ඇත්ත කීමට දිවි පරදු කළ අපේ කාලයේ වීරයෙක්: එඞ්වඞ් ස්නෝඩන්

සුනන්ද දේශප‍්‍රිය

ඇමෙරිකානු ජාතික ස්නෝඩන් විසි නව හැවිරිදි  ය. සාමාන්‍ය වාර්ශික ආදායම ඩොලර් 50,000ක් වන ඇෙරිකාවෙහි ඔහුට වසකට ඩොලර් 200,000ක තරම් ආදායමක් ඇති රැුකියාවක් තිබුණි. ඔහුගේ වෘත්තීමය අනාගතය ස්ථිර ව තිබුණි. ඔහු සිය පෙම්වතිය සමඟ හවායි හි ආදරබර ජීවිතයක් ගත කරමින් සිටියේ ය. තමාට සති කිහිපයකට බැහැර වීමට සිදුව ඇතැයි ඇයට කී ස්නෝඩන් පසු ගිය මැයි 20 දා හොංකොං බලා ගුවන් ගත විය. තමා මේ යන්නේ ආපසු නොඑන ගමනක් බව ඔහු දැන සිටියේ ය. ‘ මට බයක් නැහැ, මොකද මා මේ තිරණය ගත්තේ හොඳට කල්පනා කරලා නිසා’ යැයි ස්නෝඩන් කිය යි. ඔහු අපේ කාලයේ වීරයෙක් වන්නේ ලෝකයේ වඩාම බලගතු ආරක්ෂක බලයක් ඇති ඇමෙරිකානු රාජ්‍යයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීවූත් අතිශය භයානක වූත් රහසිගත දැවන්ත සෝදිසි යන්ත‍්‍රය ලෝකයාට හෙළිදරව් කිරීම වෙනුවෙන් කැප වූ නිසා ය.

එවැනි පරමාදර්ශී මිනිසුන් අද ලෝකයේ විරලය. ඇමෙරිකානු ඉතිහාසයෙහි එවැනි යුග නිර්මාණක හෙළිදරව් කිරීම් කළ මිනිසුන් ඇත්තේ තිදෙනෙක් පමණි. පළමුවැන්නා නම් වියට්නාමයට එරෙහිව කර ගෙන ගිය යුද්ධයේ රහස් 1971 දී පෙන්ටන් පත‍්‍රිකා නමින් හෙළි කළ ඩැනියෙල් එල්ස්බර්ග් ය. දෙවැන්නා ඉරාකයේ සහ ඇප්ගනිස්ථානයේ ඇමෙරිකානු යුද අපරාධ ද ඇතුළත් රහසිගත වාර්තා ලක්ෂ ගණනාවක් 2010 විකි ලීක්ස් අඩවියට ලබා දුන්, 23 හැවිරිදි වර්ණ ලත් යුද සෙබලකු වූ බැඞ්ලි මැනිං ය. තෙවැන්නා එඞ්වඞ් ජෝෂප් ස්නෝඩන් ය. විප්ලවවාදියකු වීමට නම් අධිරාජ්‍යා අසුපිටින් ඇද දැමීමට ධෛර්යක් තිබිය යුතු බව මා  ඕ සේතුං කීවේ ය. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අගැයිම් වෙනුවෙන් සිය ජීවිත පරදු කළ මෙම ඇමෙරිකානුවන් තිදෙනා  සතුව ද එවැනි අධිශ්ඨානයක් තිබූ බව නිසැක ය.

