බන්ධනාගාර බළලුන් එලවන්න දමා ගසන්නේ උම්බලකඩයෙන්ද?

සමන් ගමගේ

බන්ධනාගාරයේ චෝදනාගාරය - 2  අප ඉකුත් සතියේ බන්ධනාගාර පිළිබඳ තැබූ සටහනේදී රෝගී වන සිරකරුවන් බන්ධනාගාර තුළදී නිසි ප්‍රතිකාර නොමැතිව ශෝචනීය ලෙස මියෙන අයුරු මැනවින් පැහැදිලි කෙරුවෙමු. 

 එසේ සිරකරුවන් මියෙන බව තවදුරටත් සනාථ කෙරෙමින් අප ඒ සටහන තබන මොහොතේත් වැලිකඩ බන්ධනාගාර රෝහල් වෛද්‍යවරුන් විසින් වන් නෝට්‌ වන් නියෝග හෙවත් (101) යටතේ ජාතික රෝහලට මාරු කරන ලෙස දැනුම් දී තිබූ සිරකරුවකු ඉකුත් 19 වැනිදා බන්ධනාගාර බලධාරින්ගේ ප්‍රමාදය නිසා බන්ධනාගාරය තුළදීම මිය ගොස්‌ ඇත්තේ බොහෝ දුක්‌ විඳීමෙන් බව යළිත් වාර්තා වෙමින් තිබේ. 

මෙලෙස මියගොස්‌ ඇත්තේ සිර අංක යූ. 20593 යටතේ සිරගතව සිටි ගලේගොඩගේ නිශාන්ත කුමාර නමැති පුද්ගලයකු බව අනාවරණය කරන්නේ බන්ධනාගාර නිලධාරින්ම විසින්ය. බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල්තුමනි මේ ම්ලේච්ඡත්වය බන්ධනාගාර තුළින් තුරන් කිරීමට තවමත් නොහැකිව ඇත්තේ කුමන හේතුවක්‌ නිසාද? සිරකරුවා යනු ලෙඩකට බෙහෙත් නොමැතිව එසේ මියයා යුතු, ජීවත් වීමේ අයිතිය අහිමි පුද්ගලයකු වී තිබේද? අප මේ සටහන ආරම්භයේදීම එසේ අසනුයේ වත්මන් රජයේ අදාළ බලධාරින්ගේ අවධානය යළි යළිත් මේ අවනඩුව කෙරෙහි යොමු කිරීම පිණිස වන්නේය. නොවිය යුතු දේ මෙසේ සිදු වෙද්දී පසුගිය සතියේ අප තැබූ සටහන පිළිබඳ උරණ වූ බන්ධනාගාර බලධාරින් වැරදි හදාගනු වෙනුවට කටයුතු කර ඇත්තේ ඉතාම ලඡ්ජාසහගත ලෙසින් බවද වාර්තා වන්නේය. 

