පාරාවෝ රාජපක්ෂගේ එතනෝල් ජාතකය

මහා මහින්ද පාරාවාද මත්තල විවෘත කරමින් කීවේ ‘‘ණය ගන්නේ කන්න නෙවෙයි’’ කියාය. ඔහු එසේ කීවේ රටේ ජනතාව කන්නම ණය වෙන රටකය. ගත් ණය ගෙවන්නේ රාජපක්ෂ පාරාවරු නොවේ. රටේ ජනතාවය. මැදමුලනේ පාරාවරු මහා ව්‍යාපෘති හරහා කොමිස් ගිලිද්දී බඩගින්නේ සිටින ජනතාවට කියන්නේ ණය ගන්නේ කන්න නෙවෙයි කියාය.
 
 චින්තන පොත්ගෙඩියේ ඉදිරි දැක්මේ හෙළුවද මෙසේය. දැයම වනසන මේ උපාසක බළලූන්ට එරෙහිව ජනතාවට කරුණු කියන යතිවරුන් කොහි ගියේද? පූජකයෝ කොහි ගියේද? සංවේදී කලාකරුවෝ කොහි ගියේද? දේශමාමකයෝ කෝ කොහිද?
බොහෝ රටවල පාලකයන් රජවරුන් ලෙස හඳුන්වනු ලැබූ යුගයේ මිසරයේදී ඔවුන්ව හඳුන්වනු ලැබුවේ ‘‘පාරාවෝ’’ යනුවෙනි. ඒ අන් කිසිවක් නිසා නොව මිසර රජවරුන් අතිවිශාල මාලිගාවල වාසයකළ නිසාවෙනි. පාරාවෝ යන්නෙහි තේරුම ‘‘ලොකු ගෙය’’ යන්නය. මිසරයට අයත් වටිනාම දේ පාරාවෝවරුන්ගේ බූදලයය. හොඳම ආහාර ඔවුන්ටය. රන් මිනි මුතු ඔවුන්ටය. හොඳම පෙදරේරුවෝද, ලස්සනම ලලනාවෝද, කලා නිර්මාන මෙන්ම කලාකරුවෝද පාරාවෝවරුන්ට සේවය කළ යුතුය. මොවුන්ට අයත් මාලිගාවලට ඇතුළු වූවෙකුට එහි අතරමං නොවී සිටීමට නොහැකි තරම් විශාලය. පාරාවෝවරුන් අමතන්නේ නම් සාමාන්‍ය ජනයා විසින් වචන තුනක් කියවිය යුතුය.
නීරෝගී වේවා! බලසම්පන්න වේවා! ශක්තිමත් වේවා! යන්න එම වචන තුනය. පාරාවෝවරු මෙසේ මිහිපිට දිව්‍ය විමානවල වාසය කළේ මිසර වැසියන් නොකා නොබී හෝ ඔවුන්ට බදු ගෙවූ නිසාවෙනි. පාරාවෝවරු අතරමං වන තරම් සුවිශාල මාලිගාවල සිටියදී ජනතාව සිටියේ හිසට වහලක් නැතිවය. පාරාවෝ දිව්‍ය භෝජන වළඳද්දී ජනතාවෝ නිරාහාරව සිටියෝය. පාරාවෝ රජවරුන්ගේ සේනාව රජුට ලුණු රැස්කරදී ඔවුන් කිව්ලෙන් කෑහ. පාරාවෝ කෙනෙකු මියගිය විට ඔවුන්ගේ සිරුර බෙහෙත් ගල්වා ගලෙන් තැනූ පෙට්ටියක තැන්පත් කළෝය. සියලූ වස්තු සම්භාරය සමග ඔවුන් වෙනුවෙන් පිරමීඩ ඉදිකළහ. මරණයෙන් පසුව පවා පාරාවරුන්ට විශාල ගෙයක් හිමිවිය. යස ඉසුරු හිමිවිය. දුප්පත් මිනිසකු මියගිය පසුව වළක් කපා වැළලූවේය. පාරාවෝවරුන්ට මහා කන්දක් තරම් විශාල සොහොන් ගෙයකි. එයට අඩුම තරමින් හෙක්ටයාර් 2000ක් වත් අයත්ව තිබිණි. ‘‘වසර හාරදහසක මිසර අතීතය’’ ඊජිප්තු බසින් රුසියන් බසට නැගුවේ සැමුලූල්ලා පින්ගැරට් විසිනි. එය රුසියන් බසින් ඉංග‍්‍රීසියට පරිවර්තනය කළේ ‘‘ලින්ඩා නොබෙල්’’ විසිනි. ලින්ඩා නොබෙල්ගේ කෘතියේ පාරාවෝවරුන්ගේ කෙරුවාව එසේය. මෙවැනි යුගයක නම් ‘‘පාරාවෝ’’ යනු යක්ෂ ඒකාධිපතියන්ය. දුෂ්ට පාලකයන්ය. ලින්ඩා නොබෙල් එසේ පවසා තිබේ.
ලොකු නැතත් ලොකුම දේ යැයි සිතන, බලූ වටින්නේ නැතත් වටිනාම දේ යැයි සිතන ජනතාවගේ බදු මුදල්වලින් ගොඩනැගූ දෑ තමන් විසින් කළා යැයි තමන්ගේ නමින්, පරපුරේ නමින් පර්වත මත කොටා තබන ‘‘පාරාවෝවරු’’ අදත් සිටිති.
කන්න නැතිව ජනතාව බඩගින්නේ සිටියදී පාරාවෝවරු ජනතාවට කිව්වේ මාලිගා තනන්නටය. උන්ගේ මෘතශරීර වෙනුවෙන් පිරමීඩ තනන්නටය. ‘‘මිසර වැසියන් මිහිපිට කිසිවෙකුට දෙවැනි නොවේ. පාරාවෝ වෙනුවෙන් ඉදිකරපල්ලා.’’ පරාවෝවරු ජනතාවට කීවෝය.
මහා මහින්ද පාරාවාද මත්තල විවෘත කරමින් කීවේ ‘‘ණය ගන්නේ කන්න නෙවෙයි’’ කියාය. ඔහු එසේ කීවේ රටේ ජනතාව කන්නම ණය වෙන රටකය. ගත් ණය ගෙවන්නේ රාජපක්ෂ පාරාවරු නොවේ. රටේ ජනතාවය. මැදමුලනේ පාරාවරු මහා ව්‍යාපෘති හරහා කොමිස් ගිලිද්දී බඩගින්නේ සිටින ජනතාවට කියන්නේ ණය ගන්නේ කන්න නෙවෙයි කියාය. මිසර පාරාවරුන්ගේ භාවිතාව මැදමුලන පාරාවරුන්ට ලැබී තිබේ.
