One Million Bones

  කවි බූන්දි  

ප්‍රතිචාර[1]
බූන්දි| අඟහරුවාදා, ජුනි 18, 2013| 23:57:32
අස්ථි මිලියනයකි
කඳුළු බිලියනයකි
ඇස ඇස ගැටෙන අස්ථි මිලියනයකි
ඇස ඇස නැඟෙන කඳුළු බිලියනයකි
ඇහිපියන් පියා ගත් ලෝකයක් ඉදිරිපිට!

එකින් එක හා වෙයි
සැකිළි රූ නැගිටියි
ජීවිතේ සුසුම් පොදි
සුළං වී පා වෙයි

බෝම්බයකට වුණත් බැරිය
තනි තනිව පිපිරෙන්න
තුවක්කුවකට පුළුවනි ද
හදවතක් බිඳ යන්න
භීතියේ සෙවණැල්ල නොවිණි නම් ඒ එක්ක
කිසි දිනෙක හැකි වෙයි ද
මිනිහෙක්ව වළලන්න

අවි තුඩෙක සීරුවට හංගාපු හුස්ම බිඳු
වෘකයින් ඩැහැ ගනී පිපාසව ලේ බිඳූ
ඇඟිළි තුඩු අතර රැඳි තෙළි තුඩෙන් විත් ගැලූ
රක්ත පෑයෙන් රෝස පිපේවිද මතු මතූ

කෙඳිරියක් නඟන්නැති නෙරළුපත් වේළෙයි
අවුෂ්විට්ස් කඳවුරේ මිනීමල් බිය වෙයි
යුග ගණන් ඈත ඉඳ - දුඟන්ධය ඇදී එයි
කොතැන වුව කඳවුරක ඉකිබිඳුම - පාව එයි

හිනා අහුරක් නොමැති පුතෙකු දෙකොපුල රිදී
පියකු මඟ බලනු ඇත කතා දහසක එතී
ස්වේත වර්ණ කාලවර්ණ සමේ පැහැයක් නැතී
ඇටසැකිළි මිලියනය ධවල කන්දකි නැඟී

අවිය යනු බලයකට දුන් තවත් නමක් මිස
මලක පෙති දකිත හැකි හදවතක් එයට නැත
පාන්දර හීතලට පින්න ඉහිරණු මිස
උදා හිරු නවතා ද - සැකිළි පණලනු නැත

ඇස ඇස ගැටෙන අස්ථි මිලියනයකි
ඇස ඇස නැඟෙන කඳුළු බිලියනයකි
ඇහිපියන් පියා ගත් ලෝකයක් ඉදිරිපිට!

16-06-2013

["One Million Bones" නම් වූ ව්‍යාපෘතිය, ලෝකය පුරා සිදු වන මිනිස් සංහාරය වළකනු පිණිස ලෝකවාසී ජනතාව දැනුවත් කිරීම සඳහා සංවිධානය කෙරෙන්නකි.]

ඡායාරූපය : www.theartofrevolution.org වෙබ් අඩවියෙන්
 

 Thushari Priyangika | තුෂාරි ප්‍රියංගිකා
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics