දිමුතු ආටිගලට යාපනයේදී කළුතෙල් ප්‍රහාරයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකා දිමුතු ආටිගල මෙනවියට යාපනයේදී කළුතෙල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විශ්ව ළමා දිනය වෙනුවෙන් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද වැඩසටහන් කිපයක් අද යාපනයේ පැවති අතර එම වැඩසටහන් නිමා කොට යාපනය නගරයේ නල්ලූර් කෝවිල අසලදී වාහනයට නගින විට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

අප කළ විමසීමකදී ඇය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු තමන් ඇතුළු පිරිස වෙත කළු තෙල් ප්‍රහාරයක් එල්ල කර නිදැල්ලේ පලා ගිය බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සම්මේලනය පැවැත්වීමට දින කිපයක් තිබියදී ආණ්ඩුවේ නිල නොවන මැරයින් විසින් ඇය පැහැර ගෙන ගොස් පසුව දේශීය හා ජාත්‍යන්තර බලපෑම් හමුවේ නිදහස් කරනු ලැබීය.

මෙම කළුතෙල් ප්‍රහාරය එල්ල කළේ ආණ්ඩුවේ අනුදැනුම අනුව බවට කිසිදු සැකයක් නැතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රකාශකයකු පැවසීය.