 අපේ සටහනත් සමග ඔවුහු මුලින්ම කර ඇත්තේ මාධ්‍යයට තොරතුරු දෙන්නන් අල්ලා ගන්නේයෑයි වහසි බස්‌ දොඩවමින් රහසිගත මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කිරීමය. එම මෙහෙයුමේ ප්‍රධානින් වී සිටියේ බලධාරින්ට කඩේ යන සිරකරුවන් දෙතුන් දෙනකු බවද වාර්තා විය. එහෙත් එකී මෙහෙයුම් මගින් කොටුකර ගත්තෙකු නම් අදටත් නැත්තේය. අපූරුය. බන්ධනාගාර පරිපාලන බලධාරින් කොතරම් දක්‍ෂයන් වී සිටින්නේද? එසේ අපට තොරතුරු දෙන්නන් අල්ලා ගැනීමට බන්ධනාගාර බලධාරින් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී පැහැදිලිවම සිදුවූයේ තව තවත් පිරිස්‌ අප වෙත තොරතුරු ලබා දීම පමණි. එහිදී එක්‌තරා ඉහළම බන්ධනාගාර නිලධාරියකුද සත්‍ය අවබෝධ කරගනිමින් අපට කතා කිරීමද සුවිශේෂී කරුණකි. මෙසේ ලැබෙන්නට වූ තොරතුරු ඔස්‌සේ මේ වන විට බෝගම්බර, මහර, මාතර සහ මීගමුව බන්ධනාගාර තුළ කලක සිටි සිදුවෙමින් තිබූ දූෂිත ක්‍රියා පිළිබඳ කුණු කන්දක්‌ අනාවරණය වී තිබෙන බවද කිව යුතුව ඇත්තේය. මහර බන්ධනාගාරයේ එක්‌තරා දෙවන පෙළ බලධාරියකු බන්ධනාගාර පොඩ්ඩෙකුද සමග එක්‌වී බන්ධනාගාර රැඳවියන් බැලීමට එන රූමත් කාන්තාවන්ගෙන් සිය නිල නිවසේදීම ලිංගික අල්ලස්‌ ලබා ගන්නා අසික්‌කිත කතාවක්‌ සහ බෝගම්බර බන්ධනාගාරයේ බලධාරියෙක්‌ සිය නිවසේ සියලු අලුත්වැඩියා කටයුතු බන්ධනාගාර අමුද්‍රව්‍ය මගින් කරවාගෙන බන්ධනාගාර කැන්ටිම සිය කේවලස්‌වාමි ව්‍යාපාරය කරගෙන සිටීමේ නිර්ලඡ්ජිත කතාවක්‌ද මේ අතර තිබෙන්නේය. එසේම මාතර බන්ධනාගාරයේ එක්‌තරා උසස්‌ නිලධාරියකු සිරකරුවාගේ බත් පත කොල්ලකා තම මඩිය තර කර ගන්නා අතරේ තරුණ සිරකරුවන් දෙතුන් දෙනකු සිය නිල නිවසේ වැඩට ගෙන අම්බානට සැප දී අසම්මත තෘප්තියක්‌ ගන්නා කතාවක්‌ද අපට අනාවරණය වී ඇත්තේය.

 බලධාරින් රහසිගත මෙහෙයුම් කරද්දී මෙසේ අපට තොරතුරු ලැබීම හමුවේ අපි රට පුරා වන බන්ධනාගාර පිළිබඳ එකින් එක ගෙන හෙළිදරව්වක්‌ කිරීමට තීරණය කළෙමු. එය ඉදිරියේදී සිදු වනු ඇත. එහිදී මෙසේ අසික්‌කිතකම් වලින් පෝෂණය වී සිරකරුවා පමණක්‌ නොව අවංක නිලධාරින්ද නන්නත්තාර කරමින් සිටින බන්ධනාගාර බලධාරින් සියලු දෙනා නිරුවත් වන බව නම් අපට සහතිකය. එහෙයින් එකී සටහනට ඉදිරියේ ඉඩ තබා අපි දැන් ඉකුත් සතියේ නතර වූ තැනට යන්නෙමු. සිරකරුවාගේ බත්පතට පහර දෙන්නට ගොස්‌ පසුගිය කාලයේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ පිපිරීම කවුරුත් දන්නා කරුණකි. එහිදී වෙඩි කෑවෝ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෝම වූහ. ලොව කිසිදු බන්ධනාගාරයක සිදු නොවන අයුරින් මෙකී රැඳවියන්ට වෙඩි වැදුණේ බන්ධනාගාරය තුළ සිටියදීමය. ඒ පාලනය කරන්නට යෑයි පවසා බලධාරින් ඔවුන්ට වෙඩි තැබීම නිසා විය. නමුත් මෙහිදී වෙඩි වැදුණේ එදා සැබෑවටම බන්ධනාගාරය තුළ ප්‍රකෝපකාරී වූවන්ටද යන්න අදටත් ගැටලුවකි. ඒ එදා වූ සිදුවීම නරඹමින් සිටි රැඳවියන්ද එකී වෙඩි තැබීමට ගොදුරු වී සිටි බැවිනි. 

එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක්‌ද? මැගසින් බන්ධනාගාරය සිය මව්පියන්ගේ බූදලය ලෙස සිතා කිසිත් කරගත නොහැකි (මිල මුදල් නැති) අසරණ රැඳවියන් වහලුන් සේ සලකමින් ඒ තුළ වන් මෑන් ෂෝ ක්‍රමවේදයක්‌ ගෙන යන්නා වූ එක්‌තරා බලධාරියකු එදා මැගසින් බන්ධනාගාරයේ සිදුවූ පිපිරීම පිළිබඳ පසුව පරීක්‍ෂණයක්‌ කළේය. ඒ සමස්‌ත බන්ධනාගාර පද්ධතියම වනසමින් අද වන විට බන්ධනාගාර මුල්පුටුවල ඉන්නා තමන් වැනිම දූෂිතයන් පිරිසකගේද සහාය ඇතිව විය. එම පරීක්‍ෂණය අනුව අවසානයට සිදු කර ඇත්තේ කුමක්‌ද? මැගසින් ගින්නට වරදකරුවන් කරමින් රැඳවියන් 46 දෙනකුට නඩු පැවරීමට මෙකී දූෂිතයෝ පියවර ගත්හ. 

එහෙත් අරුම පුදුම කරුණ වී ඇත්තේ නීතිඥයකුගේ සහාය පවා ලබා ගැනීමට නොහැකි අසරණ සහ ඇවිද යන්නටවත් පණනැති වයෝවෘධ රැඳවියන් පවා මැගසින් බන්ධනාගාරය ගිනි තැබුවේයෑයි කියමින් මෙකී සිද්ධියේ චූදිතයන් කර සිටීමය. මේ අවනඩුවට පසුගිය දිනෙක කදිම පිළිතුරක්‌ ලැබී ඇත්තේ මෙකී පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්‌ථාවක එක්‌තරා අධිකරණයක සිටින විනිසුරුවරයකු වෙතිනි. මෙම මිනිසුන් නිකරුණේ අධිකරණය වෙත රැගෙන විත් කූඩු පිරවීමෙන් වැළකී ඔවුන් පිළිබඳ නිසි ලෙස ක්‍රියා කරන ලෙස එදින විනිසුරුවරයා බන්ධනාගාර නිලධාරින්ට අවවාද කර තිබිණි. සිරකරුවාගේ බත්පතට රෙගුලාසි දමන්නට ගොස්‌ සියල්ල කණපිට හැරීමෙන් පසු තමන්ගේ වරද වසාගනිමින් අසරණ සිරකරුවන් පිරිසක්‌ දංගෙඩියට යවන්නට මාන බලමින් සිටින වත්මන් බන්ධනාගාර පරිපාලන බලධාරින්ට දැන් දැන් අධිකරණ වෙතින්ද පිළිතුරු ලැබෙමින් තිබෙන්නේ එසේය. 

මහත්වරුනි, මේවාට ලඡ්ජා නොසිතේද? නැතිනම් මේ කියෑවෙන්නේ අදාළ බලධාරින්ගේ ලඡ්ජා බිය යන දෙකම සිඳී ගොස්‌ ඇති වගද? කොළඹ මැගසින් බන්ධනාගාරයේ කතාව එසේ වෙද්දී ඒ ආසන්නයේ ඇති වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය පිළිබඳවද කියන්නට බොහෝ දේ තිබේ. අද මෙරට බන්ධනාගාර පද්ධතියේ ඇති අප්‍රසන්නම සහ අසුන්දරම බන්ධනාගාරය වැලිකඩ කාන්තා අංශය යෑයි කිවහොත් එය නිවැරදිය. වසරේ දින තුන්සිය හැටපහ තුළම වැසිකිළි උතුරා යමින් මිහිපිට ඇති එකම අපායක්‌ මේ වන විට වැලිකඩ කාන්තා අංශය තුළ නිර්මාණය වී ඇත්තේය. එහෙත් බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල්වරයාට අනුව නම් බන්ධනාගාර නගරයෙන් බැහැරට ගෙනයැමේ අදහසක්‌ තිබෙන බැවිනුත් ගොඩනැගිලි පද්ධතිය ඉතා අබලන් තත්ත්වයේ පැවතීම නිසාත් ඊට තාවකාලික පිළියම් යෙදීම හැර කළ යුතු වෙනත් දෙයක්‌ නොමැත්තේය. ඔහුගේ කතාව එසේ වුවද මෙතෙක්‌ තාවකාලික ක්‍රමයකින් හෝ වැලිකඩ කාන්තා අංශයේ වැසිකිළි උතුරා යැම සඳහා පිළියමක්‌ යෙදීමට බන්ධනාගාර බලධාරින්ට හැකිවූයේදැයි අප ප්‍රශ්න කරනුයේ පවතින තත්ත්වය හමුවේ තවත් බරපතල ගැටලු ගණනාවක්‌ නිර්මාණය වී තිබීම හමුවේ වේ. 

