අලුත් අත්තනායක මොඩලයක්



ප්‍රියන්ත ෆොන්සේකා


දැන් 'අලුත් අත්තනායක මොඩලයක්' අපට හඳුනාගන්නට ලැබී ඇත. ඒ 'මුගලන් හාමුදුරුවෝ ද චණ්ඩියෙකි! ' කියමින් දොරමඩලාවේදී සහ ස්වර්ණවාහිනී බණ වැඩ සටහන්වලදී ඇඳි සිල් රෙද්ද යට ඇති පිහිය පෙන්වන අත්තනායක මොඩලයයි. මුගලන් හාමුදුරුවෝද චණ්ඩියෙක් නිසා අත්තනායකලාට 'පාට්' වචන සමාජ ගත කරන්නට හෝ එසේ පාට් දමන චණ්ඩි මොඩල්වලට තෙල් ගසා දෙන්නට ඇති හැකියාව ඉහළ ය. පිළිගත හැකි බවින් ද වැඩි ය. පාට් දමන්නට වැඩබිමට චණ්ඩි බස්සන්නේ චණ්ඩි රජා බැවින් 'බුදු හාමුදුරුවෝද චණ්ඩියෙක්ම ය' කියා අත්තනායක ඇවිත් හෙට දොරමඩලාවේ දී ලයාන්විතව කියා යන්නට ද බැරි නැත. 

මියගිය උලපනේ අත්තනායකගෙන් පසු අත්තනායක මොඩල් කාරය ප්‍රසිද්ධ ව තිබිය දී කරළියේ මුගලන් චණ්ඩි හාමුදුරුවෝ ගැන කියා සිටි අලුත් අත්තනායක මොඩලය විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකි. ඒ සිංහල පිළිබඳව ය. වැඩිමනත්ම සිංහල සාහිත්‍යය ගැන ය‍. 

මාද වාඩි වී සිටි සිංහල දේශනවල සිසු සිසුවියන්ගේ 'ආදරණීය අත්තනායක සර්' ලයාන්විතව ගෝර්කි සහ චෙකෝව් ගැන කීවේ ය. සමාජ සත්තා යථාර්ථවාදය ගැන කියමින් සිසුවියන්ගේ ඇස්වලින් කඳුළු වැට්ටුවේ ය. 'අත්තනායක සර්' අපේ දේශනවලින් අයින් කරන්නට යන්නේය යන ආරංචි මාත්‍රය ඇසුණු විගස සිංහල දෙපාර්තමේන්තුව අසළට පැන අරගල කරන්නට තරම් මේ කඳුළු කැඳවන ආකර්ශණීය බව ඉහළ විය. 

කලින් කලට අත්තනායක සර් අලුත් අලුත් මොඩල් ළමයින්ට ඉගැන්නුවේ ය. සරසවියේ දී ගෝර්කිලාගේ මොඩලය ගැනත්, සමාජ සත්තා යථාර්ථවාදය ගැනත් කියූ ඔහු රූපවාහිනියේ දී කුටුම්භ සුරැකුම, යහපත් ජීවිතය, ධාර්මික ජීවිතය ආදී අට අනූවක් දේ ගැන මොඩල ඉදිරිපත් කළේ ය. සරසවියේ සිසු සිසුවියන්ගේ කඳුළ සමාජයේ උපාසකම්මාලා වෙත භාර විය. නියමිත දේශනවලට සර් ආවත් නැතත් සමාජයේ මොඩල තැනීම අතින් තිබූ ජනප්‍රිය බව නිසාම කිසිවකු කතා කළේ ද නැත. 

මේ ජනප්‍රිය කතා පිළිබඳ කසුකුසු බොහෝ තිබුණද මාහට හිසේ අත ගසා ගන්නට වූයේ පේරාදෙණියේ සිසු දෙපළක් රුසියානු නවකථාවක් වූ ගුරු ගීතය ඇසුරින් නාට්‍යයක් නිපදවන්නට මුහුරත් උළෙලක් පැවැත්වූ දිනයේ ය. අයිත්මාතව්ගේ රුසියානු කතාව සිංහල වේදිකාවට ගෙන එන්නට තිබූ මුහුරතෙහි ප්‍රධාන ආරාධිතයා අත්තනායක සර් විය. ඔහු එදා පහත කරුණු කීවේ මගේ කණ්වලට ඇසෙන්නට ය. 

"මේ කතාව, ඒ කියන්නෙ විංගීස් අයිත්මාතව්ගෙ ගුරු ගීතය නවකතාව කියවපු අපේ කාලෙ හැම කොල්ලෙක්ටම ඕන වුණා දුයිෂෙන් කෙනෙක් වෙන්න. හැම කෙල්ලෙක්ටම ඕන වුණා අල්තීනායි කෙනෙක් වෙන්න. හැමෝගෙම අත්පොතක් වුණා වින්ගීස් අයිත්මාතව්ගෙ ගුරුගීතය!" 

