උතුරෙ ඡන්දෙට පස්සේ 13 වෙනස් කළොත් මොකද වෙන්නේ?

"ඉඩම් සහ පොලිස් බලතල අහෝසි කරන්නේ නැතිව උතුරේ ඡන්දය පැවැත්වුවොත් මම ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..." 

විමල් වීරවංශ
01.05.2013
 
විමල්ට ඔහු කිව්ව මේ කතාව අමතක වෙලා තියෙන්න බැරිය. දැන් මහින්ද හදන්නේ ඉඩම් සහ පොලිස් බලය සහිතව උතුරේ ඡන්දය පවත්වන්නටය. විමල් අස්වන බවක් පෙනෙන්නට නැත. මහින්ද උතුරේ ඡන්දයට කලින් ඉඩම් සහ පොලිස් බලය අහෝසි කරන බවක්ද පෙනෙන්නට නැත. එක්කෝ විමල් සද්දෙ වහල ඇමැතිකම බේරා ගන්න බලනවා විය යුතුය. නැති නම් උතුරේ ඡන්දයෙන් පසු ඉඩම් සහ පොලිස් බලය ඉවත් කරනවා යැයි මහින්ද විමල්ට සහතිකයක් දී තියෙනවා විය යුතුය.
 
"උතුරේ පළාත් සභා ඡන්දය පවත්වන්න පෙර ඉඩම් සහ පොලිස් බලය වෙනස් කරන්න එපා. වෙනස් කරනවා නම් ඡන්දෙන් පස්සේ කරන්න..."

ඉන්දියාව ආණ්ඩුවට මේ වගේ රහස් පණිවුඩයක් දීලා කියලාත් කතාවක් තිබේ.

"ඒක පණිවුඩයක් නෙමේ උගුලක්..."
 
මෙහෙම කිව්වේ ආණ්ඩුවේම ලොක්කෙකි.

"ඉන්දියාවට ඕන පළාත් සභා ඡන්දය තියල ටී.එන්.ඒ. දිනවන්න. දින්නාට පස්සේ ටී.එන්.ඒ. කියයි අපිට ජනතාව ජන වරමක් දීලා තියෙන්නේ ඉඩම් සහ පොලිස් බලය එක්ක පළාත් සභාව කරගෙන යන්න. ඒක වෙනස් කිරීම මහජන වරම වෙනස් කිරීමක්..."

ටී.එන්.ඒ. එකට එහෙම කියන්න පුළුවනි. ඒ විතරක් නොව පළාත් සභාවේ පළමු රාජකාරිය ලෙස ඉඩම් සහ පොලිස් බලය අහෝසි කිරීමට එරෙහි යෝජනාවක් සම්මත කර ගන්නටත් පුළුවන. ඩග්ලස් දේවානන්දාත් 13 වෙනස් කරනවාට විරුද්ධය. විපක්‍ෂ මන්ත්‍රිවරු ලෙස ඔහුත් එම යෝජනාවට පක්‍ෂව ඡන්දය දීමට ඉඩ තිබේ.

පළාත් සභාව පිහිටෙව්වාට පසු එය මහජන වරමකින් පත් වූ පළාත් සභාවක් නිසා එම පළාත් සභාව ඉල්ලීමක් කරන්නේ නම් පළාත් සභාවලට ඉන්දු - ලංකා ගිවිසුමට අනුව ලබා දුන් බලය ආරක්‍ෂා කරන්න ඉන්දියාව මැදිහත්වීමකට වුවද එකඟ වනු ඇත.
 
1988 උතුරේ පළාත් සභාව එල්.ටී.ටී.ඊ. යට අවශ්‍ය ලෙස වෙනස් කරන්න එවකට ජනාධිපති ප්‍රේමදාස ව්‍යවස්ථාවට සංශෝධන ගෙනැවිත් පළාත් සභාව විසුරුවන්න සූදානම් වෙද්දී ඉන්දියාව මැදිහත් වූයේද මේ ආකාරයෙනි. උතුරේ පළාත් සභා ඡන්දය නැවැත පවත්වන්න යැයි එල්.ටී.ටී.ඊ.ය ඉල්ලීම් කරද්දී ප්‍රේමදාස ද ඒ සඳහා පළාත් සභාව විසුරුවන්න ව්‍යවස්ථාව වෙනස් කිරීම ගැන සලකා බලද්දී ඉන්දියාව 1988 පළාත් සභා ඡන්දයෙන් පිහිටුවූ පළාත් සභාව සහ මහ ඇමැති ආරක්‍ෂා කරන තැනකට ගියේය. ප්‍රේමදාස සහ එල්.ටී.ටී.ඊ. ය අතර සාකච්ඡා පැවැත්වෙද්දී වර්ධරාජා පෙරුමාල් උතුරේ ඉන්දියානු සාම සාධක හමුදා ගුවන් යානයකින් ඉන්දියාවට ගොස් පැමිණියේය. එවකට රාජ්‍ය ආරක්‍ෂක ඇමැති රන්ජන් විජේරත්නට යකා නැඟල කීවේ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් පෙරුමාල් හිතුමතේ ඉන්දියාවට ගොස් ඇත්තේ උතුර ඉන්දියාවේ ප්‍රාන්තයක් කියා හිතාගෙන විය යුතු යැයි කියමිනි. ප්‍රේමදාස ආණ්ඩුව ශත පහකට මායිම් නොකර ඉන්දියාවට ගිය වර්ධරාජා යළි ඉන්දීය හමුදා යානයකින්ම ලංකාවට ආවේ ආණ්ඩුවට ඔච්චම් කරමිනි. පසුව ඔහු පළාත් සභාවේ ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කොට හොර පාරෙන්ම ඉන්දියාවට පැන්නේය.
 
මෙවර පළාත් සභා ඡන්දයෙන් පළාත් සභාව පිහිටුවූවාට පසු ආණ්ඩුව එහි බලතල වෙනස් කරන්න ගියොත් පළාත් සභාවත් එහි මහ ඇමැතිත් ආරක්‍ෂා කර ගන්න ඉන්දියාව ඕනෑම දෙයක් කරනු ඇත.

මේ නිසා මහින්දට මේ කපේදී පොලිස් සහ ඉඩම් බලය අහෝසි කරන්න ලැබෙයි කියා සිතිය නොහැකිය. ඒ වෙලාවට විමල්ලා, චම්පිකලා එක්ක යුද්ධ කිරීම ඉන්දියාව එක්ක යුද්ධ කරනවාට වඩා හොඳ යැයි මහින්දට තේරුම් ගියත් පුදුම වෙන්න දෙයක් නැත.
 
උපුල් ජෝශප් ප්‍රනාන්දු