 වැලිකඩ කාන්තා අංශයේ මව්වරුන් සමග සිරවී සිටින කුඩා දරු පැටවු පිරිසක්‌ද වෙති. පවතින අපරිසිදු තත්ත්වය හමුවේ නිතර දෙවේලේ රෝගීන්a බවට පත් වන්නේ මෙකී කුඩා දරුපැටවුන්ය. එහෙත් කණගාටුවට කරුණ වී ඇත්තේ මෙකී දරුවන්ටද පෙර සිරකරුවන්ට අත්වූ ඉරණමම අද අත්වෙමින් තිබීමය. අපිරිසුදුකම හේතුවෙන් රෝගී වුවද මෙකී දරුවනට නිසි වේලාවට ප්‍රතිකාර කිරීමක්‌ නම් සිදු නොවන්නේය. එය කෙතරම් අමානුෂික ද? එහෙත් මෙකී අමානුෂික බව වටහා ගන්නට තරම් අද වැලිකඩ කාන්තා අංශයේ ඇතැම් උද්දච්ඡ නිලධාරි අම්මන්ඩිලා අපොහොසත්ව සිටින්නීය. 

 එවන් කිසිවක්‌ පිළිබඳ අවධානයක්‌ යොමු නොකරන වැලිකඩ කාන්තා අංශයේ වත්මන් බලධාරින්ගේද එකම අරමුණ වී ඇත්තේ නින්දිත ලෙස සිරකාරිය විකුණාගෙන කෑමම වී තිබෙන්නේය. නැතහොත් සිරකාරිය සිය දූෂිත ආදායම් මාර්ගය බවට පත්කර ගැනීමය. මෙහිදී සිදුවෙමින් තිබෙන ඇතැම් දූෂිත ක්‍රියා පිළිබඳ අවධානය යොමු කළහොත් සිරබත් කෑ යුත්තේ කාන්තා රැඳවියන් නොව එය පාලනය කරනු ලබන ඇතැම් හිතහොඳ අම්මණ්‌ඩිලා බවද කිව යුතුව ඇත්තේය. වැලිකඩ කාන්තා අංශයේ අද පවතින මෙකී දූෂිත තත්ත්වය හමුවේ ඇති වී තිබෙන අවසන් ප්‍රතිඵලය කුමක්‌ වන්නේද? එහි රැඳවි කාන්තාවන් නිතර සිටිනුයේ පීඩනයකට ගොදුරු වෙමිනි. එකී පීඩනය හමුවේ පුනරුත්ථාපනයට සිටින එකී කාන්තාවන් නිරන්තරයෙන් ප්‍රකෝපකාරීව සිටී.

