ජීවිතය කියන්නේ පුනරුත්තියක්

 චාලි චැප්ලීන් 


කුඩා හිස් වැස්මකුත්, ඇඟට ම සිර වූ කබායකුත්, විශාල කලිසමකුත්, වැහැරී ගිය සපත්තු යුවළකුත් පැලඳ බස්තමක් අතින් ගෙන පාත්තයකු මෙන් ඇවිදින ඔහු කුඩා උඩු රැවුළක් සහිත කුඩා මිනිසෙකි. එය ලෝක ප්‍රහසන චිත්‍රපට කලාවේ අනන්‍ය ලක්ෂණයක් බවට පත් වූ චාලි චැප්ලීන් නම් අසහාය රංගන ශිල්පියා විසින් නිර්මාණය කරන ලද “රස්තියාදුකාරයාගේ” චරිතයේ ගති ලක්ෂණයයි.
1889 අපේ‍්‍රල් මස 16 වන දා අන්ත දුගී බ්‍රිතාන්‍ය පවුලක උපත ලබන සර් චාර්ල්ස් චැප්ලින් අනේකවිධ දුක් ගැහැට විඳ අනතුරු ජීවිතය ජය ගත් දිරිය මිනිසෙකි. වසර හැත්තෑ පහකට අධික කාලයක් මුළුල්ලේ තම රසිකයා පිනවීමේ ප්‍රමුඛ බලවේගය බවට පත් වූ ඔහු මෑත යුගයේ පහළ වූ කෘරතම දේශපාලන නායකයා ඇඩොල්ෆ් හිට්ලර් ගේ දේශපාලන මතවාදය ද හාස්‍යයට ලක් කිරීමට තරම් නිර්භය වූයේ ය.
ප්‍රහසනය යනු හුදු පේ‍්‍රක්ෂකයා පිනවීම පමණක් නොව, සමාජ විපරිතයක් සඳහා යොදා ගත හැකි තියුණු ආයුධයක් යැයි ලොවට පසක් කළ චැප්ලීන් 1972 දී වැනීසි චිත්‍රපට උලෙළේදීත්, වසර ගණනක් පුරා ඇකඩමි සම්මාන උලෙළේදීත් සම්මාන රැසකට හිමිකම් කීමට සමත් වූයේ ය. කිසිදා තවකකු අනුකරණය කොකළ ඔහු 1977 දෙසැම්බර් 25 වනදා මෙලොවින් සමු ගනුයේ තවකකුට අනුකරණය කිරීමට නොහැකි චිත්‍රපට සම්ප්‍රදායක් ලොවට දායාද කරමිනි.

Richard Meryman විසින් කරන ලද දුර්ලභ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගන්නා ලදි.
මේ සම්මුඛ සාකච්ඡාව මුළුමනින් ම අවධානය යොමු කරන්නේ ඔබේ නිර්මාණ සහ ඔබේ කලාව පිළිබඳ පමණයි. එම නිසා මා හට අවශ්‍යයි, ඔබ නිර්මාණකරණයෙහි යෙදෙන ආකාරය පිළිබඳ යම් අදහසක් පාඨකයාට ලබා දීමට.
මගේ චරිතය සම්පිණ්ඩනය කළ හොත්, මං මගේ නිර්මාණ පිළිබඳ දැඩි ලෙස සැලකිලිමත් වන බව කිව හැකියි. මා කරන සෑම දෙයක් පිළිබඳව ම මම දැඩි ලෙස සැලකිලිමත් වෙනවා.

ඔබ “රස්තියාදුකාරයාගේ” චරිතයේ බාහිර ස්වරූපය නිර්මාණය කළ ආකාරය පිළිබඳ යමක් කීවොත්?
එය සිද්ධ වූයේ අහම්බෙන්. මගේ කැමරා ශිල්පියා මා හට කීවා හාස්‍යජනක අංග රචනයක් කරන ලෙස. එහෙත් එය කෙසේ කළ යුතු දැයි යන්න පිළිබඳ කිසිඳු අදහසක් මා තුළ තිබුණේ නැහැ. ඇඳුම් - පැලඳුම් අංශයට ගමන් කරන අතරතුර කල්පනාවට වැටුණා. අවසානයේ මා තීරණය කළා හැම දෙයක් ම ප්‍රතිවිරුද්ධ ලෙස කළ යුතු යැයි කියා. එල්ලා වැටෙන කලිසම, ඇඟට තද වුණු කබාය, විශාල හිස, කුඩා තොප්පිය සමඟ එම චරිතය වැරහැලි ඇඳ ගත් මහත්මයකු බවට පත් වුණා. මගේ මුහුණේ හැඟීම්වලින් දුඞඛදායක සහ බරපතළ බවක් පෙන්විය යුතු යැයි මම තීරණය කළා. චිත්‍රපටය හාස්‍යොත්පාදක නිර්මාණයක් නිසා මා හට එය සඟවා ගැනීමට අවශ්‍ය වුණා. එම නිසා මම කුඩා රැවුල් කැබැල්ලක් තෝරා ගැනීමට අවශ්‍ය වුණා.


