සමරිසි බවත් සංසාරගත පුරුද්දක් වෙන්න ඇති - ඩයනා ගමගේ


diana gamage 20
‘‘ඔබ ගැන සිතන්නී ය....
ඩයනා ගමගේ
අංක 18
කොළඹ දිස්ත‍්‍රික්කයෙන් බස්නාහිර පළාතට’’

ඇතුල් කෝට්ටේ මංසංධිය පසුකොට පාගොඩ දෙසට පැමිණෙන විට ප‍්‍රධාන මාර්ගයේ වම්පස ඉහත වැකිය සඳහන් දැවැන්ත දැන්වීම් පුවරු කිහිපයකින් සැරසූ ගොඩනැගිල්ලකි. එම දැන්වීම් පුවරු සුරූපී ළඳකගේ දැවැන්ත ඡායාරූප කිහිපයකින් ද වර්ණවත් වී ඇත. ඒ ඩයනා ගමගේ නම් වූ බස්නාහිර පළාත් සභා අපේක්ෂිකාවගේ ඡායාරුපය යි. එම ගොඩනැගිල්ල ඇගේ මැතිවරණ කාර්යාලය යි. දේශපාලන පොරපිටියට පිවිසෙන නවක කාන්තාවක් වන ඇය පිළිබඳ විමසීමක් කළ යුතු යැයි හැඟුණ බැවින් අදාළ කාර්යාලයේ මහත්මයකු හරහා වේලාවක් වෙන් කරගත් මා ඇය සම්මුඛ විය.