 ඉතිහාසයේ ප්‍රථම වතාවට වැලිකඩ කාන්තාවන් පසුගිය දිනෙක බන්ධනාගාර අධිකාරිවරයාට හූ කීමේ සිද්ධියම ඊට ඇති හොඳම උදාහරණය ලෙස පෙන්වා දියහැකිවේ. එහෙත් අරුමය හෝ කාගේත් කරුමය වී ඇත්තේ මේ කිසිත් අදාළ බලධාරින්ට අවබෝධ නොවීම වන්නේය. වැලිකඩ කාන්තා අංශයේ රැඳවි කාන්තාවන් පිරිසක්‌ එහි ප්‍රතිකාර ඒකකයේ තිබූ පිස්‌සු පෙති හෙවත් "ඩල්සිෆාම්" නමැති ඖෂධ බෝතලයක්‌ හොරෙන් ගෙන පානය කිරීමෙන් පසු බන්ධනාගාරය තුළ පිස්‌සු කෙළියේ මෑතකදී විය. එහිදී එකී පිස්‌සු පෙති තොගය කාන්තා රැඳවියන්ට අලෙවි කර තිබුණේ එහි ප්‍රතිකාර ඒකකයේ කටයුතු කළ තවත් කාන්තා රැඳවියකුම විසිනි. නමුත් එකී කාන්තාව වැලිකඩ කාන්තා අංශයේ එක්‌තරා බලධාරිනියකගේ සුවච කීකරු ගෝලයකු වීම නිසාම මේ වන විට අදාළ සිද්ධිය කාන්තා අංශයේ සිදු නොවුණක්‌ ලෙසින් ඉහළ බලධාරින්ට වාර්තා කර ඇතැයිද වැලිකඩ කාන්තා අංශයේ කාන්තාවන්ම කියා සිටින්නේය.

 සියල්ල මෙසේ වෙද්දීS වැලිකඩ කාන්තා අශයේ එක්‌තරා උද්ධච්ඡ බලධාරිනියගේ කෙරුවාවල් හමුවේ මේ වන විට මෙරට බන්ධනාගාර අතරින් "ඒඩ්ස්‌" රෝග නිවාරණ කටයුතු බිංදුවේම පවතිනුයේ වැලිකඩ කාන්තා අංශයේ බවද වාර්තා වෙමින් තිබේ. වගකිව යුත්තනි එය කොතරම් බරපතළ තත්ත්වයක්‌ වන්නේද? මෙහි යථාර්ථය කාට හෝ දැනගැනීමට අවැසි නම් අදාළ වාර්තා අප සතු බවද කිව යුතුව ඇත්තේය. වැලිකඩ කාන්තා අංශයේ රඳවා සිටින තරුණ කාන්තාවක බැලීම සඳහා පැමිණි මවකට බණ්‌ඩා පොලිසියේ නිලධාරිනියක විසින් පහරදීමේ සිද්ධියක්‌ද ඉකුත් සතියේ එතුළින් වාර්තා වන්නට විය. 

මේ හමුවේ ප්‍රකෝපකාරී වූ කාන්තාවන් සවස සිර කාමරවලට යෑවීමට පවා අපහසු වන තත්ත්වයක්‌ද එදින නිර්මාණය වී තිබී ඇති අතර අවසානයේ එක්‌තරා කාරුණික කාන්තා නිලධාරිනියකගේ මැදිහත් වීම මත රැඳවි කාන්තාවන් සිර කාමර වෙත යෑවීමට හැකිවී ඇත්තේය. මෙහිදී රැඳවි කාන්තාවන් ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇත්තේ රැඳවියන් බැලීමට පැමිණෙන අයට පහර දීමට තරම් බණ්‌ඩා පොලිසියට ඇති හයිය පිළිබඳවද ප්‍රශ්න කරමිනි. 