ඔබ නිර්මාණය කළ චරිතය නැවත නැරැඹීමේ දී ඔබට ඇති වුණු ප්‍රථම හැඟීම කුමක් ද?
මූලික ව මා හට එමඟින් කිසිඳු අමුතු හැඟීමක් ඇති වූයේ නැහැ. නමුත් කැමරාව ඉදිරියේ එය රඟ දැක්වීමට සූදානම් වන විට යම් චකිතයක් දැනුණා. ප්‍රථම එළඹුම ලෙස මා හට හොඳින් හැඳ පැලඳ ගත් කලෙක මෙන් හැඟීමක් ඇති වුණා. එමඟින් මා හට රංගන ලීලාවක් ඇති වූ අතර ඒ හරහා චරිතය මා වෙත පැමිණියා. නමුත් ඉන් පසුව මා කළ නිර්මාණවල චරිත සියල්ල එම ආකෘතියට ම ඇතුළත් කර ගත්තේ නැහැ. නමුත් මා එක් දෙයක් නම් දිගින් දිගට ම භාවිත කළා. එනම් විශාල සපත්තු පැලඳීමයි. මගේ කකුල් කුඩා නිසා මා සිතුවා, විශාල සපත්තු පැලඳීමෙන් මා හට උපහාසය ළඟා කර ගත හැකි වේ යැයි කියා.


ඔබ සිතනවා ද එම චරිතය නූතන සමාජයට ගැළපේ යැයි කියා?
මා සිතන්නේ නැහැ, වර්තමානයේ එවැනි පුද්ගලයකුට කිසිදු ඉඩක් ඇතැයි කියා. දැන් ලෝකය තරමක් සංකීර්ණ වී තිබෙනවා. එම චරිතය එවැනි ලෝකයක තව දුරටත් හාස්‍යයට කරුණක් නොවෙයි. දැන් සිටින සමහර කොල්ලන් එලෙස හැඳ - පැලඳගෙන රස්තියාදුකාරයන් මෙන් සිටීමට උත්සාහ කළත් ඔවුන් තුළ එම චරිතය තුළ තිබූ යටහත් - පහත්කම දැක ගත නො හැකියි. ඔවුන් දන්නෙ නැහැ, යටහත් - පහත්කම, නිහතමානීකම යනු කුමක් ද කියා. එම නිසා ඉහත සංකල්පය දැන් යල් පැනගිය දෙයක් බවට පත්ව තිබෙනවා.

ඔබ සිතනා ආකාරයට, එම චරිතයේ තිබෙන ආකර්ෂණීය බව කුමක් ද?
අවංක, නිහඬ දුප්පත්කම. ඕනෑම දුප්පත් මනුස්සයෙක් කැමතියි හොඳින් හැඳ පැලඳගෙන ජේත්තුකාර ලෙස ජීවත් වීමට. සෑම දෙයක් පිළිබඳව ම පරෙස්සමින් සොයා බලන එම ලක්ෂණයට මා කැමතියි. එහෙත් එය ආකර්ෂණීය උපායක් ලෙස මා කිසි දිනෙක කල්පනා කර නැහැ. රස්තියාදුකාරයාගේ චරිතය මතු වූයේ මා තුළින්මයි. මා පේ‍්‍රක්ෂකාගාරයේ ප්‍රතිචාරයන්ගෙන් ප්‍රමෝදයට පත් වුණත් නිර්මාණයක් කරන විට මා පේ‍්‍රක්ෂකයා පිළිබඳ කල්පනා කරන්නේ නැහැ.

