සරච්චන්ද්‍රයන් ගැන මගේ කියැවීම - මහාචාර්ය සුචරිත ගම්ලත්

මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ ‘ගුරු ගුණ සමර’ කෘතියෙනි.

මේ පරිසරයේ මනමෝහනකාරී අසිරි සිරිසරින් සම්මෝහිත ව අඩනින්දෙන් මෙන් මා හට සතියක් පමණ ගෙවී ගියේ ය. එකල අහිංසක විහිළු තහළු කරනු විනා වත්මන් නවක වධය වැනි අශීලාචාර, ම්ලේච්ඡ, මෘග, රකුසු, පෝරිසාද, වධහිංසා නවක සිසුන්ට නො දෙන ලදී. ජ්‍යෙෂ්ඨයකුගේ ගමන් මල්ලක් ඔසවා ගෙන යෑම් යනාදිය නම් කරවන ලදී. ගැහැනු ළමයකුට මල් කලඹක් ගෙන ගොස් දී “I love you” (“මං ඔයාට ආදරෙයි”) කියා කියවීම ද සුපුරුදු විහිළුවක් විය. ගැහැනු ළමයින් අබියස කාගේත් කායික වාචසික හැසිරීම විනීත විය.

ගැහැනු ළමයින් සිටි තැනක දී “bugger off” කියා සගයකුට එක් සිසුවකුට දෙටු සිසුවකු විසින් නො සැර කම්මුල් පහරක් ගසන ලදී. එහෙයින් මාගේ ඒ සම්මෝහනය බිඳින කිසිදු බාධකයක් නො වී ය. මේ සම්මෝහනය මධ්‍යයේ මා තුළ වූ පරමාභිලාෂය නම් ආචාර්ය සරච්චන්ද්‍රයන් (එකල ඔවුනට මහාචාර්ය ධුරයක් නො වී ය.) දැකගැනීම හා ඔවුන් ගෙන් උගැන්ම ඇරඹීම යි. එක් උදයක සාමාන්‍ය කලායෝග්‍යතා කාල සටහන මහ දැන්වීම් පුවරුවෙහි දිස් විය. මහත් ම වාසනාවෙකි. මම පස්වණක් ප්‍රීතියෙන් පිනා ගියෙමි. සරච්චන්ද්‍රයෝ අපට “Approch to Literature” (සාහිත්‍ය ප්‍රවේශය) නම් පාඨමාලාවක් උගැන්වීමට නියමිත ව සිටියහ.

එක් සඳු දිනෙක උදයේ 8 ට පෙර ප්‍රථම වර්ෂයේ නවක සිසුහු වූ අපි කලාගාරයේ රැස් ව සිටියෙමු. විදුලි පංකා ලෙළ දෙන එහි උඩු වියන දීප්තිමත් ය; බිතු පෙළ කාෂාය වර්ණ ය; ගෙබිම මුහුණ පෙනෙන්ට මැදලා ය; දූවිලි අංශුවක් වත් නැත. උදයෙහි නිඳිබර සිහිලසින් ගත නැළවේ. නා නා වර්ණ පටදුහුලින් වැසූ රන්වන් සුදේහයන් ගෙන් ද සුපිපි පියුමන් බඳු වූවන් පෙළින් ද යුතු සිසු මාණවිකාවෝ අතිමනරම් ය. ඔවුන් ගැල්වූ නා නා විධ සුගන්ධයෝ හමා අවුත් ගහන් සිදුරුවලින් පිවිස සකල ශරීරය හා ආධ්‍යාත්මය පරාමර්ශනය කොට ගත ප්‍රබෝධවත් ද සිත උත්තේජිත ද කරති: “මෙලොව සියක් අවුරුදු එහි එක දවස.”

අප එහි අසුන් ගෙන සිටින විට සරච්චන්ද්‍රයෝ පිටුපස වූ දකුණු දොරින් ඇතුළු ව බිම බලාගෙන සන්සුන් ගමනින් හා ශාන්තදාන්ත ඉරියව්වෙන් යුතු ව වේදිකාවට නැංගාහ. ඉදිකටුවක් බිම වැටෙන හඬ වුව ද ඇසෙන තරම් තද නිහැඬියාවකි.