2005 මේ ‘‘පාරාවෝ රාජපක්ෂ’’ බලයට එන්නේ චින්තන පොත් ගෙඩියක්ද රැගෙනය. එහි මුල් පරිච්ඡේදයට වෙන්කෙරී තිබුණේ ‘‘විනය ගරුක සමාජයක්’’ උදෙසාය. එහි පළමු උදාරතර මාතෘකාව වූයේ ‘‘මතට තිත’’ තැබීම පිළිබඳවය. නැගුනේ මහා ඝෝෂාවකි. ‘‘නීතිය, පොලිසිය හා සමාජ ආයතන සම්න්ධීකරණය කරමින් ශ‍්‍රී ලංකාවේ මත්කුඩු උවදුර වසර තුනකින් සහමුලින්ම පිටුදැකීමට කටයුතු කරන බවත් ‘‘විෂ මතට’’ එරෙහිව ස්වේච්ඡා සංවිධාන, ආගමික සිද්ධස්ථාන සහ පාසල් දරුවන් විසින් ගෙනයන දැනුවත් කිරීමේ සහ අධ්‍යාපනික වැඩසටහන් සඳහා රජයේ මූල්‍ය අනුග‍්‍රහය ලබාදෙමින් මත් උවදුර පිටුදැකීම සඳහා අධිෂ්ඨානශීලීව කැපවන බවද පාරාවෝ මහින්ද රජා කීවේය. මේ නිසාම මේ රජාට ගරු නම්බු නාමද හිමිවිය. ‘‘ශ‍්‍රී රෝහණ ජනරංජන’’, ‘‘සාසන බන්ධු’’, ‘‘විශ්ව කීර්ති ශ‍්‍රී ත‍්‍රී සිංහලාධීෂ්වර’’ඒවායින් කිහිපයකි. තවත් නහුතයක් උපහාරද පිදිණි. දැන් මතට තිත පොරොන්දුවට මෙන්ම එකී මුල් චින්තන පොත් ගෙඩියටද වසර අටක් සපිරී ඇත. ලැබූ අස්වැන්න කෙබඳුද? කොම්පඤ්ඤවීදියේදී රුපියල් කෝටියක් මහ දවල් මංකොල්ලකෑවේ පොලිස් වෙසින් පොලිසියමය. විනයගරුක සමාජය නිරුවත් විය. ඊළඟට වසර සියයක සුරාබදු ඉතිහාසයේ දැවැන්තම එතනෝල් තොගය නොහොත් හොර අරක්කු නිෂ්පාදනය සඳහා යොදාගන්නා ස්ප‍්‍රීතු තොගය ඉකුත් මාර්තු 13 වැනි දින තොටළඟ ඉඟුරුකඬේ මංසන්ධියේදී සුරා බදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය. මතට තිතේ හෙළුව තිතටම පෙනුනේය. රට මුලා කිරීමට මහින්ද චින්තන මුල් පොත්ගෙඩියට ‘‘මතට තිත’’ ඇතුළත් වුණත් එහි ඉදිරි දැක්මෙන් ‘‘මතට තිත’’ හැලූනේය. ඒ වගත් මෙසේ යැ. ආණ්ඩුවේ හීනය 2016 දී සංචාරකයන් ලක්ෂ 25ක් ආකර්ෂණය කරගැනීමය. ඒ සඳහා හෝටල් කාමර 45,000ක් ගොඩනැගීමය. වටපිටාව සූදානම් කළයුත්තේ එයටය. එවැනි වටපිටාවකට මතට තිත බම්බු ගහන්නද? ආණ්ඩුව එසේ කල්පනා කරන්නට ඇත. සංචාරක හීනය දිනීමට නම් සුරාව, සූදුව, ගණිකා වෘත්තිය නීතිගත කරන්නට දඟලන රටක ‘‘මතට තිතෙන්’’ ඇති ඵලය කිම?
ආනයන හා අපනයන (පාලක) වරයා විසින් 1969 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ එතනෝල් ස්ප‍්‍රීතු මෙරටට ගෙනඒම තහනම් කරනු ලැබුවේ ඉකුත් පෙබරවාරි 28 වැනි දිනය. 80%ක් හෝ ඊට වැඩි මද්‍යසාර ප‍්‍රමාණයක් ඇති ස්වභාවය ‘‘වෙනස් නොකළ’’ ඊතයිල් මද්‍යසාරය කවර හෝ ප‍්‍රමාණයන්ගේ ස්වභාවය ‘‘වෙනස්කළ’’ ඊතයිල් මද්‍යසාරය අනෙකුත් ස්ප‍්‍රීතු වර්ග සහ සුරාබදු ආඥා පනත යටතේ පනවන ලද නීති රීතිවලට අනුව ස්වභාවය වෙනස්කළ ස්ප‍්‍රීතු ආනයනය මෙසේ තහනම් කරන ලදී.
