දූෂකයෝ වේදිකාවේ කථා පවත්වති



Hey Geneva! අපි දැන් මරන්නේ නෑ ලංකාවේ රජයේ හමුදා විසින් හමුදා භාර‍යේ සිටිය දී ලිංගික වධහිංසාවට හා දූෂනයට ලක්කල දෙමල ජාතික පුද්ගලයින් පිලිබද තොරතුරුසහිත වාර්තාවක් Human Rights Watch සංවිධානය විසින් ප්‍රකාශයට පත්කොට තිබේ. මෙම වාර්තාවේ එලෙස දූෂනයට ලක්කල පුද්ගලයින් 75 දෙනෙක් පිලිබද විස්තර ඇත. ඉන් 31 ක් පිරිමි අයවලුන්ය.41 ක් කාන්තාවන් වන අතර තිදෙනෙක් ලමුන්ය. 

දැනට දේශපාලන රැකවරන පතා විදේශගතව සිටින හිටපු රැදවියන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡා ඇසුරිනි මෙම වාර්තාව සකස් කොට තිබෙන්නේ. දූෂනයට ලක්වූ පිරිමි රැදවියෙක් උක්ත වාර්තාවට දෙන ලද ප්‍රකාශයකින් උපුටා ගත් කොටසක් මෙසේය.- " පලමු ප්‍රශ්න කිරීමේ දී හමුදා නිලධාරීන් මට නිර්වස්ත්‍ර වීමට බල කලා. ඉන්පසු එක් අයෙක් ඔහුට මුඛ සංසර්ගයක් ලබාදෙන ලෙස බලකලා. පසුව මා මතට පැමින ඔහු මා දූෂනය කලා. ප්‍රශ්න අසන අතරවාරයේ නිලධාරීන් මාගේ වෘෂන කෝෂ මිරිකීම සිදුකලා. ඔවුන් ඉදිරියේ ස්වයංවින්දනයේ යෙදෙන ලෙස ඔවුන් බල කල අතර එක් අයෙක් බලෙන් මා ස්වයංවින්දනයේ යෙදවූවා"

 දූෂනයට ලක් වූ කාන්තා රැදවියෙක් විසින් ලබාදුන් විස්තරයේ කොටසක් මෙසේය - "නිලධාරීන් යකඩ බට වලින් හා වැලි පිරවූ ප්ලාස්ටික් බට වලින් මට පහර දුන්නා. ඔවුන් දිගටම එල්ටීටීඊය හා මා අතර තිබූ සම්බන්ධතා ගැනත් පිටරටදී මා කල කී දෑ ගැනත් ප්‍රශ්න කලා. ඔවුන් මාව පඩිපෙලක් දිගේ රැගෙන ගොස් වෙනත් කාමරයකට දැම්මා. එහිදී පස් වතාවක් මා නිලධාරීන් පිරිසක් අතින් දූෂනයට ලක්වුනා. මේ අය සිංහල කථා කල අතර සිවිල් ඇදුමින් සැරසී සිටියේ. ඔවුන් කී බො‍හෝ දේ මට තේරුනේ නැහැ. ඔවුන් වාරයෙන් වාරයටයි මා දූෂනය කලේ. පලමු වතාවේදී මා කලාන්ත වූ බව මට මතකයි. නැවත සිහිය එද්දී මගේ ජනනේද්‍රීයෙන් රුධිරය වහනය වෙමින් තිබුනු අතර මට දැඩි වේදනාවක් දැනුනා" 

 තමා මුහුන දුන් අත්දැකීම් පිලිබද ඒ ඒ වින්දිතයින් සිදුකරන මෙවැනි ප්‍රකාශ ගනනාවක් මෙම වාර්තාවේ අන්තර්ගත වන්නේය. මෙම වාර්තාවට සාක්ෂි සපයා ඇති බොහෝ දෙනා යුද්ධය අවසන් වූවාට පසු එල්ටීටීඊ සැකකරුවන් වශයෙන් සලකා පැහැර ගැනීමට ලක්වූවන්ය. තමන් එල්ටීටීඊයට සම්බන්ධ ව සිටි බවට සහතික කරන ලියවිල්ලකට අත්සන් කරන ලෙස බලකරමින් මොවුන්ට වධ පමුනුවා ඇති අතර ඔවුන් එසේ අත්සන් කල විට සාමාන්‍යයෙන් ලිංගික වධදීම් නතර කරන ලද බව කියැවේ.

 රදවාගැනීමට ලක්වූ බොහෝ පිරිමි රැදවියන්ව ගුද සංසර්ගය සදහා බලහත්කාරයෙන් යොදවාගෙන තිබේ.මේ සමහර සිදුවීම් සිදුවී තිබෙන්නේ කොලඹ ත්‍රස්ත විමර්ශන අංශයේ ( TID) හා අපරාධ විමර්ශන කොට්ටාශයේ (CID) ගොඩනැගිලි තුලදීය.