සරච්චන්ද්‍රයෝ නූස් ය; නො මිටි ය; කෙට්ටුත් නැත; මහතත් නැත; එළලු පැහැයෙන් යුතු ය; අළු පැහැති කලිසමක් හා ක්‍රීම් පැහැති අත් දිග නයිලෝන් කමිසයක් ඇඳලා ය; අළු පැහැයෙන් ම යුතු පටියක් බැඳලා ය. ළා කොළ පැහැයට හුරු, ලේස් පටි රහිත පම්ප් වර්ගයේ සපත්තු කූට්ටමක් දෙපාහි පැලඳලා ය. අළු පැහැති පාකර් කාබන් පෑනක් ද කියවීමට පලඳින කොපුවේ ලූ උපැස් යුවළ ද කමිස සාක්කුවේ දිස් වේ. මෙවැනි ඇඳුම් කට්ටල කීපයක් ම එතුමන් සතු වූ බවත් ඒවා ජපානයෙන් ගෙන ආ බවත් පසු ව අපට දැනගන්ට ලැබිණ. එතුමාණන් පැලඳ සිටියේ සුදු නයිලෝන් පටියෙන් යුතු රිදී පාට අත් ඔරලෝසුවකි. ඝන ව වැවුණු නීල වර්ණ කේශ කලාපය මඳක් දිගට වවා වම් පසින් බෙදා පස්සට වෙන්ට පීරලා ය. ඔවුන්ගේ කායික ඉරියව් තරමට ම වාක්පරිහරණය ද සංවර ය.

සරච්චන්ද්‍රයන්ගේ දේහ විලාසය ද ඇඳුම් පැලඳුම් ද කායවාක්සංවරය ද එක් වූ තන්හි මට හැඟී ගියේ එතුමාණන් පේරාදෙණි සරසවියේ මනනයනපිනවන, හදගත පොබ කරන නිරාමිස සෞන්දර්යය උද්වහනය කරන ඒ පරිසරයේ ම ප්‍රතිමූර්තියක් සේ ය. එතුමාණන් ඒ සියල් සිරිසරෙහි මෝහනකාරිත්වය ම කැටි කොට ප්‍රතිරූපගත කරන්නාක් සේ විය.

සරච්චන්ද්‍රයන්ගේ කල්පනා ලෝකයෙහි එන සාහිත්‍ය න්‍යාය ද මේ සුන්දර පරිසරයේ හා එහි වූ සුවපහසු ජීවිතයේ ම මෝහනකාරිත්වයට අනුපාන වශයෙන් ගොඩ නැඟුවක් සේ දිස් වෙයි. ඒ මෙසේ ය:

“තම ආශාවන් මැඬ ගැනීමෙහි අපොහොසත් වූ පෘථග්ජනයා සැබෑ ලෝකයේ තතු එතරම් සැපදායක නො වන හෙයින් තම කල්පනා ශක්තිය මෙහෙයවා තවත් ලෝකයක් මවා ගනී. සිතට තෘප්තිය නො දෙන සැබෑ ලෝකයෙන් ඔහු වරින් වර ඉවත් ව ගොස් තමා විසින් ම මවාගන්නා ලද කල්පනා ලෝකයෙහි ස්වල්ප වේලාවක් හිඳ සියලු මනදොළ සපුරාගෙන සැබෑ ලෝකයට එයි. සැබෑ ලෝකයේ සිත් පිත් නැති දහමින් තැළුණු, පොඩි වුණු ඔහුගේ මනස කල්පනා ලෝකයට පිවිස, විඩාව සන්සිඳුවාගෙන, තුවාල සුව කරගෙන සැබෑ ලෝකයට පිවිසෙයි.

“කල්පනා ලෝකය ස්වප්න ලොවකට සමාන ය. බෘහදාරණ්‍යක උපනිෂදයෙහි කියන්නාක් මෙන්, ආත්මය ශරීරය හැර දමා ස්වප්න ලෝකයකට ගොස් තම විජිතයට ගිය රජකු මෙන් රිසි සේ හැසිරෙයි.”