ස්නෝඩන් සිය සැප පහසු ජීවිතය පරදුවට තැබුවේ  ඇමෙරිකානු රාජ්‍යයේ අති රහසිගත සහ දැවැන්ත ඔත්තු සේවා වැඩ සටහනක් එරට ජනයාට සහ ලෝකයාට හෙළි දරව් කිරීම පිණිස ය. ජාතික ආරක්ෂාවේ නාමයෙන් සියළුම ඇමෙරිකානු පුරවැසියන්ගේ දුර කථන සහ විද්්‍යුත් තැපැල්  සන්නිවේදනයන් පිළිබඳ තොතරතුරු රුස්කිරීම මෙම දැවන්ත සෝදිසි යන්ත‍්‍රය වේ. එය කැරුනේ අති රහසිගතව එරට ජනයාට හොර රහසිනි. සැප පහසු සිය ජීවිත යළි කිසි දිනෙක භුක්ති විදීමට නොහැකි වනු ඇති බව දැන දැනම එපමණක් නොව අති ප‍්‍රබල ඇමෙරිකානු රාජ්‍යයේ වෛරයට තමන් ගොදුරු වන බව දැන දැනම ස්නෝඩන් ගත් මෙම පියවර බි‍්‍රතාන්‍යයේ කීර්තිමත් ‘ද ගාර්ඩියන්’ පුවත් පත හැදින්වුයේ ‘තොරතුරු මහජන අවකාශයට ගෙන ඒමේ ඉතිහාසීය අවස්ථාවක්’ ලෙස ය. එක් රුස් කර ගත් තොරතුරු සමඟ ඇමෙරිකානු ජීවිතය අතහැර හොකොං නුවරට පළා ගිය ස්නෝඩන් දැන් එම තොරතුරු ක‍්‍රමයෙන් ලෝකයාට දෙමින් සිටින්නේ  බි‍්‍රතාන්‍යයේ ‘ද ගාර්ඩියන්’ සහ ඇමෙරිකාවෙහි ‘වොෂින්ටන් පෝසට්’ යන පුවත් පත් හරහා ය.

‘‘ඇමෙරිකානු රාජ්‍යය රහසේ ගොඩ නගමින් සිටින මෙම දැවන්ත සෝදිසි යන්ත‍්‍රය සමග ලෝකය වටා මහජනතාවගේ පුද්ගලිකත්වය, අන්තර් ජාල නිදහස හා මූලික නිදහස විනාශ කිරීමට එක්සත් ජනපද ආන්ඩුවට ඉඩ දීමට නොහැකි ය” යනුවෙන් ස්නොඩන් ප‍්‍රකාශ කරයි.

ඔහුගේ හෙළිිදරව් කිරීම් විසින් ඇමෙරිකානු රාජ්‍යයේ පමණක් නොව එරට ජනාධිපති ඔබාමාගේ ද ප‍්‍රතිරූපය හෙල්ලූම් කවමින් තිබේ. සීඑන්එන් රූපවාහිනී සේවාවට අනුව සෑම ඇමරිකානුවන් 10 දෙනෙකුගෙන්ම හය දෙනෙක් මෙම රහසිගත තොරතුරු එක් රුස්කිරීමේ වැඩ සටහන පිළිබඳව ජනාධිපති ඔබාමා කෙරෙහි නොසතුට පළ කරති. මෙම තත්ත්වය මැද ඔබාමාගේ ජනප‍්‍රියත්වය සියයට 45 දක්වා පහළ බැස ඇතැයි ද එය වාර්තා කරයි.

බිය ජනක ඇමෙරිකානු රහස් ඔත්තු සේවාව වන සී.අයි.ඒ. සංවිධානයේ කළක් සේවය කළ ස්නෝඩන් පසුව ඉන් ඉවත් වී ඇෙරිකානු රාජ්‍යයේ ජාතික ආරක්ෂක ඒජන්සියෙහි හවුල්කාර ඒකකයක්  වූ බූෂ් ඇලන් හැමිල්ටන් යටතේ රැුකියාවට ගියේ ය. මෙම ජාතික ආරක්ෂක ඒජන්සිය සමස්ත ඇමෙරිකාවෙහි ම පමණක් නොව ලොව අනෙක් රටවල ද සන්නිවේදන තොරතුරු රුස් කීරීමේ අති දැවැන්ත ආයතනයකි. ඒ කොතෙක් ද යත් එක් මසක් තුළ එය එක් කර ගන්නා දත්ත සංඛ්‍යාව බිලියන 90ක් (90,000,000,000* තරම් වේ. ඇත්ත වශයෙන්ම නම් සිතිය නොහැකි තරමේ විශාලත්වයකින් යුතු මෙම දැවන්ත සෝදිසි යන්ත‍්‍රය සකස් කර ඇත්තේ ඉබේම මෙම තොරතුරු එය වෙත ගලා එන පරිදි ය.