එසේ තහනම්කර තිබියදී තොටළඟ මංසන්ධියේදී ඉකුත් 13 වැනි දින අත්අඩංගුවට ගත්තේ 96%ක අධි සැර මද්‍යසාර ස්ප‍්‍රීතු තොගයක් බව සුරාබදු විශේෂඥයන් පෙන්වාදෙනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගත්තේ කන්ටේනර් දෙකක පටවන ලද ලීටර් 210 යේ බැරල් 315කි. එතනෝල් ස්ප‍්‍රීතු ලීටර් 65100 කි. 2005 වසරේ සිටම මෙරටට එතනෝල් ආනයනය ජයටම කෙරුණේය. වසරකට ලීටර් මිලියන 20ක් බැගින් ගෙන්වා තිබේ. ඒ නිත්‍යනුකූල තත්වයන් යටතේය. ‘‘මතට තිත’’ අවංකව ක‍්‍රියාවේ යෙදවීමට ජනරංජන වෝහාරපති මහින්ද රාජපක්ෂට අවශ්‍ය වුණේනම් ඔහු එය කළයුතුව තිබුණේ අඩුම තරමේ 2006 දී හෝ 2007 දී වත්ය. එහෙත් මේ පිංවත් පියා හොර පාරෙන් එතනෝල් ගෙන්වීමට ඉඩ දී රටට පෙනෙන්නට 2013 පෙබරවාරි 28 වැනිදා එතනෝල් ගෙන්වීම තහනම්කළ බව ප‍්‍රකාශයට පත්කළේය.
එතනෝල් ගෙන්වීම සඳහා බලපත‍්‍ර නිකුත් කරන්නේ මුදල් අමාත්‍යංශය යටතේ පවතින ආනයන පාලන දෙපාර්තමේන්තුව විසිනි. මුදල් ඇමැතිවරයා මහින්ද රාජපක්ෂය, ශාසන බන්දු, රෝහණ කීර්ති ජනරංජන, දේශබන්ධු මහින්ද රාජපක්ෂය. 2012 වසරේ සමාගම් 39ක් සඳහා එතනෝල් ගෙන්වීමට බලපත‍්‍ර 150ක් ලබාදුන්නේ මේ මහින්ද රාජපක්ෂය. 2013 වසරේ ජනවාරි සිට මාර්තු 17 දක්වා කාලය තුළ එතනෝල් ගෙන්වීමට බලපත‍්‍ර 12ක් නිකුත්කර ඇත්තේද මුදල් ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂය. ‘‘මතට තිත’’ බල්ලට ගියේ එසේය.
2012 වසරේ නිත්‍යනුකූල තත්වයන් සපුරමින් පෞද්ගලික අංශය මගින් එතනෝල් ලීටර් ලක්ෂ 20ක් මෙරටට ආනයනය කර තිබේ. එම වසරේ සංඛ්‍යාලේඛනවලට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සඳහන් කරන්නේ මත්ද්‍රව්‍ය සඳහා වසරකට රුපියල් කෝටි පහළොස්දහස් දෙසිය පහක් (15,205* නාස්ති කරන බවයි. මින් පෙනෙන්නේ කුමක්ද? රටවැසියා තිතට මත්වී ඇති බවය. ලැබූ අස්වැන්න කෙසේද? 2012 වසරේ විස මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයෝ 419කට වැඩි පිරිසක් මියගොස් තිබිණි. මාධ්‍ය වාර්තා අනුව විස මත්පැන් පානය කර වෙනත් ලෙඩ රෝගවලට ගොදුරු වී මියගිය සංඛ්‍යාව 15,000 ඉක්මවයි. සුරාවේ ආනිශංසය එසේය. මුදල් ඇමැතිවරයා ලෙස පාරාවෝ රාජපක්ෂ 2010 ඔක්තෝබර් 01 දින සූදු විශේෂ විධිවිධාන පනත සංශෝධනය කළේය. මහා පරිමාණ සූදු ජාවාරම්කරුවන්ට ‘‘සූදු ප‍්‍රදේශ’’, ‘‘සූදු වීදි’’ ඇතිකිරීම සඳහා 2013 වසරේ ජනවාරි සිට බලපත‍්‍ර නිකුත් කෙරිණ. සුරාව, සූදුව හරිය. ඊළඟට ගණිකා වෘත්තියය. ලංකාවේ ගණිකාවන් 37,000ත් 45,000ත් අතර පිරිසක් සිටින බව ලිංගික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පී. වීරසිංහ මහතා 2012 ජුනි 17 වැනි දින පුවත්පතකට ප‍්‍රකාශකොට තිබුණි. ඒඞ්ස් රෝගකාරක HIV ආසාදිත සංඛ්‍යාව 1503 කි. දිනකට අවදානම් සහගත ලිංගික ක‍්‍රියාවල නිරතවෙන සංඛ්‍යාව 150,000ක් බව සමාජ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නාලක අබේගුණසේකර ජුනි 26 පුවත්පතකට ප‍්‍රකාශකොට තිබිණි. තත්වය මෙසේ තිබියදී ආණ්ඩුව වෙහෙසුණේ 2012 වසරේ හෝටල් කාමර 9364ක් ඉදිකිරීමටය. 