මේක එදාටත් වඩා අදට ගැලපෙනව. අද ළමයි කැම්පස් එන්න කලින් ගමේ හාමුදුරුවන්ට, වැඩිහිටියන්ට වැඳල ඇවිත් ආපහු හැරෙන්නෙ ඒ ගොල්ලන්ට පයින් ගහන්න බලාගෙන. මේ ගුරු ගීතය ඒකට හොඳ උත්තරයක් දෙනව. නගරයට ගිහින් මහාචාර්යවරියක් වෙලා ගමට එන අල්තීනායි සුලෙයිමානොවා හොයනව දුයිෂෙන්ගුරුතුමා ව. ඔහු ඒ වෙනකොට ලියුම් බෙදනව. ඉස්කෝලෙටත් ලියුම් බෙදල යන්න ගිහිල්ල. අල්තීනායි මහාචාර්යවරිය දුවල ගිහින් එක්ක එනව තමන්ගෙ ගුරුතුමා වුණු දුයිෂෙන්ව. ඒ කරල ඉන්දනව මුල් පුටුවෙ. මෙන්න ගුරුතුමනි ඔබට හිමි තැන කියල"

චින්ගීස් අයිත්මාතව් වින්ගීස් වී තිබුණේත්, අල්තීනායිට කරන්නට හමුවන්නට නොහැකි වුණු දුයිෂෙන් මුල්පුටුවේ හිඳුවා තිබුණේත් අත්තනායක සර් ය. සභාවේ කිසිදු හාහෝවක් නොවූයේ වෙනත් බොහෝ ආචාර්යවරුන් මෙන්ම සිසු පිරිස් ද ගුරු ගීතය අතින්වත් අල්ලා නොතිබූ හෙයිනි! 

චිංගීස් (විංගීස් නොවේ!) අයිත්මාතව්ගේ ගුරු ගීතයේ අල්තීනායිට දුයිෂෙන් මග හැරෙන්නේ පහත දැක්වෙන පරිදි ය. 

.....අස්ථිර ලෙස හිස එසවූ ඈ නැගී සිටීමට සැරසුනා ය. එහෙත් එවේලේම වාගේ අශ්වයෙක් ජනේලය පසු කර යන හඬ කණෙහි වැකිණි. ගැටවරයා හැරී ආවේ ය. 
"මම එයාට එන්න කිවුවා. ලියුම් බෙදන්න තියෙනවය කියල එයා ගියා. "
"ඔහෙ ගිහින් බෙදපුවාවෙ. නවත්තන්න උවමනා නැහැ. ... "
- ගුරු ගීතය - 11 පිට - 

කිසිවක් නොකියවූ සභාවක් ඉදිරිපිට ඕනෑම බොරුවක් නොබියව කිව හැකි බව අත්තනායක සර්ලා දනී. ඕනෑම මොඩලයක් ඇත්ත කර පෙන්විය හැකි බව ද දනී. පේරාදෙණි සරසවියට වඩා 'දොරමඩලාව' සරසවියට ඔහු කැමති ඒක ය. මොඩල් පෙන්වන විට බලන්නට රටම හරි බරි ගැහෙයි. දොරමඩලාව සරසවියකැයි කියා හසන්ත කියූ විටම පිළිගන්නා ජනතාව සූරියප්පෙරුමලාගේ කියුම් කෙරුම් ආදිය සිහිකොට සාදුකාර දී අත්තනායක මොඩල් අසන්නට ගනියි. 

මුගලන් හාමුදුරුවෝ චණ්ඩියෙක් ද නැද්ද යන ගැටළුවට වඩා අප සොයන්නට ඕනෑ අත්තනායකලාගේ මුගලන් මොඩලය කුමක් ද කියා ය. මුස්ලිම් විරෝධයක් නැගෙද්දී, විවිධාකාර බල සේනා ආයුධ මුවහත් කරද්දී, රතුපස්වල මළගෙවල් නිමා වී දානමාන පින්කම් කෙරෙද්දී මේ මොඩල්වල අවශ්‍යතා තේරුම් ගන්නට හැකිවනු ඇත. 

මේ අත්තනායකලාගේ සිල් රෙදි යට චණ්ඩි කතා හඳුනාගත යුතු කාලයයි. රට විනාශ වෙද්දී ඒ රකින්නට නම් චණ්ඩි මුගලන්ලා එන එකක් නැති නිසා ය.