නිරතුරුවම අප අවධාරණය කරන ලදී.

අප රට සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජාත්‍යන්තර අභියෝගයන් කාර්යක්ෂම ආකාරයෙන් ආමන්ත්‍රණය කිරිමට තවත් කාලය අපට තිබේ.  සැබැවින් ම,  තවමත් අප පමා වී නොමැත.  ඒ සදහා පළමුව පාලක රෙජීමයට දේශපාලන උනන්දුවක් තිබිය යුතුය.  පසුගිය මාර්තුවේ දී ජගත් මානව හිමිකම් කවුන්සිලය තුළ සම්මත වු යෝජනාවක් සමගින් ඒ අදාළ කාරණා සම්බන්ධව පිළිගත හැකි අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වමින් ඊට මුහුණ දීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමි වන ලදී.  අප එසේ කළේ නම් අභ්‍යන්තර කාරණා පිළිබඳ තනිව ක්‍රියාත්මක විය හැකි බවට පණිවුඩය ලෝකයාට සන්නිවේදනය කිරිමේ අවස්ථාව අපට හිමිවනවා නිසැක ය.

ඒ වෙනුවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා කොමසාරිස්වරිය විසින් පත් කළ පරීක්ෂණ කණ්ඩායම සමග ගණුදෙනු කිරිම කළ නොහැකි බව පැවසීමට උනන්දු වීම තුළ එක් අතකින් ශ්‍රී ලංකාව, තමන් වැරදිකරුවකු ලෙස පිළිගනිමින් සිටිනවාට අමතරව මේ කාරණය සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරිමට තමන්ට ඇති අවස්ථාව ද අහිමි කර ගනිමින් සිටී.  එය අපගේ ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් තමන්ගේ ජීවිත, ඇස්, ඉස්, මස්, ලේ දන්දුන් විරෝදාර රණවිරුවන්ට කරන අසාධාරණයක් සේම රට වැසි සියළු දෙනා ම බරපතල ලෙස පාවාදීමක් වනුයේ ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක ප්‍රතිඵල ඒ සියළුදෙනාටම එක සේ භුක්ති විදීමට සිදුවන බැවිනි.

එබැවින්, එක්සත් ජාතික පක්ෂය ලෙස අප යළිත් රජයට අවධාරණය කරනුයේ මේ සම්බන්ධයෙන්, ජගත් මානව හිමිකම් කවුන්සලය සමග සහයෝගයෙන් ගණුදෙනු කරන ලෙස ය.  මහ කොමසාරිස්වරිය විසින් පත් කර ඇති මෙම පරීක්ෂණ කණ්ඩායමට පැවරී ඇති බලය අනුව එල්.ටී.ටී.ඊ ය විසින් සිදු කරන මිලේච්ඡ සාහසික ක්‍රියා සම්බන්ධව ද පරීක්ෂණ පැවැත්වීමේ බලය ඊට හිමිව තිබේ. අවම තරමින් එල්.ටී.ටී.ඊ ය සිදු කරන ලද අපරාධ සම්බන්ධව හෝ මෙම පරීක්ෂකයන් හමුවේ රජය කරුණු ඉදිරිපත් කිරිම වැදගත් ය.  ඒ වෙනුවෙන් මේ හිමිව ඇත්තේ ස්වර්ණමය අවස්ථාවකි.  විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ යේ ප්‍රධාන අවි සැපයුම්කරුවා සේම ප්‍රභාකරන්ගේ අභාවයෙන් පසු එහි නායකයා ලෙසට තමන් විසින්ම හදුන්වා ගත් කේ.පී මෙන්ම කලක් ප්‍රභාකරන්ගේ දෙවැන්නා වූ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් වැනි සාහසික අපරාධ රැසකට වගකිව යුතු දැනටත් ජිවත්ව සිටින පුද්ගලයන් පිළිබද ජාත්‍යන්තර පරීක්ෂකයන් හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අවශ්‍ය නම් වගවීමේ ක්‍රියාවලියට ආරම්භයක් දැන් රජයට ලබා දිය හැකි ය.  නැගෙනහිර පළාතේ දී එල්.ටී.ටී.ඊ යට යටත් වූ නිරායුධ පොලිස් නිලධාරීන් 600 කට අධික ප්‍රමාණයක් ඝාතනය කිරිම, හිටපු ජනාධිතිනිය චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනය කිරීමට උත්සාහ කිරිම, ඇතුළු තවත් බරපතල අපරාධ රැසකට වගකිව යුතු බවට එදා චෝදනා එල්ල වූයේ මේ පුද්ගලයන්ට ය.  ඔවුන් සම්බන්ධයෙන් අදාළ නෛතික රාමුන් තුළ ක්‍රියාත්මක වීම වෙනුවට ඒ සියළු ත්‍රස්තයන්ව තමන් යටතේ තබා ගනිමින්, ඔවුන්ව පෝෂණය කරමින්, රටේ සෙසු ප්‍රගතිශීලි බලවේග වෙත රජය ත්‍රස්තවාදී හා දේශද්‍රෝහී ලේබලය, අලවමින් සිටී.

17 වන  සංශෝධනය යළි ක්‍රියාත්මක කරමින් ශිෂ්ඨ වටිනාකම් හා නීතියේ පාලනය පිහිටුවන බවට පොරොන්දු වන්නේ නම්,  සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සදහා අවශ්‍ය පද්ධති හා ආයතන රට තුළ ස්ථාපිත කිරිම වෙනුවෙන් සහාය දැක්වීමට එජාපය සූදානම් බව අප මේ මොහොතේ යලිදු වතාවක් රජයට අවධාරණය කර කියා සිටින්නෙමු.  අප විශ්වාස කරන අන්දමට ශ්‍රී ලංකාව එක්සත්, ප්‍රජාතන්ත්‍රවාදී සම්පූර්ණ නිදහස් රටක් ලෙස පැවතිය යුතුය.  අප ආදරණීය මාතෘභූමිය ලෝකයේ පසුගාමී, නීච රාජ්‍යයක් බවට පත්වනු දැකීමේ අරමුණක් අපට නොමැත.  ශිෂ්ට ජාතීන් අතර,  ලෝකයේ අනභිභවනීය ස්ථානයක් අප කාලයත්, භුක්තිවිදින ලදී.   තමන් අනුගමනය කරමින් සිටින පටු ජාතිවාදී ප්‍රතිපත්ති විදේශ සබදතා හැසිරවීම පිළිබඳ ඇති නොහැකියාව තුළ,  රාජපක්ෂ පාලනය විසින් අප රට ආගාධය කරා දිනෙන් දින දක්වමින් සිටිය ද සුළුතරයක් වූ පාලක පන්තියේ පව්වලට මේ රටේ ජනතාවට වන්දි ගෙවීමට අප කිසිසේත්ම ඉඩ නොතබන්නෙමු.

2014, ජුනි 15