මතට තිතේ අට අවුරුදු අස්වැන්න මෙසේය.
කැල් සමීක්ෂණයට අනුව 2011 වසරේ එක පුද්ගලයෙකුගේ මත්පැන් භාවිතය ලීටර් 11.2කි. මේ ලංකාවේය. එම තත්වය  ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, එංගලන්තය හා අමෙරිකාවටත් වඩා වැඩිය. මේ තත්වය නම් ආසියාවේ ආශ්චර්යයම මිස අන් කුමක්ද?
රාජ්‍ය ආදායමෙන් 9%ක් මේ ආණ්ඩුව උපයන්නේ සුරාබදුවලිනි. අනුමාන කර ඇති සංඛ්‍යාලේඛනවලට අනුව 2012 වසරේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය ලීටර් 13.5කි. එහෙත් 2012 වසරේ ඒකපුද්ගල කිරි පරිභෝජනය ලීටර් 1.5කි. 2012 වසරේ සමස්ත මත්ස්‍ය අස්වැන්න ජනතාව අතර බෙදී ගියහොත් එක් පුද්ගලයෙකු පරිභෝජනය කර ඇත්තේ අවුන්ස කිහිපයකි. පසුගිය වසර 05ක කාලය තුළ මෙරටට ආනයනය කර ඇති බිත්තර ප‍්‍රමාණය කිලෝ දසලක්ෂ පනස්දහස් හයසිය තුනකි. තත්වය එසේ තිබියදී 2012 වසරේ නීත්‍යනුකූල හා නොවන තත්වයන් යටතේ දෙකෝටි අටලක්ෂයක් වූ ජනගහනය වෙනුවෙන් මත්පැන් ලීටර් කෝටි විසිඅටදහසක් නිෂ්පාදනය කර තිබේ. චින්තන පොත්ගෙඩියේ ඉදිරි දැක්මේ හෙළුවද මෙසේය. දැයම වනසන මේ උපාසක බළලූන්ට එරෙහිව ජනතාවට කරුණු කියන යතිවරුන් කොහි ගියේද? පූජකයෝ කොහි ගියේද? සංවේදී කලාකරුවෝ කොහි ගියේද? දේශමාමකයෝ කෝ කොහිද?
ලෝක ජනගහනයෙන් මිලියන 850ක් 2007 වසරේ සාගින්නෙන්, දරිද්‍රතාවයෙන් පෙළෙද්දී අමෙරිකා එක්සත් ජනපදය කළේ එතනෝල් නිෂ්පාදනයට යොදාගන්නා බඩඉරිඟු ප‍්‍රමාණය දෙගුණ කිරීමයි. දැන් බඩඉරිඟු නිෂ්පාදනයේ වැඩිම කොටස එතනෝල් නිෂ්පාදනයට යොදාගන්නේද අමෙරිකාවයි. ‘‘ලේවායේ ඉඳගෙන කිවුලෙන් කන්නා සේ’’ අපේ රටේ ජනතාවට සිදුවී ඇත්තේද මැදමුලනේ පාරාවෝවරුන්ගේ සැපත වෙනුවෙන් නොකා නොබී බදු ගෙවන්නටය. පාරාවෝවරු මිදි යුෂ පානය කරන විට මිසරයේ දිළින්දන්ට සිදුවූයේ සකල පිරිපත විඳ එක්රැුස් කරගත් වැසි ජලය පානය කිරීමටය. එයිනුදු කොටසක් බදු ලෙස පාරාවෝවරුන්ට පුදන්නට සිදුවිය. ඉතින් ලූණු කන්නවත් බැරි රටේ ආශ්චර්යය කුමක්ද?