මෙවැනි සාහිත්‍ය න්‍යායක් තුඩු දෙන්නේ පේරාදෙණියේ එකල පැවති සව් සිරිසැප සපිරි, සෝතැවුල් රහිත, අලස සුවයෙහි දැවටුණු ජීවිතයට ම පවන් සලන සාහිත්‍යයක් නිර්මාණය කිරීමට නො වේ ද? ශ්‍රී ලංකාවේ දුකින් කඳුළින් පිරි අවශේෂ දිග්භාගයන්හි සිට ඒවා නො පෙනෙන පේරාදෙණියේ මේ අයථාර්ථවත් කඳු බෑවුමට, මේ සිහින දේශයට ඉගැන්වීම සඳහා හෝ උගෙනීම සඳහා හෝ ගිය පුද්ගලයන්ට හැඟී ගි‍යේ “ආත්මය ශරීරය හැර දමා ස්වප්න ලෝකයකට ගොස් තම විජිතයට ගිය රජෙකු මෙන් (තමන්ට) රිසි සේ හැසිරෙන” කලෙක මෙන් ය.

පේරාදෙණියේ ඒ විජිතයේ තතු තව දුරටත් සරච්චන්ද්‍රයන් විසින් සාහිත්‍යයට ආරෝපණය කෙරෙන්නේ මෙසේ ය:

“එහෙත් සාහිත්‍ය ලෝකය ස්වාධීන ය, අපරතන්ත්‍ර ය, වෙන කිසිවක් අපේක්ෂා නො කරයි, වෙන කිසිවක් කෙරෙහි රඳා නො පවතී. පොදු මිනිසුන් වන අපට ස්වශක්තියෙන් මවාගත නො හැකි විසිතුරු කල්පනා ලෝක කවියෝ අප සඳහා මවා දෙති. කවිහු, කථාකාරයෝ ඉන්ද්‍රජාලිකයන්ට සමාන වෙති. ඔවුන් අප ඉදිරියේ මවාපාන මායා ලෝක අපි ස්වසන්තක කරගන්නෙමු.”

පේරාදෙණියේ එකල සිටි සියලු ම ආචාර්යවරු භාෂා භාෂාන්තර, ශාස්ත්‍ර ශාස්ත්‍රාන්තර, සමයසමයාන්තර හසළ ප්‍රඥා සමුද්‍රයෝ ය. ඔවුන් සැම දෙනා තුළ ම නිදන් වී තිබුණේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, ලන්ඩන්, සෝබොන් යනාදී බටහිර විශ්වවිද්‍යාලවලින් විහිද ගිය ශාස්ත්‍ර ගවේෂණ සම්ප්‍රදාය යි. වෛෂයික සත්‍යය සෙවීම හැර අන්‍ය ආත්මීය අභිලාස ඔවුනට නො වී ය. ඔවුහු සුළු වැටුප්වලින් යැපෙති; කාර්කබල්වල යති; ඉතා චාම් ද පිරිසිදු ද වූ ඇඳුම් අඳිති. ඔවුන්ගේ ඇඳුම් අභ්‍යන්තර පාරිශුද්ධිය බැහැරට විදහා දක්වන සංකේත වැන්න. ඔවුන්ගේ කාලයෙන් බහුතරය වැය වන්නේ දැවැන්ත පුස්තකාලයෙහි ගැබ් වන ජගත් ඥාන සම්භාරයෙහි නිමග්න ව ය. ඔවුහු ශිෂ්‍යයන්ට ඉතා අනුකම්පා සහගතයහ.

මේ වියත් ගණ ගගනතෙලෙහි අපරිමිති ආලෝකයෙන් උජ්වලිත වූවෝ නම් පුරාතත්ත්ව විශාරද සෙනරත් පරණවිතාන, භාරතවේද විශාරද ඕ. එච්. ද ඒ. විජේසේකර, භාෂාන්තර විශාරද ඩී. ඊ. හෙට්ටිආරච්චි, ග්‍රන්ථ විශාරද ඉයන් ගුණතිලක, සාහිත්‍ය කලා විශාරද සිරි ගුනසිංහ, වාග් විද්‍යා විශාරද සුගතපාල ද සිල්වා, සාහිත්‍ය හා මාක්ස්වාද විශාරද ඩොරික් ද සූසා යනාදීහු ය. මෙසේ පැවැසීමෙන් මා කරන්නේ අන්‍ය ආචාර්යවරුන් උනුතක්සේරු කිරීමක් නො ව පුවත්පතේ ඉඩකඩ සීමාව උල්ලංඝනය නො කිරීමට ඇති පීඩනයේ චිත්ත පීඩාව දුක සේ විඳ දරා ගැනීම පමණි.

