ජාත්‍යන්තර රහස් ගිණුම් ලයිස්තුවේ අපේ අයත්

                                        

ජාත්‍යන්තර ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ එකතුව (ICIJ) විසින් හෙළිදරව් කර තිබෙන බදු දැලින් රිංගා රහස් ගිණුම් පවත්වා ගැනීමට හා සමාගම් ආරම්භ කිරීමට හැකි තැන් වලට (tax havens) මුදල් රැගෙන ගොස් තිබෙන ගොන්නට ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයින් හා ආයෝජකයින් මෙන්ම රාජ්‍ය නිළධාරීන්ද සිටින බව අනාවරණය වේ.

බදු දැලින් බේරී බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපත්, කේමන් දූපත්, කුක් දූපත් හා සිංගප්පූරුව යන ස්ථානවල සමාගම් හා රහස් ගිණුම් ආරම්භ කර තිබෙන අයගේ ලයිස්තුවට http://offshoreleaks.icij.org ලින්ක් එක තුළින් ගමන් කළ හැකිය.

මෙම ලයිස්තුවට ලෝකය පුරා මෙවැනි ව්‍යාපාරිකයින් හා ආයෝජකයින් මෙන්ම සමාගම් 100,000 ක් පමණ අයත් වේ.

මෙම ලයිස්තුවට අයත් සියළු දෙනාගේම මුදල් නීත්‍යාණුකූල නොවන ඒවා ලෙසින් නොසැලකේ.

නමුත්, මෙවැනි රහස් ගිණුම් හා සමාගම් පවත්වා ගෙන යාමෙන් යමක් වසන් කිරීමට උත්සාහ කර තිබෙන නිසා තමන්ගේ නිවැරදි භාවය ඔප්පු කිරීමට ඒවා පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍යව ඇතැයි යන කාරණය මෙම රහස් ගිණුම් එලියට පැමිණීමත් සමග ලෝකය පුරා පැන නැගී ඇති මතයකි.

ජාත්‍යන්තර ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ එකතුවේ (ICIJ) අධ්‍යක්ෂ, ජෙරාඩ් රයිල් පවසා තිබෙන්නේ බදු දැලින් රිංගීම, මුදල් විශුද්ධිකරණය හා වෙනත් ජාවාරම් සඳහාද මෙවැනි රහස් ගිණුම් හා සමාගම් පවත්වාගෙන යාම අනුබල ලබාදෙන බවයි.

මේ අනුව, අනාවරණය කර තිබෙන මෙම දත්ත ලයිස්තුව මගින් එවැනි වංචාවල සුලමුලද සොයාගත හැකිවනු ඇතැයි හෙතෙම පවසා තිබේ.