ඔබට චිත්‍රපටයක සිද්ධීන්හි පෙළගැස්ම මනසට එන්නේ ඉබේම ද? නැත්නම් නිශ්චිත ක්‍රියාවලියකින් පසුව ද?
එහි කිසිම ක්‍රියාපටිපාටියක් නැහැ. කිසියම් සිද්ධියක් ආශ්‍රයෙන් තමයි හොඳ ම අදහස මතු වන්නේ. ඔබට හොඳ හාස්‍යොත්පාදක සිද්ධියක් ලැබුණු විට එය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අවසානයේ කිරණ විහිදුවමින් බැබළෙනවා. කෙසේ වෙතත් මා බොහෝ පීඩාවට පත්වූ අවස්ථා ද තිබෙනවා. කිසිවක් කර ගත නොහැකිව මා අධෛර්යයට පත් වූ දින තිබුණා. පේ‍්‍රක්ෂකයා හිනැස්සීමේ භාරදූර කාර්යය පැවරී තිබෙන්නේ මටයි. එහෙත් හොඳ සිද්ධියක් නොමැතිව ඔබට විහිළුවක් නිර්මාණය කළ නොහැකියි.

ඔබ මේ දේවල් මිනිසුන් කරනු දැක තිබෙනවා ද? එසේත් නැත්නම් මේ සියල්ල පරිකල්පනික දේවල් ද?
මා මගේමය කියා ලෝකයක් තනා ගන්නවා. මගේ ලෝකය වුණේ කැලිෆෝනියාවල පිහිටි මැදිරියයි. එහිදී මා වඩාත් සතුටට පත් වන්නේ දර්ශන තලය තුළ රඟ දැක්වීමට හොඳ අදහසක් මා තුළ උපදින විටකයි.

යථාර්ථවාදය ප්‍රහසනය තුළ තිබෙන අත්‍යවශ්‍ය සාධකයක් ද?
අනිවාර්යයෙන් ම. මා සිතනා ආකාරයට යමක් පිළිබඳ විශ්වාසය දැනවීමට නම් ඔබට අමුතු සංසිද්ධියක් අවශ්‍ය කරනවා. ඔබ එයට අනුකූලතාව දක්වන්නේ පූර්ණ යථාර්ථවාදයක හිඳිමිනුයි. පේ‍්‍රක්ෂකයා මෙය හොඳින් දන්නවා. අදාළ සිද්ධිය ඔවුන්ට බොහොම යථාර්ථවාදී වන අතර ම එය පවත්නා න්‍යායට විරුද්ධයි. එමඟිනුයි ඔවුන් තුළ ප්‍රමෝදයක් හට ගන්නේ.

ක්‍රෑරත්වයත් යථාර්ථවාදයේ එක් ලක්ෂණයක් නේද?
ක්‍රෑරත්වය යනු ප්‍රහසනය තුළ මූලික සංකල්පයක්. කෙනෙකුට පෙනෙන ආකාරයට යම් සිද්ධියක් යුක්තිසහගත සේ පෙනුණත් එතුළ මහා අයුක්තියක් ගැබ් වී තිබෙන්නට පුළුවන්. එය පේ‍්‍රක්ෂකයාට හෘදයංගම ලෙස ඉදිරිපත් කිරීමට හැකි නම් ඔවුන් එයට ආදරයෙන් වැලඳ ගනීවි. පේ‍්‍රක්ෂකයා එය වැලඳ ගන්නේ තම ජීවිතයේ උපහාසයක් ලෙස මිස එමඟින් මිය යාමට හෝ කඳුළු සැලීමට නොවෙයි. උදාහරණයක් ලෙස මහලු මිනිසෙක් කෙසෙල් ලෙල්ලක් පෑගී මහමඟ ඇද වැටෙනවා. අපි ඔහුට සිනහ වන්නේ නැහැ. නමුත් බොහොම ආඩම්බර, උද්ධච්ඡ මිනිහෙකුට එවැන්නක් සිද්ධ වුණොත් අපි ඔහුට සිනහ වෙනවා. මිනිසා අපහසුතාවට පත්වන ඕනෑම සිද්ධියක් හාස්‍යජනකයි.

ඔබ පුනරුච්ඡාරණය පිළිබඳ සැලකිලිමත් වෙනවා ද?
නැහැ. මන්ද ජීවිතය කියන්නෙම පුනරුක්තියක් නිසා. ජීවිතය තුළ ඔබට කිසිදු අපූර්වත්වයක් අත්විඳිය නොහැකියි. ඔබ කරන්නේ දවසට තුන් වරක් ආහාර ගෙන තවකකු සමඟ ආදරයෙන් වෙළිම සහ ආදරය බැහැර කිරීම පමණයි. ආදර කතාවක් තරම් පුනරුක්තියක් තවත් නැහැ. පේ‍්‍රක්ෂකයා එය සිත්ගන්නාසුලු දෙයක් ලෙස වැලඳ ගන්නා තුරු පේ‍්‍රම වෘත්තාන්තය දිගින් දිගට ම ගලාගෙන යා යුතුයි.

හසිත පෙරේරා