රෝහලේ ලිංගික අතවර චෝදනා ලැබූ දොස්තරට උසස්වීමක්


දර්ශිනි විමලසුරිය

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ චර්ම රෝග සායනයේදී තරුණියකට සාපරාධි ලෙස ලිංගික බලපෑම් කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ කුමාර වනිගතුංග නමැති වෛද්‍යවරයා සම්බන්දයෙන් නිසි පරිදි චෝදනා විභාග නොකොට අදාළ පරීක්ෂණ යට ගසමින් එම වෛද්‍යවරයා අතුරුගිරිය රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස පත් කිරීම ගැන දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සේවකයන් විමතිය පළ කරති. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ චර්ම රෝග අංශයේ සේවය කල වෛද්‍ය කුමාර වනිගතුංග මුහුණේ කුරුලෑ මතුවීම නිසා එම සායනයට ප්‍රතිකාර සඳහා පැමිණි තරුණියකට බලහත්කාරයෙන් ලිංගික බලපෑම් කිරීම සහ අයුතු ලෙස ශරීරය ස්පර්ශ කිරීම සම්බන්දයෙන් එම රෝගී තරුණිය සහ ඇයගේ දෙමාපියන් විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට සහ රෝහලේ චර්ම රෝග අංශයේ ප්‍රධාන වෛද්‍ය මහින්ද ගුණවර්ධන මහතාට ලිඛිතව පැමිණිලි කොට තිබෙන අතර මේ සම්බන්දයෙන් කිසිම පරීක්ෂණයක් නොපවත්වා එම චෝදනා යට ගසා තිබේ. වෛද්‍ය කුමාර වනිගතුංග විසින් මෙම තරුණියට සිදු සාපරාධි ලිංගික බලපෑම ගැන ඇයගේ පියා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයටද පැමිණිලි කලද සිදු කොට ඇත්තේ අදාල වෛද්‍යවරයා චර්ම රෝග අංශයේ සිට තලංගම රෝහලට මාරු කිරීම පමණි. මේ දක්වා එම වෛද්‍යවරයාට එරෙහිව චෝදනා විභාග කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන නැත.

 දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සේවකයන් විසින් පෙන්වා දෙන පරිදි වෛද්‍ය කුමාර වනිගතුංග විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ බලවත් නිලධාරියෙකුගේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරීන්ගේ සහයෙන් මෙම අතවරය පිලිබඳ පරීක්ෂණ යට ගසා තිබේ. මෙම අතවරය ගැන තරුණියගේ දෙමාපියන් විසින් රෝහල් පොලිසියට පැමිණිලි කල අවස්ථාවේදී රෝහල් පොලිසිය පැමිණිල්ල සටහන් කර ගැනීම ප්‍රතික්ෂේප කොට රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා හමු වන ලෙස නියෝග කර තිබේ. රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා හමුවී පැමිණිලි කල අවස්ථාවේදී අදාල පැමිණිල්ල තැපැල් මගින් එවන ලෙසටත් චුදිත වෛද්‍ය කුමාර වනිගතුංගට එරෙහිව පරීක්ෂණයක් සිදු කරන බවටත් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා පොරොන්දු වුවත් මේ දක්වා කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වූ බව වින්දිත තරුණියගේ දෙමාපියන් පවසති. මෙවැනි චෝදනා වලට ලක් වූ වෛද්‍යවරයෙක් අතුරුගිරිය රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස පත් කිරීම ගැන අප විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට දුරකතනයෙන් කිහිප විටක්ම ඇමතුවද සෞඛ්‍ය අමාත්‍යවරයා රැස්වීමක බව කියමින් දුරකථනය විසන්ධි කරන ලදී.