මව්බිම කතෘ තුෂාරගේ ප්‍රේමදාස ඝාතන කුමන්ත්‍රණය ගැන

 |  සුභාෂ් ජයවර්ධන
Courtesy: Independent.lk 


 
මේ රටේ එල්ටීටීඊ සංවිධානයට නොදෙවෙනි වෙබ් මා‍ෆියාවක් ක්‍රියාත්මක වන බවත් එහි මා‍ෆියා නායකයන් සිටින බවත් ගෝඩ් ෆාදර්ලා සිටින බවත් මව්බිම පුවත්පත එහි ආරම්බක යුගයේ සිටම මතුරන මන්ත්‍රයකි.
පසුගියදා දෙරණ රූපවහිනියේ මාධ්‍යවේදී චතුර අල්විස්වද මේ වෙබ් මා‍ෆියාවේ අලුත්ම කප්පම්කරුවා ලෙස මව්බිම පුවත් පත විසින් සොයාගෙන් තිබිණි. මේ වන විට 'සුභාෂ් ජයවර්ධන නැමැත්තා' වන මාද වෙබ් මා‍ෆියා කරුවකු ලෙස බෞතීස්ම කිරීමට මව්බිම පුවත්පත කටයුතු කර තිබේ.

මෙම ඉරිදා මව්බිම (04) පුවත් පත මේ සම්බන්ධයෙන් දිගු ලිපියක් පලකර තිබේ. එය ලියා ඇත්තේ ලංඩනයේ වෙසෙන 'ත්‍රස්තවාදී විමර්ශකයකු' විසින්ය. 'ප්‍රේමදාස ඝාතන කුමන්ත්‍රණය 2' නම් කර තිබෙන මේ අලුත්ම ගවේෂණාත්මක සොයා ගැනීම වෙනුවෙන් මේ ත්‍රස්ත විමර්ශකයා සෑහෙන්න මහන්සි වී තිබේ. පත්තරකාරයෙකුගේ මහන්සියට පරිබව කිරීම තවත් පත්තර කාරයෙකුට  කළ හැකි නොවේ. ඒ නිසා මේ ලිපිය මව්බිමේම පරණ කුණුරොඩු වල එකතුවක් වුවත් ඒ ගැන යම් සටහනක් තැබීමට මා තීරණය කළෙමි.

ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය විසින් පසුගියදා මව්බිම කතෘ තුෂාර ගුණරත්න මාධ්‍ය නිදහස වෙනුවෙන්වූ ක්‍රියාකාරි කමි‍ටු සාමාජිකයකු සම්බන්ධයෙන් හා එම මාධ්‍ය කමි‍ටුවේ ක්‍රියා කලාපය පහත් කොට දැක්වීම සම්බන්ධයෙන් පළ කරන ලද පුවතින් කියැවූනෙ, තුෂාර ගුණරත්න 'බාල්දු' ලේඛනයකට ඇතුලත් කළ යුතු මාධ්‍යවේදියෙකු ලෙස යොජනාවක් එම කමි‍ටුවට ලැබී ඇති බවය.

ඊට පිළිතුරක් ලෙස, මෙම පුවත දෙරණ අරුණ පුවත්පත් සිරස්තල කියැවීමේ වැඩසටහනෙන් කියැවූ චතුරව කප්පම්කරුවකු ලෙස මව්බිම පුවත්පත කිසිදු වගවිභාගයකින් තොරව සිදු කළේය.

එහිදි වෙබ් මාධ්‍ය ගැන අභූත චෝදනා ‍රැසක් මව්බිම විසින් දමා ගැසු අතර ඒ අපගේ වෘත්තිය ක්ෂේත්‍රයට බලපාන්නක් බැවින් ඊට පිළිතුරක් පසුගිය 02 වන දින අප විසින් පළ කරනු ලැබීය. එමෙන්ම වෘත්තීය වෙබ් ජනමාධ්‍ය කරුවන්ගේ සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් නිවේදනයක්ද නිකුත් කළේය.

