සිනමාවේ සිංහල දෙමළ භේදය නැති කරන්න මට අවශ්‍යයි - අශෝක හඳගම

අජිත් අලහකෝන්

 බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ "සැඟවුණු පිළිතුර" දෙමළ භාෂාවෙන් ද හැදූ බව පැවැසේ. ඒ කුසුමලතා නමිනි. "කුසුමලතා" යනු දමිළ භාෂාවෙන් හඬ කැවූ සැඟවුණු පිළිතුර බව සමහරු පවසති. තවත් අය පවසන්නේ "සැඟවුණු පිළිතුර" දෙමළ භාෂාවෙන් අලුතෙන්ම රූගත කළ බවය. ඒ කුසුමලතා නමිනි.

ඉන්පසු හැට දශකය මුලදී හෙන්රි චන්ද්‍රවංශ විසින් දමිළ චිත්‍රපට දෙකක්‌ හදා ඇත. ඒ "තෝට්‌ටකාරී" සහ සමුදායම්ය හැත්තෑව දශකයේදී ධර්මසේන පතිරාජ දමිළ චිත්‍රපටයක්‌ කළේය. ඒ පොන්මනිය මේ ආකාරයට අපේ රටේ දෙමළ චිත්‍රපට රැසක්‌ නිර්මාණය කර ඇති අතර ඒවා අතරින් ප්‍රදර්ශනය කර තිබෙන්නේ චිත්‍රපට කිහිපයක්‌ පමණි.

අපේ රටේ සිංහල සිනමාවක්‌ මෙන්ම දෙමළ සිනමාවක්‌ ද තිබෙන බවට ඊට වඩා තවත් සාක්‍ෂි අවැසි නැත. මෙරට දෙමළ සිනමාවේ මං සලකුණු අතරට දැන් තවත් චිත්‍රපටයක්‌ එක්‌ව තිබේ. ඒ මේ දිනවල තිරගත වන "ඉනියවන්ය" සිංහල භාෂාවෙන් "ඉනියවන්" ලෙස හඳුන්වන මෙම චිත්‍රපටය දෙමළ ප්‍රජාව අතරට ගෙන යන්නේ ඉනිඅවන් නමිනි.

"ඉනියවන්" යනු සොඳුරු මිනිසාය. ඉනි අවන් යනු "ඊට පස්‌සේ ඔහු" යන අරුත දේ.

අපේ රටේ තිස්‌ වසරක යුද්ධය හමාර වි ඇත. ද්‍රවිඩ ජනතාව සමඟ සංහිඳියාවක්‌ ඇතිකරගත යුතු කාලය දැන් එළඹ ඇත. ඒ සඳහා අපි එකිනෙකා අප ගැන ඇතිකරගෙන තිබෙන ප්‍රතිරූපය වෙනස්‌ කරගත යුතුයි. යුද්ධය නැති අවකාශය තුළදී සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත වෙනසකට ලක්‌විය යුතුය. එහෙත් ඒ වෙනසට පවතින සමාජයේ ඉඩක්‌ ඇද්ද යන්න ගැටලුවකි. "ඉනියවන්" කතා කරන්නේ ඒ ගැනය.

අශෝක හඳගම "ඉනියවන්" නිර්මාණකරු සමඟ සිනමා කලා සංග්‍රහය කළ සාකච්ඡාවකි මේ.

ඔබ "ඉනියවන්" රචකයා, අධ්‍යක්‍ෂවරයා ඔබට අනුව මේ කතාව මොකක්‌ද?

උතුරු නැගෙනහිර පළාත ගැන අපේ කතාව තවමත් අතීතයට ඇදිලා යුද්ධය හා ඒ ආශ්‍රිත කරුණු අපේ මතකයේ තවමත් යුද්ධය තියෙනවා. ඒත් ඉන් එහාට අනාගත ගැටලු යුද්ධයට වඩා ඔබ්බට ගිහින.a හැත්තෑහතට පස්‌සේ දකුණේ සිදු වූ සමාජ පරිණාමය උතුරේ වුණේ නෑ. යුද්ධය එය වැළකුවා. යුද්ධය නැති අවකාශය තුළ ධනවාදය නිදහසේ හැසිරෙනවා. එවන් තත්ත්වයක්‌ තුළ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතයට වෙන්න පුළුවන් දේ මේ කතාවේ තියෙනවා.