නීතිවිරෝධී ලෙස ඉකුත් මාර්තු 13 වැනි දින තොටළඟදී අත්අඩංගුවට ගත් එතනෝල් තොගය කාගේද? ඒවා ගෙන්වූයේ ‘‘ජොනී වෝකර්ය’’ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් දන්නා ජොනී වෝකර්ය. නැතහොත් ජොනීය. එසේත් නැතහොත් ජොන්ටාය. ‘‘මතට තිත’’ ගැන නන් දෙඩවූ පාරාවෝ මහින්ද 2012 වසරේ ඔක්තෝබර් 10 වැනි දින සහ දෙසැම්බර් 01 දින අරක්කු නිෂ්පාදන කර්මාන්ත ශාලා තුනකට අවසර දුන්නේය. මේවායේ නිල අයිතිකරුවා ජොන්ටාය. 2013 වසරේ සිට සිය නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීමට බලපත‍්‍ර නිකුත් කළේද මුදල් ඇමැතිවරයාය.
මනෝරි ලංකා (ප‍්‍රයිවට්) ලිමිටඩ්, වයඹ ඩිස්ටිලරීස් (ප‍්‍රයිවට්) ලිමිටඩ්, සිනර්ජි ඩිස්ටිලරීස් (ප‍්‍රයිවට්) ලිමිටඩ් මේ අරක්කු සමාගම් තුනේම ඇත්ත අයිතිකරුවා ජොනීය. එහෙත් වෙනත් අයගේ නමින් මේවා ලියාපදිංචිකර තිබේ. එතනෝල් තොගය ගෙන ආවේ තීන්ත නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ආනයනය කරන මුවාවෙනි. සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා යැයිද කියනු ලැබේ. නීති විරෝධීව කසිප්පු පෙරන්නේ ජොනී පමණක් නොවේ. මාතලේ සිටින ‘‘ඇති හිටියා’’ ඇමැතිවරයාද, කළුතර ‘‘රත්තරන් මල්ලී’’ , ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙකුද සිටිති. මේ සියල්ලෝම පාරාවෝ මහින්දට බැලමෙහෙවර කරන්නෝය. ඉතින් උන්ට නොසලකා වෙන කාටනම් සලකන්නද?