ඉරිදා මව්බිම පුවත්පතේ ' ත්‍රස්ත විමර්ශකයා' මතුකරන බොහෝ චෝදනාවලට උත්තර එම දෙතැනම ඇත. එම නිසා අනෙකුත් අවශේෂ කරුණු ගැන පමණක් මෙහි සටහන් කරමු.

මව්බිම කතුවරයාගේ අනුමැතිය හා වගකීම සහිතව (සමහර විට ඔහු විසින් කියවන විට) ලියා පළකරන මේ ලිපියෙන් මේ මා‍ෆියාවට සම්බන්ධ වුන් සමහ‍රකුගේ නම් ගම් පැවැසීමට තරම් කොන්දක් මේ ත්‍රස්ත විමර්ශක ලංඩන් බණ්ඩාට නැති බව පැහැදිලිය.( එහෙත් ඔහුගේ මාන්නය නම් පුංචි නැති බව මා දනිමි) මේ කොන්ද පිළිබඳ ප්‍රශ්නයක් නොවේ නම් මේ හිතලුය. සාමාන්‍යයෙන් මව්බිම පුවත්පතේ දෙවියන්, යකුන්, පෙරේතයන් කළ කී දේ ගැන බොහො ලිපි පළ වේ. නමුත් මේ සියල්ල බොරු හිතලුය. මේ නිසා බොරු කතන්දර ගෙතීම මව්බිමේ කතෘ මණ්ඩලයට ආවේනික පුවත්පත් කලා සම්ප්‍රදායක් බවට පත්ව තිබේ.

ඒ කෙසේ වුවත් මෙහි අපට හැ‍ඟෙන ආකාරයට මූලික චෝදනාව එල්ල වී ඇත්තේ තිලංග සුමතිපාල මහතා හා ඔහුගේ ලක්බිම පුවත්පතට එරෙහිවය. ඊට හේතුවී ඇත්තේ පසුගියදා නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය විවේචනය කළ ලිපියක් (පොදු අපේක්ෂකයා සහ ජුදාස්ගේ හඬ) පළ වීමය.

එය මව්බිම කතෘවරයාට දරා ගැනීමට නොහැකිවී ඇති තරමට ප්‍රබල ලියැවිල්ලක් බව මේ අනුව පැහැදිලිය. ත්‍රස්ත විමර්ශකයා ගේ ගවේෂණාත්මය හෙළිදරව්වට පදම වී ඇත්තේ 'වෙබ් මා‍ෆියාව' හා එකතුව සජිත්ට පහර දීම දරා ගත නොහැකි වීමය. ඔහුට අනුව මීළඟ ජනාධිපතිවරණයට සජිත් ඉදිරිපත් වී ජයග්‍රහණය කරනු ඇතැයි වෙබ් මා‍ෆියාව බියවී තිබේ. අනෙක හම්බන්තෝටින් සජිත් වැඩි ඡන්ද ගැනීම ගැන වෙබ් මා‍ෆියාවට තිබෙන ඉරිසියාවය.

මේ කරුණු දෙකට පිළිතුරක් දීමේ අයිතිය මා සතුය. ඒ මාද ප්‍රේමදාස ඝාතන කුමන්ත්‍රණය 2 හි කොටස්කාර වෙබ් මා‍ෆියාකරුවකු ලෙස බෞතිස්ම කර ඇති බැවිනි.