කෙතරම් බහුශ්‍රැත හා බහුපඨිත වුව ද ඇතැම් ආචාර්යවරුන් උගන්වන කල්හි මට හැඟුණේ මොට්ට කැත්තකින් දර කොටයකට කොටන කලෙක මෙන් ය. ඇතැමුන් උගන්වන විට තියුණු මුවාත් සහිත අසිපතෙකින් මහනෙල් මල් පෙති ගොනුවක් එක් පහරින් පසාරු කර දමන්නාක් ‍වැනි විය. සරච්චන්ද්‍රයෝ මෙවැන්නෙක් වූහ. එහෙයින් ඔවුන්ගේ කිසි ම දේශනයක් මඟ නො හැරීමට මම වග බලා ගතිමි.

මගේ අනාගත වර්ධනයට බල පෑ ගුරුවරු සිව් දෙනෙක් වූහ. හෙට්ටිආරච්චි ශ්‍රීමත්හු මගේ භාෂා ලෝලය දැල් වූහ. සුගතපාල ද සිල්වාණෝ කිසි යම් එක් ලක්ෂ්‍යයකට සිතන්නේත් ලියන්නේත් කෙසේ දැයි මට පුහුණු කළහ. සිරි ගුනසිංහයෝ සංස්කෘත කාව්‍යයෙන් ලද හැකි මහඟු ආස්වාදය පෙන්වා දුන්හ. ඔවුහු ආනන්ද වර්ධනයන්ගේ ධ්වනිවාදය ඉතාමත් දීප්තිමත් ලෙස කාලිදාසයන්ගේ මේඝදූතයට උපයෝග කළහ. ඔවුන් අපට උගැන්වූයේ එහි පූර්ව මේඝය පමණි. ඔවුන් මතු කර දැක්වූ එහි රසයෙන් මම මෝහිත වීමි.

සරච්චන්ද්‍රයෝ අපට සුවිශේෂ වූහ. ඔවුන් උගන්වන කල්හි විශ්වකෝෂයක් දිග හළ කලෙක් මෙන් විය. ඔවුන්ගේ නැණ විදුරවියකි.

සරච්චන්ද්‍රයන් අපට වැඩි දෙයක් ඉගැන්වූයේ නැත. ඔවුන් ප්‍රථම වර්ෂයේ දී කළේ නිර්මාණාත්මක ලේඛනය සන්නිවේදනාත්මක ලේඛනයෙන් වෙනස් වන අයුරු පෙන්වා දීම යි.

ඔවුන්ගේ විධි ක්‍රමය ඉතා ප්‍රායෝගි ය: ඔවුහු නොයෙක් ගද්‍ය පද්‍ය පාඨ අනුපිටපත් කොට ගෙනැවිත් බෙදා දී සිසුනට කියවන්ට කියති; කියවීමෙන් පසු ඒවායේ සාහිත්‍යමය හා අසාහිත්‍යමය අගය එළියට එන අයුරු ප්‍රශ්න කරති. ඇතැම්හු මෝඩ පිළිතුරු දෙති. සරච්චන්ද්‍රයෝ සභා ගර්භය දෙදරවමින් එයින් සදය සිනා නංවති; හරයක් ඇති පිළිතුරක් ලැබුණොත් තව තවත් ප්‍රශ්න කොට එහි අඩුපාඩු සිසුන් ලවා ම සකසවමින් අංකොන් කපා දමවමින් පිරිපහදු කරවති; අවශ්‍ය වුව හොත් අවසානයේ දී ඔවුහු තම විවරණය ද ඉදිරිපත් කරති. එසේ සිදු වන අවස්ථා ඉතා දුර්ලභ ය. සාමාන්‍යයෙන් ශිෂ්‍යයකුගේ පිළිතුරක් ම පිරිපහදු කොට නියම විවරණය දක්වා සංවර්ධනය කෙරෙයි. මේ ඉගැන්වීම් ක්‍රමය ආචාර්ය - කේන්ද්‍රීය හෝ කාළඵලක - කේන්ද්‍රීය හෝ නො ව ශිෂ්‍ය-කේන්ද්‍රීය යි.

