නීති විද්‍යාලයේ විදුහල්පතිගේ පුතාගේ ප්‍රතිඵල අති විශිෂ්ඨයි!

Lankanewsweb


law collage 
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට පෙනී සිටි නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය වෙදගේ දන්ත රොද්‍රිගු මහතාගේ පුත් ඕෂධී රොද්‍රිගු 78% ක ඉහළ අගයක් පවත්වා ගනිමින් සමත් වී ඇතැයි නීති විද්‍යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම අවසන් විභාගයට අදාළ විෂයන් 6 කදී ඔහු විසින් ඉහළම ලකුණු ලබා තිබේ.
ඔහු සමග එම අවසන් වසර විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් අගවිනිසුරු, නීතිපති සහ නීති අධ්‍යාපන පාලක සභාව වෙත පැමිණිලි කර ඇත්තේ ඕෂධී රොද්‍රිගු එම විභාගයට පෙනී සිටිය ආකාරය අතිශයින් සැක කටයුතු බවයි. විභාගයේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව පැය 3 ක කාලයකදී ප්‍රශ්න 8 කට පිලිතුරු සැපයිය යුතු වුව ද ඕෂධී රොද්‍රිගු විසින් විභාගය පැවති සෑම දිනයකදීම පළමු පැය තුලදී පිලිතුරු සපයා පිටව ගොස් ඇත. ඔහු එසේ පිටව ගොස් ඇත්තේ පිලිතුරු සැපයීම සඳහා ලබා දෙනු ලබන හිස් කොල එකට අමුණා විභාග ශාලා පරීක්ෂකවරුන්ට ලබා දීමෙන් පසුවය.
නීති විද්‍යාලයීය විදුහල්පතිවරයාගේ පුත්‍රයා නීති විද්‍යාලයේ සිසුවෙක් නොවේ. ඔහු නීති ප්‍රවේශ විභාගය සදහා තෙවරක් පෙනී සිටිය ද අසමත් වීම නිසා ලන්ඩනයේ විශ්ව විද්‍යාලයකට ගොස් නීති උපාධිය හැදෑරූ අයෙකි. මෙම ලන්ඩන් විශ්ව විද්‍යාලය නීති අධ්‍යාපන පාලක සභාව(Council of Legal Education) විසින් මීට පෙර පිලිගත් විශ්ව විද්‍යාලයක් නොවේ. එම විශ්ව විද්‍යාලය පුතාගේ අවශ්‍යතාවය මත විදුහල්පති පියා විසින් මෑතක සිට නිති අධ්‍යාපන පාලක සභාව ලවා අනුමත කර ගන්නා ලද්දකි. අනුමත විශ්ව විද්‍යාලයකින් නීති උපාධියක් තිබේ නම් එවන් තැනැත්තෙකුට කෙලින්ම අවසන් වසර විභාගයට පෙනී සිටිය හැක. ලන්ඩනයේ වංචනික උපාධි කඩ සුලභව ඇති අතර කිසිදු දේශනයකට සහභාගි නොවී මුදල් ගෙවා මෙම උපාධී මිලදී ගත හැක. එම විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය පිළිබඳව බ්‍රිතාන්‍ය රජය කිසිදු වගකීමක් නොදරයි.
නීති විද්‍යාලීය විදුහල්පති වන වෙදගේ දන්ත රොද්‍රිගු යනු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතා එසේ අවසන් විභාගයට පෙනී සිටීම සඳහා පැමිණි අවස්ථාවේදී නීති විද්‍යාලීය ගේට්ටුව අසළදී බුලත් අතක් දී පිලිගෙන ආරක්ෂක හේතූන් මත කියා වෙනමම වායු සමනය කළ කාමරයකට රැගෙන ගොස් විභාගයට පිළිතුරු දීම සඳහා පහසුකම් සැපයූ තැනැත්තාය. ජනාධිපතිගේ පුතාට හොඳනම් තමාගේ පුතාට මක් වෙනවාද යැයි සිතා ඔහු ක්‍රියාකර ඇති බව නීති විද්‍යාලයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී. තමන්ගේ පුතාට නීති විද්‍යාලීය ප්‍රවේශ විභාගය කිසිදාක සමත් වීමට බැරි බව සැක හැර තේරුම් ගත් නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා ලන්ඩනයෙන් උපාධියක් මිලදී ගෙන කව්රුත් නොදන්නා එම විශ්ව විද්‍යාලය නීති අධ්‍යාපන පාලක සභාව ලවා අනුමත කරවා ගැනීම තුලින් මැති ඇමතිවරුන්ගේ දරු දැරියන්ට ‘නීතිඥයෙක් වීමේ කෙටි මගක් ' හදුන්වා දී ඇත.