ඉතා පැහැදිලිව සජිත් ප්‍රේමදාස යනු රටේ නායකත්වයට හෝ පක්ෂයක දිස්ත්‍රික් කායකත්වයකට හෝ සුදුසු පුද්ගලයකු නොවන බව කටහක් නැතිව මාහට පැවැසීමට හැකිය. ඒ මන්ද කියන කරණය වෙනම දැක්වීමට අදහස් කරමි. කෙටියෙන් පවසන්නේ නම් තුෂාර ගුණරත්නට පුවත්පතක කතෘකම භාරදීමෙන් සිදුව ඇති අලකලංචියට නොදෙවෙනි දෙයක් සජිත් කරන්නේ නැති බව දන්නා නිසාය. (මාධ්‍ය කමි‍ටුවට යෝජනා වූයේ තුෂාරව බාල්දු ලේඛනයට ඇතුලත් කළ යුතු බවටය. මාගේ යෝජනාව ඒ 'මස්තබාල්දු' ලේඛනයට ඇතුලත් කළ යුතු බවය. තුෂාරගේ පත්තර කතෘකම දැන් ඇත්තේ එතැනය.) 

එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන්ද මට ඇත්තේ එවැනිම විවේචනයකි. එහි රනිල් හෝ සජිත් කියා භේදයක් ඇත්තේ නැත. පාක්ෂික හෝ වේවා නිර්පාක්ෂික හෝ වේවා පොදු අපේක්ෂකයකු ආවත් මේ ජාරාජීර්ණ සමාජ අර්ථික දේශපාලන ක්‍රමයේ දැවන්ත වෙනසකට වැඩ පිළිවෙලක් නොමැතිව මේ කවුරු ජයග්‍රහණය කළත් රටට වැඩක් වන්නේ නැත. රටේ මිනිස්සුන්ට වැඩක් වන්නේද නැත. අප ඉන්ඩෙපෙන්ඩෙන්ට් වෙබ් අඩවිය පෙනී සිටින්නේ ඒ වෙනුවෙන් මිසක එක එක දේශපාලන තක්කඩීන්ගේ කිරිපල්ල මිරිකා චූන් කරන්න නොවේ.

සජිත් ජනාධිපති කරන්නේ රටට කවර ජයග්‍රහණයක් අත්පත් කර දෙන්නද? මේ ප්‍රශ්නයට උත්තර තුෂාරලාට තබා සජිත්ටවත් ඇත්තේ නැත.

හම්බන්තොටින් සජිත් වැඩි ඡන්ද ගත්තාය කීම ගැන කියන්නේ නම් 2010 මහ මැතිවරණය ප්‍රතිපලය හා සැසැඳීමෙන් ඊට පිළිතුරු ලැබේ. 2009 දී ආණ්ඩුවේ ස්වර්ණමය යුගයේදී (එනම් ත්‍රස්ත විමර්ශකයා කියන පරිදි සජිත් යුද්ධයට පක්ෂපාතව සිටියදී) එජාපය ගත් ඡන්ද සංඛ්‍යාවට වඩා 2010 දී එජාපය ඡන්ද ලබා ගත් අතර ඒ 2014 වන විට සජිත් ‍රැක ගැනීමට නොහැකි වීම ගැන අපට කවර නම් ඉරිසියාවක්ද?

මව්බිමේ ත්‍රස්ත විමර්ශකයා ඔහුගේ ගවේශණාත්මක හෙළිදරව් සඳහා මා ඇඳා ගැනීමත් මා සම්බන්ධයෙන් පළ කර තිබෙන දෑ සම්බන්ධයෙනුත් මට පොඩි පහේ දුකක් කම්පාවක් ඇත.

මට 'රිදෙන්න ගහනවා' යැයි මව්බිම කතෘවරයා පණිවිඩයක් එවා තිබුණෙ මීට සති කිහිපයකට පමණ පෙරදීය. මට ගැටලුවකට තිබුණේ 'රිදෙන්න ගහනවා' යන්නෙන් අදහස් කළේ කුමක්ද යන්න නොදැනීම ගැනය. මොකද එක දුරකතන පණිවිඩයකින් මාගේ ජීවිතය වුව විනාශ කිරීම හැකියාව ටිරාන් අලස් සතුව ඇති බව මා හොඳින් දන්නා නිසාය. ඒ මා මව්බිම පුවත් පතේ සේවය කරන කාලයේදීත් ඉන් ඉවත්වූ කාලයේදීත් හොඳින් අත්වින්දේය.
.
කෙසේ නමුත් මාගේ දුකට කාරණය වී තිබෙන පළමු කාරණය, මේ ත්‍රස්ත විමර්ශකයා 'සුභාෂ් ජයවර්ධන නැමැත්තා ' කවුද යන්න ගැන හරි හැටි නොදැන සිටීමයි.

