ලක්බිම කර්තෘ රහස් පොලීසියට කැඳවීම තවත් බිය ගැන්වීමකි

ලක්බිම පුවත් පතෙහි ප්‍රධාන කර්තෘ සමන් වගආරච්චි එම පුවත්පතෙහි ජායාරූපයකට යොදන ලද  මාතෘකාවක් පිළිබඳ ප්‍රශ්ණ කිරීමට රහස් පොලිසියට කැදවීම මෙරට ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් බියගැන්වීමට දරන ලද තවත් තැතක් ලෙස නිදහස් මාධ්‍ය වයාපාරය සළකයි. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදින් මුහුණ දී සිටින මර්ධනකාරී තත්ත්වය යටතේ මෙවැනි ප්‍රශ්ණ කිරීමක් විසින් බිය තවත් උත්සන්න කර ජනමාධ්‍ය ස්වයං වාරණය ඉහළ නංවයි.

පසුගිය 07වනදා ලක්බිම පුවත් පතෙහි 08වන පිටුවේ පළ කරන ලද, ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිදගේ ජයාරූපයකට යොදන ලද මාතෘකාව මෙම ප්‍රශ්ණ කිරීමට හේතු වූ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට දැන ගන්නට තිබේ‍. අප්‍රේල් 04 දා පැවැත් වූ සේවා වනිතා අව්රුදු පොළෙහි ප්‍රධාන ආරධිතයා වූ අයොමා රාජපක්ෂ මහත්මිය වෙළද කුටියකින් යමක් මිලදී ගන්නා එම ජායාරෑපයට "හොර සල්ලි නෙමෙයිනේ" යනුවෙන් මාතෘකාවක් යොදා තිබුණි. මෙම මාතෘකාව යොදනු ලැබුවේ මෑත දිනෙක ( ආන්ඩුවට සම්බන්ධයක් නැති) ප්‍රභූ තැනැත්තියක විසින් රුපියල් මිලියන දෙකක  ව්‍යාජ මුදල් නොට්ටු ගනුදෙනුවකට දැන හෝ නොදැන සම්බන්ධ වීම  සන්දර්භයෙහි බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට දැන ගන්නට තිබේ.

මෙම මාතෘකාව පිළිබඳ බලධාරීන් උදහසට පත්වීම නිසා ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකිරිම් දෙකක්ම ලක්බිම පුවත් පතෙහි පළ කරන ලද අතර එම පිටුව බාරව සිටි උප කර්තෘ වරයාගේ වැඩ තහනම් කොට තිබේ.

නීත්‍යනුකූළව මෙම මාතෘකාවෙහි කිසිදු වරදක් ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කල්පනා කරන්නේ නැත. ජනමාධ්‍ය ආචාර ධර්මයන්ට අනුව එවැනි මාතෘකාවක් යෝග්‍ය ද නැත් ද යන්න විවාදාත්මක ය. ශ්‍රී ලංකාවෙහි ජනමාධ්‍ය නිදහස පැවැති සමයන්හිදී මෙවැනි ශීර්ෂ පාඨ පවා පුවත්පත්හි පළ වී ඇති අතර එම කතුවරුන්ට විරුද්ධව පොලීසිය උසිගැන්වීමක් නොකෙරුණි.

ජනමාධ්‍ය‍ තුළ සාකච්චා විය යුතු මෙවැනි කරුණූ සඳහා රාජ්‍යයේ මැදිහත් වීම හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය නිදහසට අකුල් නොහෙළන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
                                                      
සුනිල් ජයසේකර 
කුමාර අලගියවන්න