එහෙත් අවසානයේ මෙකී සියලු සිදුවීම් පොත් පත්වල සටහන් වූයේ නිලධාරින් ගැලවීමේ ක්‍රමවේදයට අනුව බව ඇතැම් බන්ධනාගාර නිලධාරින්ම අනාවරණය කරන්නේය. අපි ඉකුත් සතියේ බලධාරින්ගේ වුවමනාවට පිහිටුවාගෙන තිබෙන පනත් විරෝධී බණ්‌ඩා පොලිසියේ කෙරුවාවන් පිළිබඳ මනා හෙළිදරව්වක්‌ කෙරුවෙමු. එහිදී මෙකී "ප්‍රදර්ශන" බුද්ධි නිලධාරින්ට රාජ්‍ය ආයතන සංග්‍රහයට පිටින් යමින් විවේක වේලාවන්හිදී අතිකාල පැය කිහිපයක උරුමය හිමිකර දී තිබෙන අයුරුද හෙළි කර සිටියෙමු. එහෙත් දැන් සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද? බණ්‌ඩා පොලිසියේ එකී "ප්‍රදර්ශන" බුද්ධි නිලධාරින් මේ වන විට සේවයේ යෙදීමට අත්සන තැබීමෙන් පසු ගෙවා දමන පැය ගණනක කාලය විවේකී නොව අවිවේකී කර ගැනීම සඳහා පෙරට්‌ටුවක්‌ පටන් ගෙන ඇත්තේය. දැන් එකී පෙරට්‌ටුවේ සිටින කාලයට අතිකාල ලබා ගනිමින් සිටින්නේය. එහෙත් සාමාන්‍ය බන්ධනාගාර නිලධාරියකු පවතින නිලධාරි හිඟය හමුවේ දිනකට පැය 12 ක පමණ කාලයක්‌ සේවයේ යෙදුණද අතිකාල හිමි වන්නේ පැයක හෝ එකහාමාරක පමණකි. එසේ බලන කල පෙරට්‌ටුවට සිටින නෛතික නොවන බණ්‌ඩා පොලිසියේ නිලධාරින්ට පැය හයහතක අතිකාල වැටුපක්‌ හිමි වන්නේ නම් එය කොතරම් අසාධාරණ වන්නක්‌ද? මෙවන් තත්ත්වයක්‌ බන්ධනාගාර සේවය තුළ ඇති නොකොට නෛතික නොවන බණ්‌ඩා පොලිසියේ නිලධාරින්ගේ සේවය අවැසිව තිබේ නම් ඔවුන් නියමිත පරිදි සේවා මුර ක්‍රමයක්‌ යටතේ සේවයේ යෙදීමට බලධාරින්ට නොහැකිව ඇත්තේ ඇයි? රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ මෙන්ම මහා භාණ්‌ඩාගාරයේ බලධරයනි. අප මේ දූෂණය යළිත් පෙන්වා දෙන්නේ ඔබේ අවධානය කඩිනමින් යොමු කරනු පිණිස බවද සටහන් කළ යුතුව ඇත. 

මෙකී බණ්‌ඩා පොලිසිය ආරම්භ කිරීමේ කතාව පසුපසද අපූරු දේ තිබෙන්නේය. එය ආරම්භ කරනු ලැබුවේ මීට බොහෝ කලකට පෙර ව්‍යාජ උප්පැන්න සහතිකයක්‌ ඉදිරිපත් කරමින් බන්ධනාගාර සේවයට එක්‌වූ දැනට ඉහළම පුටුවක සිටින බලධාරියකු විසින් බව කියන්නේ බන්ධනාගාර නිලධාරින්ය. මෙ බලධාරියා කවුද? 