යසෝදරාවත, වෙස්සන්තර ජාතක කාව්‍යය, පත්තිනි හෑල්ල යන මේවායින් පටන් ගත් මේ ප්‍රවේශය අගට යන විට සන්දේශ කාව්‍ය දක්වා විහිද ගියේ ය. සරච්චන්ද්‍රයන් කාව්‍යමය පාඨ උගන්වන කල්හි ඒවායේ රසයෙන් මත් ව නන් වැදෑරුම් ආංගික හා සාත්වික අභිනය පාති; මියුරු සරින් ගායනා කරති. “විචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැළෙන, කාර් රෝදෙන් ‘චිරිස්’ ඇඟ පුරා මඩ ඉහෙන” යන පද්‍ය පාද ගායනා කරන විට වැස්සට තෙමෙමින් යන කල කාර් රෝදයෙන් ඇඟට මඩ ඉහුණු කලෙක වැනි අභිනයක් පෑ සැටි මගේ මනැසේ දැනුදු මැවී පෙනේ.

ප්‍රථම වර්ෂාවසානය වන විට මම සාහිත්‍යය සහෘදයාගේ හැඟීම් සංකීර්ණය මත ක්‍රියා කරන ආකාරය මැනවින් වටහා ගතිමි. මා පසු කාලයේ කළ සියලු ප්‍රායෝගික සාහිත්‍ය විචාරයන් සඳහා මට ප්‍රථම පුහුණුව ලැබුණේ එසේ ය. සිරි ගුනසිංහයෝ ද මාගේ ඒ මුල් කාලීන පුහුණුවට මහත් සේ දායක වූහ.

ඊළඟ වර්ෂවල සරච්චන්ද්‍රයන් අපට කුමක් ඉගැන්වූහු දැයි දැන් මට මතක නැත. අවසාන වර්ෂයේ දී ඔවුහු සුසාධිත නාට්‍යයේ සන්දර්භය ගැන ධනංජයාචාරීන්ගේ දශරූප නම් ග්‍රන්ථයේ එන විවරණය ද කාව්‍ය ප්‍රකාශයේ හා සාහිත්‍ය දර්පණයේ එන රස හා ධ්වනි යන සංකල්ප ගැන විවරණ ද අපට ඉගැන්වූහ.

බොහෝ ආචාර්යවරු ශිෂ්‍යප්‍රිය වූවෝ තම තම විෂය හදාරන සිසුන් අතර පමණි. ඊට හේතුව ඔවුන් අන් විෂයන් ගැන එතරම් තැකීමක් නො කිරිම යි. නිදසුනක් මෙසේ ය: පරණවිතානයන්ගේ නිල නිවස පිහිටා තිබුණේ සරච්චන්ද්‍රයන්ගේ නිවසට යන පාරේ වුව ද පරණවිතානයෝ සරච්චන්ද්‍රයන් නො දත්හ. එතුමාණන් මනමේ පවා දැක තිබුණේ නැත. දිනක් සවස කලාගාරයේ විශේෂ දේශනයක් කරන අතර පුරාණ සාහිත්‍යයේ කෝලම් වැනි විකට නැටුම් ගැන සඳහන් වන බව කීමට ඔවුනට සිදු විය. අනතුරු ව ඔවුහු මෙසේ කීහ: “ඕං දැනුත් මං එන කොට අර පහළ කාමරේක ගුරුන්නාන්සේ කෙනෙක් නාඩගමක් පුරුදු කරනව.” ඒ කීයේ පහළ කාමරයක සිංහබාහු පුහුණු කරවමින් සිටි සරච්චන්ද්‍රයන් ගැන ය.