මේ පුනරුත්ථාපනය වී යළි ගමට එන කොටි තරුණයෙක්‌ වටා ගෙතුණු කතාවක්‌ නේ?

ඔව්.. පුනරුත්ථාපනය කරනවා කියන්නේ පවතින සමාජය තුළ ඊට අනුගාමී චරිතයක්‌ බවට පත්කිරීමයි.

ඉනියවන් ඔස්‌සේ ගෙනහැරපාන්නේ පරම සත්‍යයද?

නෑ... සිනමාව යනු ජීවිතයට වඩා ලොකු දෙයක්‌ කියලා මම විශ්වාස කරන්නේ නැහැ. සිනමාව කියන්නේ ජීවිතයේ අංශුමාත්‍රයක්‌ නිරූපණය කිරීම විතරයි. "ඉනියවන්" තුළින් ගෙනහැරපාන්නේ වසර තිහක යුද්ධය සමඟ සිටි සමස්‌ත දෙමළ ජනතාවගේම ගැටලුවම නොවේ. ජනප්‍රිය කතිකාව තුළ කතා නොවුණු වෙනත් පැත්තක්‌. ඉනියවන් ඒ පැත්ත ගැන කතාවක්‌ හරි නම් මේ කතාව කළ යුත්තේ දෙමළ සමාජය විසින්මයි. දෙමළ සිනමාකරුවන් විසින් කතා කළ යුතු විෂයක්‌. මම කරන්නේ ඒ සඳහා ප්‍රවේශයක්‌ විතරයි. මේක කිසිම විටකත් යථාර්ථය නොවේ.

එල්. ටී. ටී. ඊ. සාමාජිකයත් පුනරුත්ථාපනය වුණත් දමිළ සමාජය ඔවුන් ප්‍රතික්‍ෂේප කරන බව ඔබ ඉනියවන් තුළින් කියනවා....?

නෑ...එහෙම එකක්‌ නෑ. කිසියම් පරමාර්ථයක්‌ වෙනුවෙන් තමයි සියලු දෙනාම වෙහෙස වී වැඩ කළේ. හරි හෝ වැරදි හෝ ඔවුන් එක්‌ අරමුණක්‌ කරා ගමනක්‌ ගියා. ඒ ගමන කඩාවැටුණා. ඔලුව සේදිලා තමයි කඩාවැටෙන්නේ. අමතර කොටස්‌ ඉතිරි වෙනවා. ඒ අයට දැන් තැනක්‌ නෑ. ඔවුන්ගේ බලාපොරොත්තුව කඩාවැටුණු පසු එන ස්‌වාභාවික ප්‍රතිචාරය තමයි කෝපය. ඒ කෝපය තියෙන්නේ තමන් එක්‌කමයි. ඒ කෝපය පිටකරන්න ඔවුන් කෙනෙක්‌ව තෝරාගන්නවා. කෝ හදලා දෙනවා කියූ විමුක්‌තිය කියා ඔවුන් ඔහුගෙන් අහනවා.

යුද්ධය අවසන්.... පරාජය වුණත් කොටි අඳුරු සෙවණැලි හොල්මන් කරනවා. පුනරුත්ථාපනය වී එන අය යළි ගිලගන්න මේ අඳුරු සෙවණැලි උත්සාහ කරනවා. ඒත් මේ චිත්‍රපටයේ තරුණයා හැම විටම ඒ අඳුරු සෙවණැලි මඟහරින්න උත්සාහ කරනවා. ඔහු තුළ ඇති මානුෂීය හැඟීම් ඉස්‌මතු වෙනවා. ආණ්‌ඩුව විසින් කරන පුනරුත්ථාපනයේ හොඳකම ද මේ කියන්නේ?

සමාජයීය අරමුණු වෙනුවෙන් බැඳුනත් ඔවුන් තුළ මානුෂික හැඟීම් තියෙනවා. එහෙම නැති කෙනෙක්‌ මෙතැනට එන්නේ නෑ. එහෙම නම් ඉතින් තමන්ගේ වැඩක්‌ බලාගෙන ඉන්නව නේ. අසූඅට අසූනවය කාලේ ජවිපෙට බැඳුණු අයත් අරමුණු කුමක්‌ වුණත් සමාජයීය හැඟීම් උදෙසායි බැඳුණේ. ක්‍රියාවලිය තුළ සමහර විට ප්‍රචණ්‌ඩ කටයුතුවල යෙදෙන්න වෙනවා. එසේ වූ පමණින් මානුෂික නොවනවා නොවේ. පුනරුත්ථාපනය කියන්නේ කිසියම් එකට අනුගත වන පුද්ගලයෙක්‌ හදන එකයි. අද අපි දකිනවා සිස්‌ටම් එකට අනුගත වූ එල්. ටී. ටී. ඊ. ප්‍රබලයන්.