හේ වරක්‌ බන්ධනාගාර පුහුණු පාසලේ සිටියදී පුහුණු නිලධාරින්ගෙන් අයථා අන්දමින් රුපියල් පන්දහස ගණනේ රුපියල් ලක්‍ෂ ගණනක මුදලක්‌ එකතු කොට එකී එකතු කිරීම නීති විරෝධී බවට තීරණය වීමෙන් පසු ඉන් අඩක්‌ පමණ ගෙවා දමා තවමත් බන්ධනාගාර සේවයේ යෙදෙන්නෙකි. වැලිකඩ එල්ලුම් ගහේ ලෑලි රැගෙන යැම පිළිබඳවද ඉකුත් කාලයේ චෝදනා එල්ලවී තිබුණේ මෙකී බලධාරියාට එරෙහිව විය. එසේම මෙකී නිලධාරියා අද සිය නිලයේ බලයෙන් කර ඇති තවත් නීති විරෝධී කටයුත්තක්‌ අනාවරණය වෙමින් තිබෙන්නේ මෙසේය. වරක්‌ මොහු බන්ධනාගාර පුහුණු පාසලේ සිටියදී එහි තිබූ ආහාර බෙදන "බුෙµa" කට්‌ටලයක්‌ අතුරුදන් විය. ඔහුගෙන් පසුව පුහුණු පාසලට පැමිණි නිලධාරියා මේ අතුරුදන් වීම ගැන සොයා බැලීමේදී එක්‌වරම අරුම පුදුම ලෙස එය හමුවූ අතර අනතුරුව එකී අතුරුදන් වීම සඳහා එවකට පුහුණු පාසලේ ගබඩා භාරකරුව සිටි නිලධාරියාට විරුද්ධව විනය පරීක්‍ෂණය පැවැත්වින. අවසානයේ එකී විනය පරීක්‍ෂණයෙන් එම නිලධාරියා වරදකරු වූ අතර පසුව වැටුප් වර්ධක තුකක්‌ අහිමි කෙරෙමින් දින පහළොවක වැටුප් කප්පාදුවකටද යටත් කොට ඔහුව පල්ලේකැලේ කඳවුරට මාරු කිරීමට බන්ධනාගාර බලධාරීහු පියවර ගත්හ. එම නිලධාරියාට හිමි වූ දඬුවම එසේ වුවද අද සිදුව ඇත්තේ කුමක්‌ද? එකී නිලධාරියා මේ වන විට සිය ස්‌ථාන මාරුවද අවලංගු කර ගනිමින් වැටුප් වර්ධක තුන අහිමි වීමක්‌ද නොමැතිව ඉහත බලධාරියාගේ අනුහසින් දඬුවමින් අඩක්‌ වූ දින පහළවක වැටුප් කප්පාදුවට පමණක්‌ යටත්ව වැලිකඩ බන්ධනාගාරයේ සේවයේ යෙදී නොසිටින්නේද?

 බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල්තුමනි මේ සිදුව ඇත්තේ කුමක්‌ද? සියල්ල එසේ වෙද්දී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදර්ශන වෙළඳ කුටි ඉදි කරනු ලබන උපකරණ කට්‌ටල 34 ක්‌ මේ වන විට ඉහත දූෂිත නිලධාරියාගේ නිවසේ ගබඩා කර තිබෙන බවටද අනාවරණය වන්නේය. බලධරයනි මේ කෙරී ඇත්තේ නරියාට කුකුල්ලු භාරදුන් ආකාරයේ කටයුත්තක්‌ නොවේද? මෑත කාලයේ මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ සිදු වූ තවත් දැවැන්ත කඩා වැටීමක්‌ වූයේ වව්නියාව බන්ධනාගාරය වසා දැමීමට සිදු වීම විය. 

යුද සමයේ පවා වව්නියාව බන්ධනාගාරය මැනවින් පාලනය කරමින් එය භාරව සිටි දක්‍ෂ නිලධාරියකු ඉන් මාරු කර දමා ඇතැම් දූෂිතයන් පිරිසකට වව්නියාව බන්ධනාගාරය භාරදීමට වත්මන් බන්ධනාගාර බලධාරින් ක්‍රියා කිරීම හමුවේ එකී බිඳ වැටිම සිදු වූ බව නොරහසකි. මෙම ස්‌ථාන මාරුවෙන් පසු ඉකුත් කාලයේ එම දක්‍ෂ නිලධාරියා මීතිරිගල එළිමහන් සිර කඳවුරේ ප්‍රධානියකු ලෙස පත්වී තිබිණි. එහිදී හෙතෙම එතෙක්‌ මීතිරිගල ගොවිපළවලින් වාර්තා නොවූ දැවැන්ත අස්‌වැන්නක්‌ දෙපාර්තමේන්තුවට ලබා දීමට කටයුතු කරමින් සිටියේය. එහෙත් ඔහුගේ එකී දක්‍ෂතාව පසුගිය කාලයේ මීතිරිගල කඳවුරෙන් පොල් ගෙඩියේ සිට ගසා කෑ ඇතැම් බන්ධානාගාර ප්‍රධානින්ට වහකදුරු මෙන් වන්නට වැඩි කලක්‌ ගත නොවීය. එහි ප්‍රතිඵලය වූයේ බන්ධනාගාර බලධාරින් එක්‌ව යළිත් වරත් අබූත චෝදනා ගොන්නක්‌ එල්ල කර එම නිලධාරියා තවත් තැනකට මාරු කර දැමීම විය. දැන් එම නිලධාරියා තමන්ට ලබා දුන් එකී ස්‌ථාන මාරුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දක්‌වා ගොස්‌ සිටින්නේය. ඒද නිකම්ම නොව සිය පැමිණිල්ල මගින් බන්ධනාගාර බලධාරින් කිහිප දෙනකුගේ අපූරු කෙරුවාවන් රැසක්‌ද අනාවරණය කරමිනි. මේ වන විට එය අධිකරණයේ පවතින්නක්‌ බැවින් ඉන් එහා යමක්‌ අපි ඒ පිළිබඳ කතා නොකරමු. 

