බොදු බල සේනාවේ ප්‍රහාරකයෙකුට දුන් දුරකථන ඇමතුම



අමිල ගුණරත්න

ආයුබෝවන් 

අපට බොදු බල සේනාවේ ස්වාමින් වහන්සේ කෙනෙකුට කථා කරන්න පුලුවන්ද බුද්ධාගම ගැන සුද්දෙකු ලියපු පොතක් ගැන තොරතුරක් දෙන්න , මේ පොත බෞද්ධ විරෝධී පොතක් කියලා තමයි අපි හිතන්නේ

 (එහා කොනින් ) තෙරුවන් සරණයි මහත්තයා කවුද ?

 මම ගුණරත්න කියලා ඉස්කෝලේ මහත්තයෙක් කතා කරන්නේ , බොදු බල සේනාවේ හාමුදුරුවරු බුද්ධාගම බේර ගන්න කරන සටන අපි අගය කරනවා ඒ නිසයි මේ හෝඩුවාව දෙන්න කථා කරන්නේ

 බොහොම හොඳයි මහත්තයා මම ................................... බොදු බල සේනාවේ ................... මොකක්ද ඔය තොරතුර ? 

 හාමුදුරුවනේ මට කෙනෙකුගෙන් හෝඩුවාවක් ලැබුනා එංගලන්තයේ සුද්දෙක් බුද්ධාගම ගැන මොනවදෝ ලියල තියනවලු , මේ පොත දැන් ලංකාවටත් ඇවිල්ලලු. මේ ගැන සොයා බැලුවොත් හොඳයි කියලා තමයි අපට හිතෙන්නේ 

 අපිට මේ ගැන තව තොරතුරු කියන්න පුලුවන්ද මහත්තයා ? 

 එහෙමයි හාමුදුරුවනේ , අපිත් ටිකක් සොයා බැලුවා එඩ්වින් අර්නෝල්ඩ් කියලා සුද්දෙක් , දන්නවනේ ඔය සුද්දෝ ඉන්නේ බුද්ධාගම නැති කරන්න ඇඟිලි ගැන ගැනනේ , ඉතින් හෝඩුවාව ආපු ගමන් තමයි හාමුදුරුවනේ ටෙලිපෝන් කලේ. මේ පොතේ නම ලයිට් ඔෆ් ඒෂියා කියලා තියෙන්නේ . ගුණසේන පොත් සාප්පුවෙත් විකුනන්න දාල තියනවා කියලයි මට තොරතුර දුන්න කෙනා කිව්වේ . මේකට විරෝධතාවක් කරන්න බැරිද හාමුදුරුවනේ ? 

පොඩ්ඩක් ඉන්න මහත්තයා මම ඔය පොත ගැන තොරතුරු ලියගන්නකම් 

 එහෙයි පොතේ නම ලයිට් ඔෆ් ඒෂියා ලියලා තියෙන්නේ එඩ්වින් අර්නෝල්ඩ් කියලා සුද්දෙක් මොකක්ද කිව්වේ ලයිට්ඔප් එසිආ නේද ?

 නැහැ හාමුදුරුවනේ ලයිට් ඔෆ් ඒෂියා ලියලා තියෙන්නේ එඩ්වින් අර්නෝල්ඩ් හරි මහත්තයා

 අපි අනිවාර්යෙන්ම මේ ගැන හොයල බලනවා , ගුණසේන සාප්පුවෙත් මේක විකුනන්න දාල නේද කිව්වේ ?  

එහෙයි හාමුදුරුවනේ , අපේ මිනිස්සු දන්නේ නැද්ද සල්ලි වලට ඕන කුණු ගොඩක් විකුනනවනේ.

 ඒකනම් එහෙම තමයි මහත්තයා අපි මේ ගැන හොයලා බලනවා , මුලින්ම අපි බුද්ධ සාසන අමාත්‍යංශයට දන්වනවා මේ ගැන. එහෙන් පියවරක් ගත්තේ නැත්නම් අපි ගෙහුං පොත් කඩ වටලලා හරි මේ පොත තහනම් කරනවා 

 ලොකු දෙයක් හාමුදුරුවනේ අපෙනුත් ඕන සහයෝගයක් තියනවා , එහෙනම් අවසර 

 හොඳයි මහත්තයා තෙරුවන් සරණයි 
-->