පුනරුත්ථාපනය වූවන්ට වෘත්තියක්‌ නොතිබුණොත්.... ඔවුන් ඩැහැගැනීම සතුරන්ට පහසු බව පෙන්වනවා?

ඔව් ඔවුන්ට රැකියා අවශ්‍යයි නැතිනම් ජීවත්වීම සඳහා කොතැනක හරි එල්ලෙනවා.

උතුරේ ජනජීවිතයට ආරක්‍ෂක හමුදා මැදිහත් වන බව ප්‍රසිද්ධ රහසක්‌. ඉනියවන් චිත්‍රපටයෙන් ඔබ ආරක්‍ෂක හමුදා සැඟවීමට උත්සාහ කරන්නේ හිතාමතාමද?

චිaත්‍රපටයේ පෙනෙන දේ තිබෙනවා නොපෙනෙන දේත් තියෙනවා. පෙනෙන දේ එකක්‌. නොපෙනෙන දේ තුළිනුත් කිසිවක්‌ ඇති බව පෙන්වනවා. හමුදා විෂය චිත්‍රපටයේ සංජුට කතා කළොත් ඒ ඔස්‌සේ තව හුඟ දුරක්‌ යන්න වෙනවා. මේ විෂය සීමාව තුළ එය හමුවන්නේ නැහැ.

ඉනියවන් ද්‍රවිඩ ප්‍රජාවට සහ ජාත්‍යන්තරයට හැදූ චිත්‍රපටයක්‌ කියා කිව්වොත් පිළිගන්නවද?

ඔව්.. ඒක වැදගත්. අපේ සිනමාව භාෂාමය ලෙස බෙදී තියෙනවා. දෙමළ චිත්‍රපට විතරක්‌ පෙන්වන සිනමාශාලා තියෙනවා. සිංහල චිත්‍රපටම පෙන්වන සිනමා ශාලා තියෙනවා. අපේ සිනමාශාලා තිබෙන්නේ එහෙම තමයි. ඉනියවන් ප්‍රදර්ශනය වෙන්නේ සිංහල උප සිරැසි සමඟ. දෙමළ ශාලාවලත් සිංහල ශාලාවලත් ප්‍රදර්ශනය කරනවා. යාපනයේත් වන ආශ්‍රිත ප්‍රදේශවලත් පෙන්වනවා. කොළඹත් පෙන්වනවා. "ඉනියවන්" චිත්‍රපටයක්‌ භාෂා බෙදීමකින් තොරව නරඹන්න පුළුවන්. චිත්‍රපටයේ කුමන භෘෂාවක්‌ කතා කළත් අපි ඉරාන චිත්‍රපට බලනවා. ප්‍රංශ, රුසියානු චිත්‍රපට බලනවා. ඒත් ඒවා නැරඹීමේ භාෂාමය ගැටලුවක්‌ නැහැනේ. අපේ රටේ චිත්‍රපට ප්‍රේක්‍ෂකයාත් බෙදිලා. ශ්‍රී ලංකාව බෙදුණු සමාජයක්‌. මට ඕනෑ එය නැති කරන්නයි. දෙමළ, සිංහල ප්‍රේක්‍ෂකයන් එකම ප්‍රේක්‍ෂකාගාරයක සිට චිත්‍රපට නරඹන තත්ත්වයක්‌. අපේ සිනමාවේ සීමා තියෙනවා. අපි කියන්න පුරුදුවෙලා ඉන්නේ සිංහල සිනමාව කියලා. ඒත් අපේ රටේ දෙමළ චිත්‍රපට හැදිලා තියෙනවා.

"ඉනියවන්" රූගත කළේ යාපනයේ. ඒක අපහසුතාවක්‌ වුණේ නැද්ද?