වර්තමාන සාහිත්‍යය කියවා ඇද්දැයි දිනක් අප ඇසූ විට පරණවිතානයන් කීයේ “ඔව්, මං කුමාරතුංගගෙ විවරණ කියවල තියෙනව” කියා ය. වත්මන් කවි කියවා තිබේ දැයි ඇසූ විට “නැතැ” යි කියා, “Poetry Written in a Park or something (ඔවුන් කථා කළේ ඉංග්‍රීසියෙනි.) කියල පොතක් මට එවල තිබුණ. කර්තෘ නං නෙවෙයි; ප්‍රකාශකයෝ. මට ඔය බොළඳ දේවල් (immature stuff) කියවන්න බෑ” කියා කීවෝ ය. ඒ කීවේ ගුණදාස අමරසේකරයන්ගේ උයනක හිඳ ලියූ කවි යන්න ගැන ය. විජේසේකරයන් ද වත්මන් සිංහල සාහිත්‍යය කියා දැනගෙන සිටියේ කුමාරතුංගයන්ගේ විවරණ ය. එම්. ශ්‍රී රම්මණ්ඩලයෝ ද එසේ ය. ගුණදාස අමරසේකරයන්ගේ යළි උපන්නෙමි කියවා නො ව ඒ ගැන අසා රම්මණ්ඩලයෝ පන්තිවල දී සෑහෙන කලක් යන තුරු අමු තිත්ත කුණුහරුපයෙන් කතුවරයාට බැණ වැදුණහ. හෙට්ටිආරච්චිහු ද ඒ ගැන අසා “අම්මටත් කෙ...ඩ ගිය එකෙක් නේ මූ” කියා කීහ.

එ‍ෙහත් සරච්චන්ද්‍රයෝ සකල ශිෂ්‍යප්‍රිය වූහ. මීට හේතු පැවතිණ: සරච්චන්ද්‍රයෝ සිංහල නාට්‍ය සංගමයේ ද ගාන්ධර්ව සභාවේ ද ක්‍රියාකාරී නායකයාණෝ ය. ඔවුහු භාරතීය සංගීතය ගැන සනිදර්ශන කථා පවත්වති; උත්තර භාරතීය හා කර්ණාටක සංගීත පද්ධති සසදා සනිදර්ශන කථා පවත්වති. පණ්ඩිත් රවි ශංකරයන් පේරාදෙණියට එන්ට පෙර උත්තර භාරතීය සංගීතය ගැන දේශන පවත්වා ශිෂ්‍යයන් රවි ශංකරයන්ගේ වාදනයට ප්‍රතිචාරී කිරීමට තැත් කළ ඔවුහු වාදනයට පෙර රවි ශංකරයන් හඳුන්වා දීම ද කළහ. සරච්චන්ද්‍රයන් රවි ශංකරයන්ට විශ්වවිද්‍යාලය පෙන්වමින් එහි ඇවිදින සඳ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ගෞරව සම්ප්‍රයුක්ත භක්තියෙන් යුතු ව බද්ධ දෘෂ්ටියෙන් එදෙස බලා සිටියාහු ය. සරච්චන්ද්‍රයන්ගේ ඇඳුම් පැලඳුම්, විනීතාචාර, දේහ විලාසය ආදිය ද මේ ගෞරවයට පිටු දුනි. සියල්ලට මත් වඩා සරච්චන්ද්‍රයන්ගේ සිරස වටා නිති භ්‍රමණය වූ බ්‍යාම ප්‍රභා මණ්ඩලයේ ප්‍රභවය වූයේ මනමේ නාට්‍යය යි. එතුමාණෝ සරසවියේ අසදෘශ ආකර්ෂණ කේන්ද්‍රය වූහ.

එහෙත් ඒ එකල ය. සරච්චන්ද්‍රයන් විශ්‍රාම යන්ට කිට්ටු ව මම මඟ දී හමු වූ ශිෂ්‍යයකුගෙන් දැන් “සාහිත්‍ය ප්‍රවේශය උගන්නන්නේ කවුද?” කියා ඇසීමි. “කවුද දන්නෙ නෑ කළු මිට්ටෙක්” කියා ඔහු පිළිතුරු දුනි. “හොඳ ද? යනු ඇසූ විට “ඇවිල්ල දොඩවල යනව. ගන්ඩ පලක් නෑ. සටහන් දෙන්නෙ නෑ” කියා ඔහු කී ය. ඔහු ඒ කීයේ සරච්චන්ද්‍රයන් ගැන ය. හේගල් කියූ පරිදි සැම දෙයක් ම එහි ප්‍රතිපක්ෂය බවට පෙරළේ. සාහිත්‍ය විද්‍යාව වත් නො හදාළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු පවා අද විශ්වවිද්‍යාලවල සිටිති.

