දිනන මන්තරේ - උපුල් ජෝශප් ප්‍රනාන්දු

"චන්ද්‍රිකා කෙනෙක් ඕනෑ කර තිබේ "මේ යූ.ඇන්.පීයේ අලුත්ම දැන්වීම් පෝස්ටරයය. මේ දවස්වල යූ.ඇන්.පී.ය දිනවන්න යූ.ඇන්.පී.යට ආපු ශ්‍රී ලංකාකාරයන් වාමවාදීන් චන්ද්‍රිකා කෙනෙක් හොයයි. යූ.ඇන්.පී.යට ඡන්ද දිනන්න චන්ද්‍රිකා කෙනෙක් අවශ්‍ය නැත. එහෙම අවශ්‍ය ශ්‍රීල.නි.ප.යටය. කාලයක් ශ්‍රීල.නි.ප.යට ඡන්ද දිනන්න බණ්ඩාරනායක කෙනෙක් නැතුවම බැරි විය. 2005 සිද්ධ වුණේ බණ්ඩාරනායකලා වෙනුවට රාජපක්‍ෂලා ආදේශවීම පමණි.

ඇත්තටම ශ්‍රීල.නි.ප.ය කියන්නේ පක්‍ෂයක් නොව බලවේගයකි. ඒ බලවේගය වටා අනෙක් බලවේග ගොඩනඟා ගන්න බණ්ඩාරනායකලාගේ හෝ රාජපක්‍ෂලාගේ ආකර්ෂණීය නායකත්වයක් තිබුණම ඇතිය. කෙටියෙන් කියතොත් ශ්‍රීල.නි.ප.ය ඡන්ද දිනන්නේ එක නායකයෙක් වටා එකතු වෙලාය.

හැබැයි යූ.ඇන්.පී.ය එහෙම නොවේ. යූ.ඇන්.පී.ය කියන්නෙ බලවේගයක් නොව පක්‍ෂයකි. යූ.ඇන්.පී.ය ඡන්ද දිනන්නේ පක්‍ෂ යාන්ත්‍රණයෙනි. පක්‍ෂ යාන්ත්‍රණය නිකන් දුවන්නේ නැත. ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න තෙල් අවශ්‍යයය. එම තෙල දෙන්නේ පක්‍ෂ නායකයාටත් වඩා නායකයාගේ දෙවැනියාය. මේ නිසාම යූ.ඇන්.පී.යට ඡන්ද දිනන්න නායකයෙක් අවශ්‍යයය. දෙවැනියෙක් අවශ්‍යය. දක්‍ෂ කැපීපෙනෙන ටීම් එකක් අවශ්‍යය.

යූ.ඇන්.පී.ය මේ රටේ පළමු ජයග්‍රහණය සනිටුහන් කරන්නේ 1947 මහ මැතිවරණයෙන්ය. එම ජයග්‍රහණයට නායකත්වය දෙන්නේ ඩී.එස්.ය. ඩී.එස්.ව කරේ තියාගෙන යන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකය. එය අපූරු සුසංයෝගයකි. ඩී.එස්. සහ බණ්ඩාරනායක සුසංයෝගය වටා ඉන්න දක්‍ෂ කැපී පෙනෙන ජනප්‍රිය ටීම් එක සර් ජෝන්, ජේ.ආර්., ඩඩ්ලි, සර් ඔලිවර් වැනි අයය.

ඩී.එස්. මියගිහින් බණ්ඩාරනායක ඝාතනය වූවාට පසු එ.ජා.ප.ය දිනවන සුසංයෝගය වන්නේ ඩඩ්ලි සහ ජේ.ආර්.ය. ඩඩ්ලි ජනප්‍රිය නායකයාය. ජේ.ආර්. මොළකාරයා සහ වැඩකාරයාය. ඔවුන් වටේට ටීම් එක සිටී.

ඩඩ්ලි මියගොස් ජේ.ආර්.ට එ.ජා.ප. නායකත්වය හිමිවූ විගස ජේ.ආර්. තනියම දිනන්න ගියා නොව පළමුවෙන්ම තමාට හරියට ගැළපෙන හොඳ දෙවැනියෙක් හෙව්වේය. ඩඩ්ලිගේ නායකත්වයට එරෙහිව ප්‍රේමදාස පුරවැසි පෙරමුණ හදාගෙන රට වටේ යන කොට ජේ.ආර්. ප්‍රේමදාසව දුටුවේ කටකාරයෙක් සහ වැඩකාරයෙක් ලෙසය. ජේ.ආර්. නායකත්වයට පත් වූ විගස ප්‍රේමදාසට එන්න කියා පරණ දේවල් අමතක කොට අපි එකට වැඩ කරමු යැයි කියා ප්‍රේමදාසගේ විශ්වාසය දිනා ගත්තේය. යූ.ඇන්.පී.ය දිනවන්න හොඳ දෙවැනියෙක් පමණක් නොව හොඳ ටීම් එකකුත් අවශ්‍ය බව ජේ.ආර්. තේරුම් ගත්තේය. ඔහු ගාමිණී, ලලිත්, රොනී යන දක්‍ෂ කැපී පෙනෙන චරිත එකතු කොට හොඳ ටීම් එකක් හදා ගත්තේය.