HRW සංවිධානය වාර්තා කරන පරිදි සාකච්ඡාවට භාජනය කල වින්දිතයින් ‍බහුතරය දැනට පශ්චාත් ව්‍යාධිමය පීඩන මානසිකත්වයකින් පීඩා විදිමින් සිටිති. මෙම වාර්තාව විසින් ලංකා රජයට එල්ල කොට තිබෙන චෝදනාව අතිශය බරපතලය. දැන් සිංහල ජාතිහිතෛශීන් මෙසේ ප්‍රශ්න කිරීමට ඉඩ තිබේ. අමෙරිකානු සොල්දාදුවන් ගුවන්තනමෝ බේ සිරකදවුරේදී ඇෆ්ගනිස්ථාන රැදවියන්ට එරෙහිව ලිංගික වධදිම් සිදුකලා.ඉතින් අපි කලාම විතරද වැරදි?

 ජාතිහිතෛශී හෙරොයින් දුම ආඝ්‍රානය කල විට පලමුව සිදුවන දෙය වූ කලී මනුෂ්‍යත්වය පිලිබද සවිඥානිකත්වය ගිලිහී යාමයි. අමෙරිකානු "රනවිරුවෝ " මුස්ලිම් "ත්‍රස්තවාදීන්ට" එරෙහිව ලිංගික අපරාධ සිදුකලේ ත්‍රස්තවාදීන් යනු මිනිස් අයිතිවාසිකම් රහිත අර්ධ මිනිස් විශේෂයකි යන ‍ජෝර්ජ් බුෂ් සූත්‍රය අනුගමනය කරමිනි. සිංහල රනවිරුවෝත් ජාතිහිතෛශී චින්තනය ප්‍රකාරව සිදුකොට තිබෙන්නේ එම අපරාධයම නොවේද? 

 වධ හිංසා කිරීමේ දී පීඩනයට ලක්වන්නාගේ මානව ගෞරවය බිදහෙලී ඔහුගේ මනුශ්‍යභාවය අවප්‍රමානය වනවා පමනක් නොවේ.වධ පමුනුවන්නා වින්දිතයාට තිරිසන් වධ පැමිනවීම මගින් තෙමේම තමාගේම මනුශ්‍ය සාරය අහිමි කරගනී.HRW වාර්තාව වැනි සාක්ෂි මගින් පෙනී යන්නේ මෙම අවමානුශිකත්වය හමුදාව වැනි රාජ්‍යයේ මර්ධක අවයව තුල ආයතනගතවී ඇති ආකාරයයි. 

 දෙමල තරුන තරුනියන්ට එරෙහිව පමනක් නොව 71 හා 88/89 යුගවලදී සිංහල ‍යෞවන යෞවනියන්ට එරෙහිවද මිලිටරි නිලධාරීහු ලිංගික වධහිංසා භාවිතා කලහ. එල්ටීටීඊය හා පැවැති යුද්ධයේදී සාමාන්‍ය ගැහැනුන්ට එරෙහිව හමුදා සෙබලු ලිංගික හිංසනය යොදාගත් අවස්ථා පිලිබද අපකීර්තිමත් ඉතිහාසයක් පවතී. 1997 දී දූෂනය කරනු ලැබ යෝනි මාර්ගයේ ග්‍රෙනේඩයක් අටවා පුපුරවා මරා දමන ලද මුරුගේසුපිල්ලේ කෝනේශ්වරීගේ කථාව, 2000 දී මීගමුව‍ පොලිස් ස්ථා‍නයේදී මිරිස් තැවරූ කෙහෙල්මුව කැබැල්ලක් යෝනිය තුලට ඇතුලුකොට පොලිස් භටයින් විසින් දූෂනය කල යෝගලිංගම් විජිතාගේ කථාව 

මෙවැනි වාර්තා වූ හා නොවූ දහස් ගනන් කථාවලට උදාහරනයෝය. මෙබදු අපරාධ සිදුවූ බව අපගේ සමාජය පිලිගන්නේ කවදාද? හමුදාව යනු තේජාන්විත ගෞරවනීය සංස්ථාවක් නොව අවමානුශිකත්වය ආයතනගත වූ ගර්හිත ආයතනයක් බව අපගේ සමාජය වටහා ගන්නේ කවදාද? 

ඉන්දියාවේ කල්ලියක් අතින් සමූහ දූෂනයට ලක්වූ තරුනිය වෙනුවෙන් තෙත් වූ දෑස් හමුදාව විසින් දූෂනය කල සහෝදර දමිල ජාතිකයින් වෙනුවෙන් තෙත් වන්නේ කවදාද? ඊයේ මරාදැමූ බාලචන්ද්‍රන්ගේ මලසිරුරය. අත්අඩංගුවට ගනු ලැබූවන් වෙඩි තබා මරා දමන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනය. අද දූෂනය කරනු ලැබූ රැදවියන් පිලිබද සාක්ෂි වාර්තාය.හෙට තව කවර නම් සාක්ෂියක් මතු වනු ඇද්ද? 

 නන්දිකඩාල් ඛේදවාචකය යනු කොසෝවෝ ඛේදවාචකය තරම්ම සාහසික වූවකි. මානුශික මෙහෙයුම් හා රට බේරා ගැනීම් පිලිබද දෘෂ්ටිවාදී කථාන්දර වලින් මෙම සත්‍යය වසා දැමිය නොහැක. එම සත්‍යය ඉතිහාසයේ සටහන් වනු නතර කිරීමට මිහිපිට ඇති කිසිදු බලවේගයක් සමත් නොවනු ඇත.