තංගල්ලේ සභාපති පැමිණිල්ලට කරන බලපෑම් ගැන වහා වාර්තාවක්‌ දෙන්න



කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් සී.අයි.ඩී.යට නියෝග කරයි

සමන්ත ඉලේපෙරුම , ඡායා- සුජාතා ජයරත්න


තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති
සම්පත් චන්ද්‍රපුෂ්ප විදාන පතිරණ


තංගල්ල නිවාඩු නිකේතනයකදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතියට ශාරීරික හිරිහැර සිදුකිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් 08 දෙනා පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක්‌ ගොනු කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (28 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.


තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ යන අය ඇතුළු සැකකරුවන් කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමෙන් අනතුරුව පිටව ගිය අයුරු. ඡායාරූප - සුජාතා ජයරත්න
තංගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අවස්‌ථාවේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල වන බවට ඉදිරිපත් වූ කරුණු මත නීතිපතිවරයා විසින් විශේෂ අධිකරණ කටයුත්තක්‌ ලෙස සලකා අදාළ පැමිණිල්ල කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට යොමුකර තිබිණි.

සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී ඇපමත මුදාහැර සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදාන පතිරණ ඕබඩ ආරච්චිගේ ලහිරු කැලුම්, උඩුවනගේ සමන් දේශප්‍රිය, වීරප්පුලිගේ ප්‍රනීත් චතුරංග, මොහොට්‌ටිගේ සරත් නොහොත් සහන්, සරණආරච්චි පටබැඳිගේ ප්‍රනීත් චතුරංග, හේවා තොන්ඩිලගේ නුවන් චින්තක හෙවත් පැටී, එදිරිසූරිය පටබැඳිගේ නදීර ෂාමෙල් යන සැකකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස්‌ පරීක්‍ෂක ආර්. එම්. එස්‌. කේ. රත්නායක මහතා කරුණු දක්‌වමින් මෙහි මූලික පරීක්‍ෂණ තංගල්ල පොලිසිය විසින් සිදුකරන ලද බවත් පොලිස්‌පතිවරයාගේ උපදෙස්‌ මත මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ සිදුකරන බවත් කියා සිටියේය.

සැකකරුවන්හට මහාධිකරණය මගින් ඇප ලබාදීම මත ඔවුන් මේ වන විට ඇප මත මුදාහැර ඇති බවද පැවසූ රත්නායක මහතා අපරාධය සිදුවූ ස්‌ථානයේ තිබී සොයාගත් රුධිර සාම්පල හා සැකකරුවන්ගෙන් ලබාගත් රුධිර සාම්පල ඩී. එන්. ඒ. විමර්ශනයක්‌ සඳහා රාගම වෛද්‍ය පීඨය වෙත යවා ඇති බවත් සැකකරුවන් සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන මේ වන විට අවසන් කර ඇති බවත් පැවසුවේය.

ඩී. එන්. ඒ. වාර්තාව හා නීතිපති උපදෙස්‌ අනුව සැකකරුවන්ට එරෙහිව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග දැනුම්දෙන බවත් විමර්ශනයේ සියලු උධෘත නීතිපතිවරයා වෙත යොමුකොට ඇති බවත් උපපොලිස්‌ පරීක්‍ෂකවරයා අධිකරණය වෙත දන්වා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ කැලුම් බස්‌නායක මහතා හා නීතිඥ සහාබ්දික වෙල්ලප්පුලි මහතා කරුණු දක්‌වමින් මෙහි සැකකරුවන් සාක්‍ෂිකරුවන්ට බලපෑම් කළ බව පවසමින් පැමිණිල්ල තංගල්ල උසාවියෙන් කොළඹට මාරු කළත් මෙහි සාක්‌ක්‍ෂිකරුවන් කවුද කියා සැකකරුවන් නොදන්නා බවත් සාක්‍ෂිකරුවන්ට එල්ල වූ බලපෑම් හෝ තර්ජන පිළිබඳ මෙතෙක්‌ කිසිදු පැමිණිල්ලක්‌ ඉදිරිපත් වී නැති බවත් පැවසීය.

සැකකාර තංගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයාට නිල කටයුත්තක්‌ මත කොරියාවට යැමට අවශ්‍යව ඇති හෙයින් ඔහුගේ විදෙස්‌ ගමන් බලපත්‍රය මුදා හරින ලෙසද වෙල්ලප්පුලි මහතා ඉල්ලා සිටියේය.

සැකකරුවන්ට ඇප නියම කර ඇප කොන්දේසි පනවා ඇත්තේ තංගල්ල මහාධිකරණයෙන් බැවින් එම ඉල්ලීම එම අධිකරණයෙන් සිදුකරන ලෙසද පැමිණිල්ල ලබන නොවැම්බර් 01 දිනට කැඳවන ලෙසද මහෙස්‌ත්‍රාත්වරයා නියම කළේය.

නිවාඩුවක්‌ ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටි බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේමන් ෂෙයික්‌ සහ ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්‌ටෝරියා ඇලටිමෙඩිනා නමැත්තිය තංගල්ලේ නිවාඩු නිකේතනයක ලැගුම් ගෙන සිටියදී 2011 දෙසැම්බර් මස 25 දා තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මැර කණ්‌ඩායමක්‌ විසින් නිවාඩු නිකේතනයට කඩා වැදී බ්‍රිතාන්‍ය ජාතිකයාට වෙඩි තබා ඝාතනය කර පෙම්වතියට හිරිහැර කිරීම සම්බන්ධයෙන් මෙහි පරීක්‍ෂණ පැවැත්වේ.

පැමිණිල්ල විභාගයට ගනු ලැබූ අවස්‌ථාවට ලියාපදිංචි නොකළ ඩිෙµන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පැමිණි සැකකරුවෝ සියලු දෙනා අදාළ නඩු කටයුතුවලින් අනතුරුව පිටව ගියහ.