ජනපති පදවි ප්‍රාප්තියට විවෘත කළ පාලම වතුරේ ගසාගෙන යයි


නිමල් කණහැරආරච්චි

පැරැණි අත්වැල් පාලම් තුනක්‌ සහ අඹන්ගඟ හරහා ඉදිකළ නව පාලමක්‌ විවෘත කොට දවස්‌ 30 ක්‌ සම්පූර්ණ වන දිනයේම ගංවතුරට හසුව ගසාගෙන යැම නිසා කඩවත සහ කඹරව ප්‍රදේශ අතර ප්‍රවාහන කටයුතු අඩපණ වීමෙන් ගඟෙන් එගොඩ ගම්මාන 10 ක ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.


ඉකුත් 18 දා පාලම බිඳී ගිය තැන්පටන් ගඟ හරහා යාම්ඊම් හා සබඳතා බිඳීගොස්‌ ඇති අතර විකල්ප මාර්ගයක්‌ වැටී ඇත්තේ කිලෝමීටර් 15 ක පමණ දිගු දුරකිනි.

පාලම් කැඩී යන විටත් මව්පියවරු එගොඩත්, දූ දරුවන් මෙගොඩත් හා මව්පියවරු මෙගොඩත් දූදරුවන් එගොඩත් සිටි සිදුවීම් ද එහි ගිය අපට අසන්නට ලැබිණි.

අඹන්ගඟ හරහා ඉදිකළ නව පාලම බිඳී යැම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් තුළ ඇත්තේ බලවත් සංවේගයකි. ඉකුත් නොවැම්බර් 10 දා එය විවෘත කරනු ලැබුයේ ජනාධිපති පදවි ප්‍රාප්ති සැමරුමට සමගාමීවය. මුළුවැය රුපියල් ලක්‍ෂ 92 කි. ගංවතුරෙන් පාලමෙන් අඩක්‌ එනම් මීටර් 75 ක්‌ පමණ සම්පූර්ණයෙන්ම ගසාගෙන ගොස්‌ ඇත. මෙය ඉදිකර ඇත්තේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මගිනි.

දැඩි ගංවතුරට මෙවැනි පාලමක්‌ වුවද විනාශ වීම වැළැක්‌විය නොහැකි වුවද පාලමේ සවිශක්‌තිය, ඊට යොදාගත් තාක්‌ෂණය හා ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු දැඩි ලෙස අප්‍රසාදය පළ කරති.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්‌වූ කඩවත ටී. බී. මානිංගමුව මහතා ,

"පාලම් කැඩෙනවා තමයි. ඒත් මේක කැඩිලා තියෙන විදියෙන් පෙනෙනවා කරල තියෙන බොරුව. අවුරුදු 60-70 කට පස්‌සෙයි මේ පාලම හැදුවෙ. දුරදිග බලලා හැදුවානම් මෙච්චරම විනාශයක්‌ වෙන්නෙ නෑ. මේ ගැන නම් පූර්ණ පරීක්‍ෂණයක්‌ කරන්න ඕනෑ. වදැන් ඉතින් ගංවතුර පිටදාල වගකිවයුත්තෝ බේරෙයි" යෑයි කීවේය.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට පාලම ඉදිකළ ආයතන සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.