අද යූ.ඇන්.පී.යට අවශ්‍ය වෙලා තියෙන්නේ ඩී.ඇස්. - බණ්ඩාරනායක, ඩඩ්ලි - ජේ.ආර්., ජේ.ආර්. - ප්‍රේමදාස වැනි නායක සුසංයෝගයකි. ඒ නායක සුසංයෝගය වටා එක් රොක් වූ දක්‍ෂ කැපී පෙනෙන ටීම් එකකි.

ඇත්තටම කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස කියන්නේ ඩී.ඇස්. - බණ්ඩාරනායක, ඩඩ්ලි - ජේ.ආර්., ජේ.ආර්. - ප්‍රේමදාස වගේ හොඳ නායක යුගලයකි. නායක සුසංයෝගයකි. කරු ජයසූරිය වියපත්ය. තැන්පත්ය. සජිත් ප්‍රේමදාස ජනප්‍රිය තරුණ නායකයෙකි. මේ දෙදෙනා වටා ටීම් එකක් හදා ගන්න පක්‍ෂය තුළ මෙන්ම පක්‍ෂයෙන් පිටතත් දක්‍ෂ කැපී පෙනෙන චරිත සිටී.

කරු හැමෝටම සවන් දෙන නායකයෙකි. හැමෝම එක්සක් කළ හැකි නායකයෙකි. සජිත් යූ.ඇන්.පී.යේ ඉන්න ජනප්‍රියතම නායකයාය. සජිත්ට ගම පුංචි මිනිසා ආකර්ෂණය කළ හැකි නායකයෙකි. අද යූ.ඇන්.පී.යට ඡන්ද දිනන්න අවශ්‍ය ප්‍රධානතම සාධක දෙක පක්‍ෂය එක්සත් කිරීම සහ ගමට පුංචි මිනිහාට කතා කොට පක්‍ෂය වටා ජනතාව එක්රොක් කරවා ගැනීමය.

මේ නායක යුගලයට තියෙන අනෙක් ලොකුම සුදුසුකම මේ දෙන්නාටම දේශද්‍රෝහී ලේබලය අලවන්න ආණ්ඩුවට නොහැකිවීමය. කරු යුද්ධය ජයගත්ත ආණ්ඩුවට උදව් කළ අයෙකි. සජිත් හමුදාවේ යුද ජයග්‍රහණ අගයමින් ප්‍රසිද්ධියේම යුද්ධය වෙනුවෙන් පෙනී සිටි අයෙකි.

අද යූ.ඇන්.පී.යට සිංහල බෞද්ධ ඡන්ද දිනන්න බැරි වී ඇත්තේ 1994 චන්ද්‍රිකා ආණ්ඩු කාලයේ සිට යූ.ඇන්.පී.යට අලවපු දේශද්‍රෝහී කොටි ලේබලය නිසාය. 1975ට පෙරත් ශ්‍රීල.නි.ප.ය සමඟ සන්ධාන ගතවී සිටි වාමාංශිකයන් යූ.ඇන්.පී.යට ලේබලයක් අලවා තිබිණි. ඒ අධිරාජ්‍ය ගැති ධනපති ලේබලයය. මේ ලේබලය නිසා යූ.ඇන්.පී.යට ඡන්ද දිනීම අමාරු බව ධනවාදයේ මහප්පා යැයි වාමාංශිකයන් හඳුන්වපු ජේ.ආර්. තේරුම් ගෙන සිටියේය. ජේ.ආර්. පුංචි පන්තියෙන් ආ ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා කර ගෙන මැයි දින රැලියකදී එ.ජා.ප.ය. දැන් සමාජවාදී පක්‍ෂයක් යැයි ප්‍රකාශයට පත් කෙළේය. ජේ.ආර්. එය කෙළේ ශ්‍රීල.නි.ප.ය ප්‍රමුඛ වාමවාදීන් ජනතාවට තබා තිබූ සමාජවාදී මන්තරය මතුරා යූ.ඇන්.පී.ය වටා සාමාන්‍ය ජනතාව එකතුකර ගන්නටය. එය අති සාර්ථක විය.