ජාතික ආරක්ෂක ඒජන්සිය මෙළෙස එරට ජනයාගේ විද්්‍යුත් තැපැල් සහ දුර කථන ඇමැතුම් එක් කළේ හොර රහසේ ය. ස්නොඩන්ට අනුව මෙම අධිසෝදිසි වැඩසටහන අසීමිත එල්ලයන් සහිත ”හිංසනයේ සම්පූර්න ව්‍යුහයකි”.  ”ලෝකයේ සෑම කතාබහක් ම හා සෑම හැසිරීම් රටාවක් ම දැන ගැනීමට ඔවුන් අදිටන් කරගෙන ඉන්නවා”යි ඔහු ජනමාධ්‍යට ප‍්‍රකාශ කළේ ය.

නිව්යෝක් නුවර ලෝක වෙළද මධ්‍යස්ථානයට  එල්ල වූ  9/11 ප‍්‍රහාරයෙන්  පසු ඇමෙරිකානු රාජ්‍යය ‘‘ත‍්‍රස්තවාදය’’ මැඩ පැවැත්වීමේ මුවාවෙන් පොලිස් රාජ්‍යයක් බවට පත්ව ඇති සැටි සිය රාජකාරිය තුළ දුටු  ස්නොඩන්ගේ පුරවැසි හෘද සාක්ෂිය කැරළි ගසන්නට විය.  ඔහු බොහෝ දුරට කල්පනා කොට මෙම වැඩ සටහන හෙලි දරව් කිරීමට තීරණය කළේ ය. මෙම හෙළිදරව් කිරීම නිසා තමාට යළි කිසි  දිනෙක සිය මව්බිම වන ඇමෙරිකාවට යෑමට නොහැකි වන බව තමා දන්නේ යැයි ස්නෝඩන් ‘ද ගාර්ඩියන්’ පුවත්පතට කීය.  ‘එසේ නමුත් මෙම රහසිගත නීතිය, වැළැක්විය නොහැකි විධායක බලය සහ නීති විරෝධී රහසිගත තොරතුරු එක් කිරීම’ හෙළිදරව් කිරීමට ලැබීමෙන් තමා තෘප්තියට පැමිණෙන බව එම පුවත්පතට ම ඔහු ලියා යැවීය. මෙම හෙළිදරව්ව නිසා ලෝක පුරවැසියන් අතර තමන්ට අවශ්‍ය කවරාකාරයේ ආන්ඩුකරණයක්දැයි සැකච්ජාවක් ඇතිවනු ඇතැයි ස්නෝඩන් ගේ අපේක්ෂාව වේ. ඔහු තව දුරටත් කියන්නේ තම අරමුණ වන්නේ මහජනයාගේ නාමයෙන් ඔවුන්ට ම විරුද්ධව කරගෙන යන රහස් තොරතුරු එක් කිරීම පිළිබඳ ඇත්ත අනාවරණය කිරීම බවයි. ‘අන්තර් ජාලයේ නිදහස අත්‍යවශ්‍ය දෙයක්. ඇමෙරිකානු රාජ්‍යය ගොඩ නඟා ගෙන යන මෙම දැවැන්ත ඔත්තු සේවා යාන්ත‍්‍රණය එම නිදහස අතුගා දමනවා’ යැයි ද ස්නෝඩන් කිය යි.

” මගේ වෘත්තිය අනුව , ඔබ හෝ ඔබගේ ගනකාධිකාරිගේ සිට, ෆෙඩරල් විනිශ්චයකාරවරයෙකු හෝ මට පෞද්ගලික විද්‍යුත් තැපල් ලිපිනයක් ඇත්නම් ජනාධිපති දක්වා වන  ඕනෑ ම අයෙකුට රහසින් කන්දීමට අධිකාර බලයක් තිබුනා’ යැයි කියන ස්නොඩන්  ”මා කරන හා කියන හැම දෙයක් ම වාර්තා කරනු ලබන ලෝකයක මට ජීවත් වීමට අවශ්‍ය නැහැ. එවැන්නකට සහාය වීමට හෝ ඒ මගින් ජීවත් වීමට හෝ මගේ කැමත්තක් නැහැ” යැයි කිය යි.

