පොලිසියට නීතිය උගන්වන කථිකාචාර්යවරයාට පොලිසියෙන්ම ගුටි


profesorකහතුඩුව පොලිසිය තුළදී පොලිස්‌ නිලධාරීන්ගේ අමානුෂික පහරදීමට ලක්‌ වූ පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයා කළුබෝවිල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයයේ අපරාධ විද්‍යාව පිළිබඳව සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා සංවර්ධනය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු වන අරුණ ලියනගේ මහතා මෙසේ අමානුෂික පොලිස්‌ පහරදීමකට ලක්‌ව ඇත්තේ පසුගිය ඉරිදා (29 දා) සවස ය. නිල ඇඳුමෙන් සැරසී සිටි පොලිස්‌ පරීක්‍ෂකවරයකු සහ සිවිල් ඇඳුමින් සිටි තවත් සිව්දෙනකු අරුණ ලියනගේ මහතාට ඔහුගේ නිවසේදී පළමුව පහර දී ඇති අතර එය දුටු ඔහුගේ සිඟිති පුතා ද මේ වන විට මානසික අසනීප තත්ත්වයෙන් පසුවේ."ඉරිදා සවස මම පොල්ගස්‌ඕවිට මගේ නිවසේ සිටියා. තව යහළුවෝ කිහිපදෙනෙක්‌ හිටියා. ඒ වෙලාවේ කහතුඩුව පොලිසියෙන් කියමින් පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්‌ සහ සිවිල් ඇඳුම් ඇඳගත් හතරදෙනෙක්‌ ආවා. මාව අත්අඩංගුවට ගන්න ආවා කිව්වා. මගේ යහළුවන්වත් අත්අඩංගුවට ගන්නවා කිව්වා. කිසිම චෝදනාවක්‌ ඉදිරිපත් කළේ නෑ. උඹට වැඩක්‌ නෑ. උඹ අපිට නීතිය උගන්වන්න එන්න එපා" කියමින් ඔවුන් මට පහර දෙන්න පටන් ගත්තා. මගේ පුංචි පුතා සහ බිරිඳ ඉදිරියේදීම මට පහර දුන්නා. ඉන් පස්‌සේ මාව කහතුඩුව පොලිසියට අරගෙන ගියා. පොලිසිය ළඟදී බඩටත් ඔළුවටත් ගැහුවා. මට තුන්පාරක්‌ වමනේ ගියා. නීතිඥවරියක වන මගේ සොයුරියක්‌ ඇවිත් මාව රෝහලට ඇතුළත් කරන්න ඕනෑ කියලා පොලිසියට කිව්වා.
ඉන් පස්‌සේ වෑතර රෝහලේ දවස්‌ තුනක්‌ හිටියා. එහිදී මට ආරංචි වුණා අසල්වැසි නිවසක ටයිල් වගයක්‌ හොරකම් කළා කියලා මට අසත්‍ය චෝදනාවක්‌ දමා තිබෙන බව. කැස්‌බෑව මහෙස්‌ත්‍රාත්තුමා රෝහලට ඇවිත් මට ඇපදීලා කළුබෝවිල රෝහලට ඇතුළුවෙන්න කියා කිව්වා. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවකුත් කැඳෙව්වා.
මේකට මුල ඉඩම් ආරවුලක්‌. අසල්වැසි නිවසක කාන්තාවක්‌ සමඟÊපොලිසියේ නිලධාරියෙක්‌ සමීප ඇසුරක්‌ තියෙනවා. ඒ නිසා තමයි ඇගේ කීමට මට පහර දුන්නේ. මම මානව හිමිකම් කොමිසමටත්, පොලිස්‌පතිවරයාටත් පැමිණිලි කළා. මම හිතනවා සාධාරණ පරීක්‍ෂණයක්‌ කරයි කියලා. වැරැද්දක්‌ තිබෙන කෙනෙකුට වුණත් පහර දෙන්න පොලිසියට අයිතියක්‌ නැතැයි ද අරුණ ලියනගේ මහතා ප්‍රකාශ කළේය.
අරුණ ලියනගේ මහතා වර්ල්ඩ් විෂන් ආයතනයේ කළමනාකරුවකු ලෙස කටයුතු කරයි.
මේ පිළිබඳව අප ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකුගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ කහතුඩුව පොලිසියේ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පැපොල රෝගය වැළඳීම නිසා නිවාඩු ලබා සිටින බව ය. මේ දිනවල වැඩබලන ස්‌ථානාධිපතිවරයා ලෙස පොලිස්‌ පරීක්‍ෂකවරකු කටයුතු කරන බවත්, සොරකමක්‌ සම්බන්ධයෙන් - අරුණ ලියනගේ නමැති අය අත්අඩංගුවට ගෙන ඇති බවත් එම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියා ප්‍රකාශ කළේය.