කරු - ප්‍රේමදාස සුසංයෝගයට යූ.ඇන්.පී.ය දිනවන්න ඕනා නම් පළමුව කළ යුත්තේ මේ දේශද්‍රෝහී කොටි ලේබලය ගලවා සිංහල බෞද්ධ ඡන්ද දිනා ගැනීමය. ඊළඟට සුළු ජාතික ඡන්ද දිනා ගැනීම ලෙහෙසිය. 1994 සිට මේ දක්වාම යූ.ඇන්.පී.ය දමිළ ජනතාව වෙනුවෙන් කතාකොට බලය බෙදීම වෙනුවෙන් කතා කොට උතුරෙන් ලබා ගත්තේ ඡන්ද 0.68%කි. දේශප්‍රේමය දෙසමින් මහින්ද උතුරෙන් ඡන්ද 18.38%ක් ලබා ගත්තේය. 1997 පුංචි ඡන්දයේදී මහ තොණ්ඩමාන් චන්ද්‍රිකාගේ ආණ්ඩුව සමඟ සිටියදී යූ.ඇන්.පී.ය වතුකරය දිනා ගත්තේය. මෙවර මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී යූ.ඇන්.පි.ය නුවරඑළියේදී අන්ත පරාජයකට පත්විය. නුවර සහ පුත්තලම මුස්ලිම් ඡන්දත් පුත්තලම කතෝලික ඡන්දත් යූ.ඇන්.පී.යට නැති බව මෙම පළාත් සභා ඡන්දයෙන් පැහැදිලි විය. 2000 මහ මැතිවරණයේදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ තරග කරද්දී යූ.ඇන්.පී.ය උතුරේ මන්ත්‍රි ආසනයක් දිනා ගත්තේය. මෙවර 0.68%යි කියන්නේ උතුරේ ජනතාවටත් යූ.ඇන්.පී.ය තිත්ත වෙලාය.

ඒ වෙන මොනව හින්දවත් නොව යූ.ඇන්.පී.ය පරදින නිසාය. යූ.ඇන්.පී.යේ දිනන ෆෝමියුලා එක චන්ද්‍රිකා කෙනෙක් හැදීම නොව කරු සහ සජිත් වැනි නායක සුසංයෝගයක් යටතේ ටීම් එකක් හදා ගැනීමය.

"ඉතින් ඇයි රනිල් ඒක නොකරන්නේ.....?"

අහන්න ඕනා රනිල් ඒක නොකරන්නේ ඇයි කියා නොව රනිල් ඒක නොකළේ ඇයි කියාය. 1994 රනිල්ට පක්‍ෂ නායකත්වය ලබා දෙන්න මරාගෙන මැරෙන මෙහෙයුමක් කළේ ඒ.සී.එස්. හමීඩ්ය. රනිල්ට පක්‍ෂ නායකත්වය අරන් දීලා හමීඩ් රනිල්ට උපදෙසක් දුන්නේය.

"ඔයාට දිනන්න හොඳ දෙවැනියෙක් ඕනා. හොඳ ටීම් එකක් ඕනා. තොටළඟ බෝම්බයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර දෙකක් හිස්වෙලා තියෙනවා. මේ දෙකට ඔයා ප්‍රේමදාසගේ පුතා සජිත්වයි, ගාමිණිගේ පුතා නවීන්වයි පත් කරන්න. මේ දෙන්නාගේ කර උඩින් ඔය ගමන යන්න....."

මේ හමීඩ් දුන්න උපදෙසය. රනිල් ඒ උපදෙස් මායිම් කෙළේ නැත.

"සර්... මම සර්ව කරේ තියාගෙන යන්නම් මට පක්‍ෂ ලේකම්කම හරි නියෝජ්‍ය නායකම හරි දෙන්න. මම සර්ව ජනාධිපති පුටුවේ වාඩි කරලා ටර්ම් දෙකක් යන්න දෙන්නම්. හැබැයි මම තමයි සර්ට පස්සේ ජනාධිපති."

මේ එස්.බී. හිරෙන් නිදහස් වෙලා ඇවිත් රනිල්ව හමුවෙලා කී කතාවය. ඒත් රනිල් එස්.බී. දිහා බැලුවේ සැකයෙන්ය.

"සර් මට දැන්ම නායකකම් ඕනෑ නැහැ. මට ඕනෑ පක්‍ෂයට වැඩක් කරන්න. පක්‍ෂය බලයට ගේන්න. මට උප නායකකම දෙන්න..."

මේ සජිත් 2010 මහ මැතිවරණය පරාජය වුණාම රනිල් හමුවෙලා කී කතාවය. එයට හරියටම වසර 15කට පෙර රනිල් පක්‍ෂ නායකත්වයට පත් වූ විගස සජිත් සහ නවීන් ගිහින් රනිල් හමුවී ජාතික යොවුන් පෙරමුණ තමන්ට බාර දෙන ලෙස ඉල්ලා සිටියහ. රනිල් බැලුවේ සැකයෙන්ය.