ඇමෙරිකානු රාජ්‍යයේ මෙම සෝදිසි යන්ත‍්‍රයට අවශ්‍ය නම්   ඕනෑම පරිඝනකයක  වයිරස් රුදවිය හැකි අතර  කවරකු හෝ අන්තර් ජාලයට පිවිසෙනවාත් සමඟම එය හඳුනා ගත හැකි ය. ඉන් බේරීම ඉතාම අපහසු ය.

ඇමෙරිකානු සීඅයිඒ ඔත්තු සේවාවෙහි නියෝජිතයෙක් වශයෙන් වෙස් වෙළාගෙන  තමන් වරක් ජිනීවා නුවර තානාපති නිලධාරියෙක් ලෙස කටයුතු කළ බව පවසන ස්නොඩන් අපූරු හෙළිදරව්වක් කරයි. ‘‘ වරක් අපට එක් ස්විස් බැංකුකරුවකු ඔත්තු සේවාවට සම්බන්ධ කර ගන්න  ඕනැ වුනා. අප අපේ රහස් නිලධාරියෙක් ඔහු සමඟ එකට මත්පැන් පානයට යොමු කළා. මත්පැන් බී සිය වාහනව එළවාගෙන ගිය බැංකුකරු පොලීසියට හසුවුනා. එවිට ඔහු සමඟ සිටි සීඅයිඒ නියෝජිතයා ඔහු වෙනුවෙන් පෙනී සිටියා. ඒ මගින් ගොඩ නැගුණු විශ්වාශය උඩ ඔහු අපේ ඔත්තුකරුවකු බවට පත්කර ගත්තා’’ .

සීඅයිඒ සංවිධානය ගැන හොදින් දන්නා ඔහු මෙසේ ද කිය යි. ” සීඅයිඒ සංවිධානය  මා අල්ලා ඇමෙරිකාවට ගෙන යන්න පුලූවන්. මා පසු පස පුද්ගලයන් එවාවි.  නැත්නම් වෙනත්  රටවල් ඔත්තු සේවා ඒජන්තයින් එවාවි. සීඅයිඒ සේවාව රටවල් ගානක් එක්ක වැඩ කරනවා. ඔවුන්ට ට‍්‍රයඞ්ස් කියන චීන පතාලයේ සහාය ගන්න වුණත් පුළුවන්.”

ඔහු සමඟ සාකච්ජා කරමින් මෙම හෙළිදරව් ලොකයට ගෙන ආ ‘ද ගාඩියන්’ පත‍‍්‍රයේ ග්ලේන් ග‍්‍රීන්වෝල්ඞ් කියන්නේ ස්නොඩන් සීඅයිඒ සංවිධානයට බියෙන් ජීවත්වන බවයි. ඔහු එවකට රුදී සිටි හෝටල කාමරයේ දොරට කොට්ට තබා තදතර තිබුනේ පිටතට කිසිදු හඬක් නොයන පරිදි ය. ඔහු සිය පරිගණකයට රහස් පදය ඇතුල් කළේ ආලෝකය ඇතුළට ගමන් නොකරන රතු රෙද්දකින් වසා ගෙන ය.

තමා වැනි පුද්ගලයින් පිළිබඳව ඔත්තු සේවාව කල්පනා කරන්නේ උසාවියේ නඩු පවරනවාට වඩා  අතුරුදහන් කිරීම වඩා ප‍්‍රයෝජනවත් කියා යැයි ස්නෝඩන් කියන්නේ අත්දැකීමෙනි.

ඔහු දැන් රහසිගතව කොහි හෝ ජිවත් වෙයි. නමුත් ඔහු විසින් කැරෙන හෙළිදරව් කිරීම් වා සුලියක් බවට පත් ව තිබේ. මතු පිටින් පෙනෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යටින් ඇති ඇමෙරිකානු රාජ්‍යයයේ ගොර බිරම් බව යළිත් ලොකයට හෙළි කිරීම විසින් ස්නොඩන් දැනටමත් ඉතිහාසීය චරිතයක් බවට පත් වී හමාරය.