මාගේ ඡායාරූපයක් සොයා ඒ විකෘති කර පළ කර තිබුණත් මේ ත්‍රස්ත විමර්ශකයාට, සුභාෂ් ජයවර්ධන යනු තමන් වෙනුවෙන් මාස 6ක කාලයක් දිනපතා කතුවැකිය ලියාදුන් එකා බවවත් කීමට තුෂාරට යුතුකමක් තිබුණි. අඩු තරමින් ඉරිදා මව්බිමේ කතෘ උපුල් ජෝසප්ටවත් තමන් වෙනුවෙනුත් කතු වැකිය ලිව්වේ මේ සුභාෂ් බව කියන්නට කට ඇරී නැත.

ඒ නිසා සුභාෂ් ජයවර්ධන යනු නිකම්ම වෙබ් මා‍ෆියා කාරයෙක් පමණක් නොවන බව අ‍ටුවා ටීකා ටිප්පනි සහිතව මේ ලංඩන් බණ්ඩාට කියා දීම ඉදිරියේදී ඔහුගේ කටයුතුවලටත් පහසුවක් වේවි යැයි සිතමි.

එහෙත් සුභාෂ් ජයවර්ධන යනු කවුද යන්න මේ ත්‍රස්ත විමර්ශකයාට කියා දීමට යෑමේදී ටිරාන් අලස්ගේ පටන් මව්බිමේ කාකාස දක්වා වු මව්බිමේ කට්ටියගේ කුණුකන්දල් එකින් එක හාරා ඇවිස්සීමට සිදුවීම ගැන මට කණගා‍ටුවක් නැත. මන්ද දැන් ඒ හෙළිදරව් කිරීමට කාලය බැවිනි. ඉතිං ඉදිරියේදී ඒ සියල්ල හෙළි කර දමමි.

තව චූටි කාරණයක්.. මා සුපිරිසිදු පුද්ගලයකු බව රටට ලෝකයට කියන්නට උත්සහකරන බවත් මෙහි ලියා තිබිණි. මා කරන 'අවලන් වැඩ ,කුපාඩි වැඩ , අපිරිසිදු වැඩ , නරක වැඩ, වැරදි වැඩ' මේ සියල්ල ප්‍රසිද්ධ කාරණාය.! එහෙව් මාව ඔය කියන 'සුපිරිසිදු චරිතයක්' කරන්න මට තබා වෙන කිසිවකුට හෝ නොහැකිය.

අනෙක මට මඩ ගහපු පළමු අවස්ථාව හෝ පළමු කණ්ඩායම මව්බිම නොවේ. වරක් දිනමිණ පුවත්පත මා හඳුන්වා දුනේ 'මඩ වෙබ් අඩවි ඔස්තාර්' ලෙසය. ඒ කියා ටික දිනකින් රහස් පොලීසිය මා ඇතුළු සහෝදර මාධ්‍යවේදීන් පිරිසක් රහස් පොලීසිය මඟින් අත්අඩංගුවට ගත්හ. චෝදනාව වූයේ 'ජනධිපතිවරයාගේ රාජකීය මහිමය කෙළසීමය.' නමුත් අධිකරණයේදී ඔප්පුවූයේ ජනාධිපතිවරයාට රාජකීය මහිමයක් නැති බව පමණි.