රනිල් හිතන්නේ කාගේවත් කර පිටින් ගොස් නොව නායක සුසංයෝගයකින් නොව ටීම්වර්ක් එකකින් නොව තමන් තනියම ඡන්දය දිනන්න ඕනෑ කියලාය.

"මට අයි ඩ්ව් යූ නැතිව ඡන්ද දිනන්න ඕනා..."

මේ රනිල් 1999 ජනාධිපතිවරණය ආසන්නයේ එම ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම දියත් කරපු ප්‍රකට වෙළෙඳ දැන්වීම් විශේෂඥයකු වන අර්වින් වීරක්කොඩිට කී කතාවකි. "අයි ඩ්ව්යූ" කියන්නේ ණය නැතිව දිනන්න ඕනාය කියන එකය.

2005 ජනාධිපතිවරණයේදී ඩඩ්ලි, ජේ.ආර්., ඩී.ඇස්., ප්‍රේමදාසගේ පින්තූර තියෙන වේදිකාවක රනිල් කතා කළ යුතු යැයි අයෙක් යෝජනා කරද්දී රනිල් කීවේ මැරිච්ච මිනිස්සු වෙනුවෙන් මට ඡන්දය ලැබෙන්නේ නැත කියාය. වරක් ආර්.ඒ.ඩී. සිරිසේන රනිල්ට යෝජනාවක් ගෙන ආවේය.

"සර්... සර් ළඟ ඩී.ඇස්.ගේ මුනුපුරා වසන්ත සේනානායකත් ඉන්නවා, ප්‍රේමදාසගේ පුතා, ගාමිණිගේ පුතා ඉන්නවා. මේ ටීම් එක අරන් අපි පෝස්ටර් ගහගෙන රට වටේ යමු....."

රනිල් සිරිසේනට කෑ ගහලා එළවා ගත්තේය. 2005 ජනාධිපතිවරණයේදී මහින්දව පරද්දන්න අවසන් සති දෙකෙහි එස්.බී.ව නිදහස් කර ගෙන රට වටේ ගෙන යමු යැයි යෝජනාවක් ආවේය. ඒත් රනිල් හිතුවේ ඔහු දිනල කියලාය. තමන්ව දිනෙව්වේ එස්.බී. කියන කතාව අහන්න ඔහු කැමැති නොවීය.

මේ රනිල් ණය නැතිව ඡන්ද දිනන්න ගිහින් පරාජය වුණ හැටිය.

යූ.ඇන්.පී.යේ ණය නැතිව ඡන්ද දිනන්න බැරිය. අනෙක රනිල් ඡන්දයකදී පළමුවෙන් හිතන්නේ ඡන්දය දිනන්නේ කොහොමද කියලා නොව ඡන්දෙන් පස්සේ නායකත්වය තියාගන්නේ කොහොමද කියන එකය. එම නිසා ඔහු දෙවැනියෙක් තියාගන්නත් බයය. ටීම් එකක් හදන්නත් බයය. ඒ ඡන්දය පැරදුණොත් දෙවැනියා නායකයා වෙයි කියන බයය. දෙවැනියෙක් නැතිව ටීම් එකක් නැතිව නායකයාගේ ආකර්ෂණයෙන් ඡන්දය දිනලා නායකයාට වැඳගෙන ඉඳීම ශ්‍රීල.නි.ප සම්ප්‍රදායය. ඒක යූ.ඇන්.පී. ඡන්ද දිනන සම්ප්‍රදාය නොවේ. අද ශ්‍රීල.නි.ප.යෙන් හෝ වාමවාදී පක්‍ෂවලින් යූ.ඇන්.පී.යට ආපු අය බලන්නේ යූ.ඇන්.පි.ය පෙරමුණක් සන්ධානයක් කරන්නටය. යූ.ඇන්.පී.යෙන් චන්ද්‍රිකාලා හොයාගන්නය. යූ.ඇන්.පී.යට ඡන්ද දිනන්න පෙරමුණු හෝ සන්ධාන අවශ්‍ය නැත. අවශ්‍ය ඉදිකට්ටට නූල වගේ යාවෙන හොඳ නායක යුගලයක් සහ හොඳ ටීම් එකක්ය. යූ.ඇන්.පී.යට හොඳ නායක සුසංයෝගයක් සිටී. හොඳ ටීම් එකක්ද සිටී.

මඟ හොඳට තිබේ නම්

යන්න දෑසත් පෙනේ නම්

කිම බැදිවල යන්නේ

මංමුළා වූ එකෙකු සේ

යූ.ඇන්.පී.යට කියන්න තියෙන්නේ එච්චරය.