මගේ පළමු උත්සාහය වූයේ ඇය කවුද යන්න පිළිබඳ විමසා බැලීම ය.
‘‘ඇත්තට ම මගේ මුල් පරම්පරාව දකුණෙ. මාතර කැකනදුර. වෙහෙරහේන විහාරයේ ආරම්භක පිරිස වෙන්නෙත් මගේ ආච්චිල සීයල. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිධුරය දැරූ පරවාහැර වජිරඥාන ස්වාමීන් වහන්සේත් මගේ සීය කෙනෙක්. අපේ මුල් වාසගම වුණේ කැකැනදුර ගමගේ.’’
ඒ ඇගේ ඉතිහාසයෙන් බිඳක්....
මාතර කැකනදුර ගමගේ පරපුරෙන් පැවත එන ඩයනා ජන්ම ලාබය ලබන්නෙ දෙහිවල. ඇය සිය මූලික අධ්‍යාපන කටයුතුවල නිරවෙන්නෙ නුගේගොඩ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයේ. අනතුරුව ඇය සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයට පිටත්ව යනවා.
‘‘මගේ උසස් අධ්‍යාපන කටයුතු සිද්ධවෙන්නෙ එංගලන්තයේ ක්ලෙයාමවුන්ට් උසස් පාසලේ. ඊට පස්සෙ ලන්ඩනයේ වෙස්මිනිස්ටර් උසස් අධ්‍යාපන ආයතනයට අනුබද්ධ මෙටෙ‍්‍රපොලිටන් විශ්වවිද්‍යාලයෙන් නීතිය හැදෑරුවා. නමුත් මම මේ වනතුරු නීතිඥයෙක් විදියට කටයුතු කරල නැහැ. කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ....’’
මේ මොහොතෙ මට සිද්ධ වුණා ඇයට යම් බාධාවක් කරන්න. මොකද නීතිය හදාරලත් නීතිඥයෙක් විදියට කටයුතු නොකිරිිම අවාසිසහගත දෙයක් කියල හිතුණ නිසා.
‘‘ඔබේ නිගමනය හරි. නමුත් නිතිඥයෙක් යම් සේවාදායකයකුගෙන් යම් මුදලක් ගත්තොත් අදාළ සේවාදායකය වෙනුවෙන් පෙනි සිටිය යුතුයි. නමුත් ඔහු/ ඇය මිනිමරුවෙක්, අපරාධකාරයෙක්, ස්ත‍්‍රී දූෂකයෙක් නම්... ඒත් කරන්න දෙයක් නැහැ. ඔහු වෙනුවෙන් පෙනී ඉඳල ඔහු බේරාගත යුතුයි. ඒක කොයිතරම් දුරට අසාධාරණ ද අයුක්තිසහගත ද කියල මම විශේෂයෙන් කියන්න අවශ්‍යය නැහැනෙ නේද?’’
මේ විදියට හිතන අය, වැඩ කරන අය ඉන්නව නම් නීතියේ ආධිපත්‍යය පිලිබඳ අපට විශ්වාසයක් තියන්න පුළුවන් කියල මට හිතුණා. මම ඊළඟට යොමු වුණේ ඇය දේශපාලනයට සම්බන්ධ වුණ ආකාරය විමසන්න.
‘‘මම එංගලන්තයෙ ඉඳල ලංකාවට ආවෙ 2001 වසරෙ. ඒ ඇවිත් එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තියවේදීන්ගෙ සංගමයට බැදුණා. ඊට පස්සෙ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තා. 2002 මහ මැතිවරණයේ කටයුතුවලට සහභාගි වුණා. 2005 ජනාධිපතිවරණයෙදිත් රනිල්වික‍්‍රමසිංහ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කළා. නමුත් මේ සියල්ල කළේ තිරය පිටුපස කටයුතු විදියට. 2010 ජනාධිපතිවරණයේ දි සරත් ෆොන්සේකා මහත්මයගෙ ජයග‍්‍රහණය වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ ම සහයෝගය ලබා දුන්නා.’’
මේ වන විට බොහෝ දෙනා බලය පවතින දේශපාලන පක්ෂ වෙත ඇදී යද්දි ඩයනා එක්සත් ජාතික පක්ෂය ම තෝරාගන්නත් යම් විශේෂත්වයක් ඇති කියල මට හිතුණා.
‘‘ඇත්ත වශයෙන් ම එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ විශාලතම තනි පක්ෂය; නිදහසට පෙර පටන් පැවති පක්ෂය; බත් දුන් පියා බිහිකළ පක්ෂය; නිදහස් අධ්‍යාපනයේ පියා බිහි කළ පක්ෂය; මහවැලිය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපාර දියත් කළ පක්ෂය. මේ මොහොතෙ වුනත් රටේ දැවෙන ප‍්‍රශ්නවලට පිළිතුරු සපයන්න පුළුවන් වෙන්නෙ රනිල් වික‍්‍රමසිංහමැතිතුමගෙ නායකත්වය යටතේ පවතින එක්සත් ජාතික පක්ෂයට පමණයි. පවතින ක‍්‍රමයට එකම විකල්පයත් එක්සත් ජාතිකපක්ෂය පමණයි. එහෙම නම් රටට දැයට ආදරය කරන පුද්ගලයෙක් විදියට වෙන මොන පක්ෂයද තෝරගන්නෙ.?’’
ඩයනා දේශපාලනයට පිවිසෙනවාත් සමඟ ම එක්සත් කාන්තා පෙරමුණ නමින් කාන්තා සංවිධානයක් ද කලඑළි දකිනවා.
‘‘ඔව්. හුඟක් අය හිතන්නෙ මම මේ කාන්තා සංවිධානය පිහිටවාගත්තෙ දේශපාලන වාසියක් සඳහා කියල. නමුත් ඇත්ත තත්ත්වය ඒක නෙවෙයි. මේ සංවිධාය පිහිටෙව්වෙ ඡුන්දෙ ඉල්ලනව කියල හිතන්නත් බොහෝ කලින්. දැනට ගම්පහ දිස්ත‍්‍රික්කයේ ශාඛා පහක් පිහිටුවල තියෙනවා. පසුගිය කාලයේ යුද්ධයෙන් අවතැන් වුවන් සම්බන්ධයෙන් සොයා බලන්න උතුරු නැගෙනහිර සංචාරය කළා. ඒ මොහොතෙ මම දැක්ක ඒ මවුවරුන්ගෙ දුක. අවුරුදු විසිපත් තිහත් අතර කාන්තාවො තමන්ගෙ ඪීවිතය ගැන තියන බලාපොරොත්තු අතහැරල. මොකක් ද ඒ අයගෙ බලාපොරොත්තුව? වෙන මොනවත් නෙවෙයි තමන්ගෙ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නෙ කොහොමද කියන එකයි ඔවුන්ගෙ බලාපොරොත්තුව. ඒ නිසා මම මේ වන විට එක්සත් කාන්තා පෙරමුණ හරහා ඒ අයට උපකාර කරන්න අවශ්‍යය වැඩ පිළිවෙලක් සකසාගෙන යනවා. ඒ නිසා කවුරු හරි හිතනවනම් එක්සත් කාන්තා පෙරමුණ කියන්නෙ ඡුන්දය වෙනුවෙන් පිහිටුවාගත් සංවිධානයක් කියල: ඒක එහෙම නොවෙයි කියල ඔප්පු කරන්න පු`එවන් සාක්ෂි මා සතුව තිබෙනවා.’’
මට මතකයි ඩයනා පසුගි දිනවල සමලිංගිකයන් වෙනුවෙන් යම් ධනාත්මක අදහසක් ඉදිරිපත් කර තිබුණ බව. එය තවදුරටත් පැහැදිලි කරගැනීමේ අවශ්‍යතාවක් මතුවුණා.
‘‘බුදු දහමෙ ම කියනවනෙ යම් පුද්ගලයෙක් උපදිනකොට අරගෙන ආපු කර්ම ශක්තිය අනුව තමයි හැම දේම සිද්ධවෙන්නෙ කියල. මම හිතන්නෙ සමලිංගිකත්වයට රුචිකත්වයක් දක්වන අයත් මේක සංසාරෙ ඉඳන් අරගෙන එන දෙයක් වෙන්න ඇති. ඒ නිසා අපි කාටවත් ඒකට විරුද්ධ වෙන් බැහැ. ඒකට විරුද්ධව නීති රීති පනවල නවත්වන්න බැහැ. ඒක ඒ පුද්ගලයන්ගෙ අයිතිවාසිකමක්. රටේ ජනගහනයෙන් සියයට එකක් දෙකක් සමලිංගිකත්වයට ළැදි වුණා කියල රටේ සංවර්ධනයට බාධාවක් වෙන්නෙත් නැහැනෙ. ඒ නිසා ඔවුන්ගේ හිමිකම ඔවුන්ට ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ තමයි මම ඉන්නෙ.’’