නීති විරෝධීව මෙරටට රැගෙන ආ විශාලම එතනෝල් තොගයේ ඇත්ත හිමිකරුවා ජනතාවට පෙනෙන්නේ නැත. හෙළිදරව්කරන්නේද නැත. ඒ වෙනුවට දකිනු ඇත්තේ කෝටියේ කොල්ලයේ මෙන්ම වාටියේ සිටින්නන්ය. ඉහත කී අරක්කු සමාගම් තුනට අමතරව ඇති ඒවාටද විස සහිත එතනෝල් ගලා එන්නේය. ඒවාද එන්නේ රහසේය. මේ සුරාබදු - රේගු වැටලීම අහම්බයකි. එහෙත් නීති විරෝධී ජාවාරම් තවදුරටත් සිදුකෙරේ. මේ අරක්කු සමාගම් නීත්‍යනුකූලව එතනෝල් ලබාගන්නේ බැරල් 40ක් වැනි ප‍්‍රමාණයකි. ඒවා සුරාබදු දෙපාර්තමේන්තුවේ ලේඛනවලට යන ප‍්‍රමාණයය. එහෙත් මසකට අරක්කු ලීටර් 800ක්වත් මේ සමාගම් නිපදවයි. එසේනම් ඒ සඳහා එතනෝල් ගෙනෙන්නේ හොරපාරේය. ඉහත සඳහන්කළ අරක්කු සමාගම් අරක්කු බෝතලයක් තොග ලෙස ලබාදීමේදී (තැබෑරුම්වලට ලබාදෙන නිල ලේඛනයට අනුව) මිල සටහන්කර ඇත්තේ රුපියල් 718ක් වශයෙනි. එහෙත් ඒවා අතයට බාර්වලට දෙන්නේ රුපියල් 530ක් වැනි මුදලකටය. ශුද්ධ වූ ලාබ උපයන්නේ මේ කෙරුවාව හරහාය. වියට්නාමයේ එතනෝල් ගමේ අප්පුහාමි දක්වා යන විධිමත් ක‍්‍රමවේදයක් මේ ජාවාරම්කරුවන්ට තිබේ. ‘‘ආර්ථික ඝාතකයෝ’’ සහ ‘‘බදු හොරු’’ මේ ජාවාරම්කාර අරක්කු නඩයය. ජනරංජන වෝහාරපතිගේ ආශිර්වාද ලබන තක්කඩියන්ය. මද්‍යසාර කොහොම පානය කළත් ශරීරයට හොඳ නැත. මේ විස සහිත මත්පැන් පානය කරන්නේ නම් ‘‘හිටියා ඇති’’ කියා හිතාගෙන බීවාට කමක් නැත. ඒවා ඒ තරම්ම විස සහිතය. ජොනී වෝකර්ගේත්, ඇති හිටියාගේත්, රත්තරන් මල්ලීගේත් කසිප්පු දැන් රටපුරා තිබේ. මහින්ද චින්තනයේ ‘‘මතට තිතට’’ පින්සිදුවන්නට මේ වස දිනපතා රට පුරා බෙදාහැරේ. ලහි ලහියේ මේ ජාවාරම්කාර යක්ෂයන්ට සහනදීම සඳහා බදු පනත් සංශෝධනය සිදුවෙමින් තිබේ. රේගු ආඥා පනතේ 10 වැනි හා 153 (අ) වගන්ති සංශෝධනය කර පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට යෝජිතව තිබේ. සුරාබදු ආඥා පනත සංශෝධනය කර ‘‘මතට තිත’’ වෙනුවට තිතට මත්වීමට උපාය සැලසුම් කෙරේ. කපටි නරි හූ කියන්නේ මේ වැනි මොහොතකය. වාටියෙන් අල්ලා නොගෙන මුදුනේ සිටින කපටි නරියා සොයාගන්න. එතනෝල් මෙන්ම වෙනත් රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙනඒමට බලපත‍්‍ර දෙන්නේ මුදල් ඇමැති යටතේ තිබෙන ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව (Sri Lanka's Import and Export Control Department) විසිනි. මුදල් ඇමැතිවරයා මහින්ද රාජපක්ෂය. මතට තිතේ පියාය. ආඩම්බරකාර පියාය. හොර පාරෙන් ආවත් නීත්‍යනුකූලව ආවත් වගකිව යුත්තේ මේ ආයතන, දෙපාර්තමේන්තු තමන් යටතේ පවත්වාගෙන යන පාරාවෝ රාජපක්ෂය. ගැඹුරු මෙන්ම දරුණු කථිකාවතක් ගොඩනගනවා කියන හිමිවරුන්ට කීමට ඇත්තේ පමානොවන ලෙසය. ජනතාවට කිව යුතුව ඇත්තේ සිහියෙන් යුතුව සිටින ලෙසය. එතනෝල් පොවා, සිහි විකල්කර, ආගම්වාදය, ජාතිවාදය අවුස්සන මොහොතේ සිහියෙන් යුතුව සිටින ලෙසය.

www.lankatruth.com