විශ්වවිද්‍යාලයේ ප්‍රථම විනයාධ්‍යක්ෂ ලෙස සරච්චන්ද්‍රයන් පත් කිරීමට එහි පාලක මණ්ඩලය මෙහෙයවන ලද්දේ ඔවුන්ගේ මේ ශිෂ්‍යප්‍රියත්වය විසිනි. ඔවුන් ඒ තනතුරට පත් කිරීමෙන් පසු උපකුලපති ශ්‍රීමත් නිකලස් ආටිගලයන් කියූ කීමක් මට සිහි වේ: “I have appointed the most respected teacher as your proctor” - “මම ඔබේ විනයාධ්‍යක්ෂ ලෙස පත් කරල තියෙන්නෙ ගෞරවණීය ම ගුරුවරයා.”


එහෙත් සරච්චන්ද්‍රයෝ වැඩි කල් මේ තනතුරේ නො රැඳුණහ. ශිෂ්‍යයන්ට විරුද්ධ ප්‍රථම පැමිණිල්ල විභාග කරන්ට සිදු වූ විට ම ශිෂ්‍යයන්ට දඬුවම් කරන්ට සිදු වේ ය යන බියෙන් ඔවුහු එයින් ඉල්ලා අස් වූහ. ශිෂ්‍ය උපදේශක ක්‍රමය ආවේ ඉන් පසු ව යැයි මම අනුමාන කරමි.

බොහෝ සුන්දර ශිෂ්‍යාවෝ සරච්චන්ද්‍රයන්ට ඈත සිට ඇඟෑලුම්කම් දැක්වූහ. ඔවුහු කිසි දාක එතුමාණන් ළඟට ඒ අයුරින් කිට්ටු වීමෙහි අසමත් වූහ. ඔවුනතුරින් ස්වර්ණ වර්ණ, සුලලිත, සුදේහධාරී එක් ශිෂ්‍යාවක් සමීප ව ඇඟෑලුම් වූ බව මම දනිමි. එහෙත් සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය කුටිය තුළ කෙරුණු හුදකලා පිළිසඳරේ දෘඪතර සීමා තුළ රැඳුණු ඒ පා වී යන ඇඟෑලුම යථා කාලයේ දී මැකී ගියේ ය. ශිෂ්‍යාවෝ සරච්චන්ද්‍රයන්ගේ ඇඳුම් පැලඳුම් ගැන ද පසු කර යන විට හමන දුලබ සුගන්ධය ගැන ද අභිරුචියෙන් කථා කළහ. වරක් එතුමන් බැහැ දකින්ට නිවසට ගොස් ආ ශිෂ්‍යාවෝ කීප දෙනෙක් එතුමන්ගේ මිරිවැඩි සඟළ ගැන සති ගණනක් කථා කළහ.

මේ ඇඟෑලුම්කම් හා කතාබහ තුළ ඇතැම් මානව සම්බන්ධතාවල පතුලේ අගාධයේ ම කිඳී අදෘශ්‍යමාන ම අළු යට ගිනි පුපුරු මෙන් තිබෙන්නා වූ නර-නාරි ප්‍රතිබද්ධ චිත්තය වක්‍ර වී ද වර්තනය වී ද ප්‍රකාශිත වූ බවට කවර සැකයෙක් ද? මෙහි දී මට අංගුත්තර නිකායේ එන බුදු වදනක් සිහි වේ: “මහණෙනි, ස්ත්‍රී රූපය පුරුෂ චිත්තය ද පුරුෂ රූපය ස්ත්‍රී චිත්තය ද ග්‍රහණයට ගනී. මෙතරම් ප්‍රබල වූ එක දෙයක් වත් ලොවෙහි මට නො පෙනේ.