ඩයනා කොහොම කිව්වත් මේ යුගය පියාගෙ මිනීමරුවන් සමඟ එකම වේදිකාවෙ ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන්න තරම් පහත් තත්ත්වයට පුද්ගලයන් පත්වුණ යුගයක්. එවැනි යුගයක ඇගේ මේ ප‍්‍රවේශ වීම යළි යළිත් විමසීමට ලක් කළ යුතුයි.

‘‘මටනම් හිතෙන්නෙ එවැනි කටයුතු නිසා පීඩනයට පත්වෙන්නෙ පියාගෙ මිනිමරුවන් සමඟ දේශපාලන ව්‍යාපාරයේ නිරත වන අය නෙවෙයි. ඒ මිය ගිය දේශපාලන සගයාගේ සමීපතම හිතවතුන්, පාක්ෂිකයො, ඒ අයට තමයි සමාජයට මුහුණ දෙන්න බැරි වෙන්නෙ. වෙනත් අය පිළිබඳ කතාකරන්න මම කැමති නැහැ. නමුත් මගේ පියා යම් දේශපානඥයෙක් හෝ කණ්ඩායමක් විසින් ඝාතනය කළා නම් ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙනතුරු අවම වශයෙන් දේශපාලනයේ නිරත වෙන්නෙවත් නැහැ. මගේ පළමු සටන වෙන්නෙ පියාගෙ මීණිමරුවන්ට නීතිය මගින් ද`ඩුවම් ලබා දීමට කටයුතු කිරීම.’’
එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වෙලා, ජනතාවගේ ඡන්දයෙන් ජයග‍්‍රහණය ලබල තේරී පත්වුණ ඇතැම් පුද්ගලයොත් රටේ නායකයගෙ දෑත් ශක්තිමත් කරන්න ගිය වාතාවරණයක් තුළ ජනතාව කොහොමද දේශපාලනඥයො විස්වාස කරන්නෙ යන්න මම ඇයගෙන් විමසුවා.
‘‘මගේ අදහස නම්: අද ජනතාවට දේශපාලකය විශ්වාස කරන්න බැහැ කියන එක යථාර්ථයක්. ඒ නිසා මාව විශ්වාස කරන්න කියල ඒත්තුගන්වන්න ක‍්‍රමවේදයක් නැහැ. නමුත් මම දැනගන්න කැමතියි එහෙම දැත් ශක්තිමත් කරන්න ගිය අය ඇයි එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දයට ඉදිරිපත්වුණේ කියල. ඒ අයට තිබුණෙ දැත් ශක්තිමත් කරන පක්ෂයෙන් ම ඡන්දය ඉල්ලන්නනෙ. ඒ අය කරන්නෙ ව්‍යාපාරයක්. මට මුදල් හම්බ කරන්න දේශපාලනය කරන්න අවශ්‍යය නැහැ. ණය බේරන්න දේශපාලනය කරන්න වුවමනාවක් නැහැ. මට සහ මගේ පවුලේ සියලූ දෙනාට ජිවත්වෙන්න: හොඳට ජීවත්වෙන්න සල්ලි තියෙනවා. මට වුවමනා මගේ රටේ මිනිස්සුන්ට සේවයක් කරන්න. ඒ නිසා මම මගේ ඡන්ද දායකයන්ට කියන්නෙ මා කෙරෙහි පූර්ණ විශ්වාසය තබන්න කියල.''