අනෙක මව්බිමේ විසින් මෙවර දරමින් සිටින උත්සායද අපගේ ජීවිත අනතුරේ හෙලන්න අවශ්‍ය පසුබිම සැකසීමක්දැයි ගැන ඇත්තේ සැකයකි. එම නිසා මේ ලිපිය ප්‍රේමදාස ඝාතන කුමන්ත්‍රණය 2 නොව වෙබ් මාධ්‍ය විනාශ කිරීමේ කුමන්ත්‍රණය 2 බව අපගේ වැටහීමය. මන්ද ගියවර අප අත් අඩංගුවට පත් කරවීමට අවශ්‍ය පසුබිම සැකසූවා පමණක් නොව අත් අඩංගුවට පත්වීම සාධාරණීය කරණය කිරීමත් මව්බිම පුවත්පත විසින් සිදු කරණු ලැබීය. එමෙන්ම රහස් පොලීසියට අවශ්‍ය තොරතුරු ලැබී තිබුණේ කොතැනින්දැයි අපට හතරවන තට්‍ටුවේදීම තහවුරු කර ගැනීමට හැකිවීම නිසාය. තුෂාර මා හා වෛර බැඳ ගැනීමට හේතූ වූ මූලික කරණය මේ කුමන්ත්‍රණයේ සුළමුල මා විසින් හෙළි කිරීම නිසාය.

ඉන් පසුව මව්බිමේ 'ජඩ'මාධ්‍ය භාවිතයත් එහි හිමිකාරිත්වයත් විසින් සිදු කරනු ලැබු මජර වැඩ ගනනාවක් අප විසින් හෙළි කරනු ලැබීම තුෂාරගේ වෛරයට තවත් පොහොර එක් කිරීමක්ව තිබුණු බව මා දැන සිටියේය. එහෙත් ඒ කිසිවකට උත්තර දෙන්නට තුෂාරට හෝ මව්බිමට හැකිවූයේ නැත.

අදටත් ඒසේ කළ නොහැකිය. ඒ වෙනුවට මාගේ පෞද්ගලික ජීවිතය අලලා කතන්දර ගෙතීම හැර අන් දෙයක් ඔහුට කර ගත නොහැකි බව පැහැදිලිය.

මා විවාහයක් අතහැර තවත් විවාහයක් කර ගැනීම හෝ අනියම් සම්බන්ධතා පැවැත්වීම හෝ ගණිකා සේවනය කිරීම හෝ තුෂාරට ප්‍රශ්නයක් වන්නේ කෙසේද යන්න ගැන මට අවබෝධයක් තිබුණත් ඒ මං මෙතැන සඳහන් කරන්නේ නැත.

ටිරාන් අලස්ටත්, සජිත් ප්‍රේමදාසටත් එමෙන්ම තුෂාරටත් අවසන් වශයෙන් කියන්නේ, දේශපාලන වශයෙන් අප සමඟ ගැටෙන්නට හැකියාවක් තිබේනම් අපි ඊට සූදානම් බවය.

එහෙත් ඒ වෙනුවට මඩ ගැසීම ‍තෝරා ගන්නේ නම් අපි ඊටත් වඩා කැමැත්තෙන් ඊට පිළිතුරු බැඳීමට සූදානම්ය.

එමෙන්ම 'ලංඩන් ත්‍රස්ත විමර්ශකයා' නමින් මේ ලියු හෝකන්දර හාදයාට කියන්න ඇත්තේ මට උඹත් එක්ක ප්‍රශ්නයක් නැති බවය. බඩ රස්සාවට කියන ඕනෑම කෙබරක් ලියනවා හැර වෙන යමක් උඹ දන්නේ නැති බව උඹ සමඟ මව්බිමේ හිටපු කාලය තුල මා දැන ගත්තෙමි.

මගේ දුකට හේතු වූ දෙවන කාරණය සිගරට් දෙකක් ගන්න තිබුණු සල්ලි වලින් මේ අවලන් මඩ පත්තරය මිළදී ගැනීමට සිදුවීමය.