අපි යාපනේ ගියා. එහි කරන්න අපහසුතා තිබුණා. යාපනයේ චිත්‍රපට රූගත කිරීමකට හුරුවෙලා තිබුණේ නෑ. අපි රූගත කරද්දී විශාල වශයෙන් සෙනඟ ආවා බලන්න. අනෙක කර්කශ දේශගුණය. තවත් ගැටලුවක්‌ තමයි අවසර ගැනීම. යාපන කොටුව රූගත කරද්දී අප ලබාගත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අවසරය විතරයි. අපි හිතුවේ එය ප්‍රමාණවත් කියලා. නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයත් අපිට වුවමනා වුණා. ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න අපිට ඇතිවුණා.

ඉනියවන් හදන්න රජයත් සම්මාදම් වුණාද?

නෑ. රජය සම්බන්ධ නෑ. එහෙම සම්මාදම් වුණා නම් අපි මීට වඩා මහා පරිමාණ ලෙස මංගල දර්ශනය කරන්න එපායෑ. අඩුම තරමින් අපිට ප්‍රදර්ශනය කරද්දී ශාලා අපහසුතා පවා මතුව තිබෙනවා. රජය මැදිහත් වුණා නම් මීට වඩා ලොකුවට කරනව නේ.

මෙහි නිෂ්පාදක ජගත් වැල්ලවත්ත රජයේ ඉහළ තනතුරක්‌ දරන්නෙක්‌?

ඒක හරි.... ජගත් වැල්ලවත්ත මගේ හොඳ මිත්‍රයෙක්‌. අපි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලෙ ඉඳල හොඳ යහළුවෝ. සමකාලීනයෝ. ඒ මිත්‍රකම මතයි ඔහු මුදල් වැය කළේ. ඒකට ඉතින් මම මොනවා කරන්නද? චිත්‍රපටයක්‌ කරමු කියලා යෝජනාවක්‌ කළොත් මම කරනවා. සම්පත් කොහෙන්ද කියන එක මට අදාළ නෑ.

රාජ්‍ය නොවන සංවිධාන (භඨධ) සම්බන්ධද?

නෑ මගේ හැම වැඩකටම එන් ජී ඕ සම්බන්ධයි කියා චෝදනා කරනවා. ඒත් කිසිම වැඩකට මට එන්. ජී. ඕ. සල්ලි දීලා නෑ.

'අක්‍ෂරයට' පසු ඔබේ සිනමා භාවිතාව වෙන පැත්තක්‌ හැරවූවා... ඒ ඇයි?

අපේ රටේ ළමා සිනමාවක්‌ තියෙනවා. මම විදු හදන්නේ එය ඉලක්‌ක කරගෙන. සිනමාකරුවකු ලෙස මගේ භාවිතාව තුළ අනන්‍යතාවක්‌ තියෙනවා. ඒ තුළ විදු ස්‌ථානගත වෙන්නේ නැහැ. ඒක සරල වැඩක්‌. ඒ වගේ දේත් කරනවා. ඒ වගේ චිත්‍රපටයක්‌ කරන්න ආසාවක්‌ ඇතිවුණා. ඒ නිසා කළා. මම කරගෙන ආ චිත්‍රපට මාලාවක්‌ තියෙනවා. අවදානම් සහිත පරිසරයක්‌. ඒ අවදානම එන්නේ සංවේදී පැත්තකට අත ගසන නිසා.

ඔබ කලක්‌ යුද්ධය ප්‍රතික්‍ෂේප කළා.

ඔව්.. යුද්ධය කරන කාලේ මම යුද්ධයට විරුද්ධව හඬක්‌ නැඟුවා. ඒ කලාකරුවකු ලෙස. අදත් මගේ ඒ මතයේ වෙනසක්‌ නෑ. ඒත් දැන් තිaයෙන්නේ වෙනත් යථාර්ථයක්‌. ඒ සමාජ යථාර්ථය තුළ වෙනත් ඉසව්වකට අත ගැසීමයි මම කළේ. මගේ "අක්‍ෂරය" ශ්‍රී ලංකාවේ සමාජය කිසියම් කැළඹීමකට ලක්‌ කළා. ඒක මගේ චිත්‍රපටවල හැටියක්‌. ඉනියවන් දෙමළ සමාජය කැළඹීමකට ලක්‌කරන්න පුළුවන්. මෙය සිංහල චිත්‍රපටයක්‌ හෝ ජනවාර්ගික ගැටලුව ගැන හැදූ චිත්‍රපටයක්‌ නොවේ. දෙමළ සමාජය ගැන චිත්‍රපටයක්‌ හැදුවා. දෙමළ සමාජය ඒ ගැන කැළඹෙනවා. එහෙම කැළඹිය යුතුයි.