තරුණයෙකු මුලාකරගෙන මාව විනාශ කරන්න රෙජීමය උත්සාහ කරනව - මංගල


mangala samaraweera 22
මුලා කරනු ලැබූ තරුණයෙකු භාවිතා කරමින් පළාත් සභා මැතිවරණ වලට හා ඉන්පසුව පැවැත්වෙන ජනාධිපතිවරණයට සූදානම් වීමක් වශයෙන් තමාව විනාශ කිරීමට රාජපක්ෂ රෙජීමය තැත් කරමින් සිටින බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

මෙවැනි කුමන්ත්‍රණ මගින් තමාට තර්ජනය කිරීමට හෝ තමාව නිහඞ කිරීමට හෝ තැත් කිරීමට හැකි බවට රජපක්ෂ රෙජීමය සිතන්නේ නම් එය වැරදි වැටහීමක් බව අද (22) නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටියි.
වසර 2007 දී ජනපති හා විරසක වූ තමාව දිගින් දිගටම අපකීර්තියට පත්කිරීමට තැත්කිරීමට අපොහොසත්වීමෙන් අනතුරුව, කලකින් භාවිතා නොකළ දණ්ඩ නීති සංග්‍රහයේ ඉපැරණි පරිච්ඡේදයක් යොදාගෙන තමාව නිහඞ කිරීමේ තවත් ප්‍රයත්නයක් දරමින් සිටින බව මන්ත්‍රීවරයාගේ අදහස වේ.
පසුගියදා සිය නිවසට පැන මත්පැන් බෝතල කිහිපයක් සොරාගත් බවට පොලිසිය හමුවේ වරද පිළිගත් සැකකරුව මේ වන විට රාජ්‍ය මාධ්‍ය හා රජයට සහය දනවන පෞද්ගලික මාධ්‍ය ආයතන විසින් 'තරුවක්' බවට පත්කර ඇති බවත්, තමාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 365A පරිච්ඡේදය ක්‍රියාත්මක කිරීමේ කුමන්ත්‍රණය යටතේ අභූත හා පදනම් විරහිත චෝදනා ගෙන ඒමට එම සැකකරුව කැමරා ඉදිරියට ගෙන ඒමට කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.
මංගල මහතා තවදුරටත් පෙන්වා දෙන්නේ ‘සිය පෞද්ගලික ජීවිතය පෞද්ගලික වුවත් කිසිදිනක රහසක් ව නොපැවති බවත්, පසුගිය වසර 25 තුළදී කිසිදිනක මහජන සේවයට සිය පෞද්ගලික දිවිය බාධාවක් නොකරගැනීම හා සිය අවංකභාවය සම්බන්ධයෙන් සිය පවුලේ සාමාජිකයන් හිතවතුවන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීන් බොහොමයක් තමාට ප්‍රශංසා කර ඇති බවත් මුලා කරනු ලැබූ තරුණයෙකු භාවිතා කරමින් පළාත් සභා මැතිවරණ වලට හා ඉන්පසුව පැවැත්වෙන ජනාධිපතිවරණයට සූදානම් වීමක් වශයෙන් තමාව විනාශ කිරීමට රාජපක්ෂ රෙජීමය තැත් කිරීමක්' ලෙසය.
මෙම ඉපැරණි නීතිය ක්‍රියාත්මක කිරීම උත්සහ කිරීම පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රඥපතිය ඍජුවම උල්ලංඝනය කිරීමක් බවත්, පොදුරාජ්‍ය මණ්ඩලීය සභාපති ලෙස පත්ව සිටින රාජපක්ෂ ජනාධිපතිවරයා, එම ධූරය හෙබවීමට නුසුදුසු බවට මෙමගින් ඔප්පු වන බවත්, ශ්‍රී ලංකාව මේ වන විට සීඝ්‍රයෙන් නූතන ප්‍රජන්ත්‍රවාදයේ මූලධර්ම වලින් පිටපනිමින් සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මේ වන විට නීතිය කෙතරම් පිරිහී ඇතිද යන්න පැවසුවහොත්, විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ පාර්ශවයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකළහොත්, එය එම මන්ත්‍රීවරයාට එරෙහිව මඩගැසීමටත් එම මන්ත්‍රීවරයාට එරෙහිව දඩයමක් ඇරඹීමටත් යොදාගැනෙන අතර, ඝාතකයන්, ස්ත්‍රී දූෂකයන්, කුඩු ජාවාරම්කරුවන් හා කළු සල්ලි සුදු කිරීමේ නිරත වන ජාවාරම්කරුවන් හට කිසිඳු දඞුවමක් නොමැතිව සිය අපරාධ කරගෙන යාමට හැකිව තිබේ.
රාජපක්ෂ ජනාධිපති යටතේ අසහනය, කුහකබව හා බලාපොරොත්තු රහිත බවින් පිරුණු අඳුරු ආගාධයකට රට ඇදවැටී ඇති බවත්, මෙම කරුණ හේතුවෙන් මෙම අඳුරු රෙජීමයට එරෙහිවව ඉදිරියේදී වඩා උද්යෝගයකින් හා කැපවීමෙන් කටයුතු කිරීමට තමා තවදුරටත් අදිටන් කරගන්නා බවත් සමරවීර මහතා කියා සිටියි.

Lankanewsweb