 නමුත් එකී ස්‌ථාන මාරුවලට ගොදුරු වූ බන්ධනාගාර නිලධාරියා මීතිරිගලට පැමිණීමට පෙර එහි සිටි ප්‍රධානින් මීතිරිගල තිබූ පොල් ගස්‌ 584 ක්‌ ගස්‌ පිටින්ම ගිල දමා තිබෙන බවද දැන් අනාවරණය වෙමින් තිබෙන්නකි. මෙරට බන්ධනාගාර බලධාරින්ගේ කටයුතු මෙසේ වෙද්දී සිරකරුවාගේ පැත්තෙන් බලන කල අද බන්ධනාගාර තුළ සිදුව ඇත්තේ මොනවාද? බන්ධනාගාර පනතේ 40 වගන්තිය ප්‍රකාර හිමි විය යුතු සියලු සහන අහිමිව අද සිරකරුවෝ නන්නත්තාර වී සිටින්නාහ. ඒ අතීතයේ පුද්ගලයන් 11700 ක්‌ පමණ රැඳවිය හැකි මෙරට සිරගෙවල් තුළ රැඳවියන් 25000 ටත් අධික ප්‍රමාණයක්‌ පොකුරු පිටින් ගාල් කරමින් වරදකරුවන් වුවද ඔවුන්ගේ සියලු මානව අයිතීන් කඩා බිඳ දමමිනි. 

වර්තමානයේ මෙරට සිරකරුවනට හිමි බන්ධනාගාර පනතේ 40 වගන්තිය යටතේ වන සමාවන් සහ වෙනත් විශේෂ සමාවන් අහිමිව ගොස්‌ ඇත්තේද ඇතැම් බන්ධනාගාර නිලධාරින්ගේ දූෂිත ක්‍රියා හමුවේ බවද දැන් දැන් කියෑවෙමින් ඇත්තේය. එම දූෂිත ක්‍රියා අතරේ මුදලට "කොමිටල්" හෙවත් දඬුවම් මාරු කිරීම, දඬුවම් කාලයේ ඉලක්‌කම් වෙනස්‌ කිරීම ආදී අකටයුතුම් රැසක්‌ම වන බවද බන්ධනාගාර අභයන්තරයෙන් ඇසෙන්නේය. 

මෙහිදී බන්ධනාගාර නිලධාරින්ට නැගෙන බරපතලම චෝදනාවක්‌ වන්නේ ඇතැම් කාලවලදී මෙරට විධායක ජනාධිපතිවරුන් ලබා දුන් පොදු සමාවන්වලට අදාළ ලේඛනයන්හි කරුණුද විකෘති කොට තිබෙන බවට කියෑවෙමින් තිබීමය. ඒ පිළිබඳ සොයා බැලීම බලධාරින්ගේ යුතුකමක්‌ බවද අපි පෙන්වා දෙන්නෙමු. මෙසේ සිරකරුවා නන්නත්තාර කෙරෙමින් බරපතල සමාජ ගැටලුවක්‌ නිර්මාණය වෙමින් තිබියදීත් දිගින් දිගටම දූෂිතයන්ට බන්ධනාගාර භාර දෙමින් ආණ්‌ඩුව අද කරනුයේ කුමක්‌ද යන්න අවසානයේ ප්‍රශ්න කළ යුතුව තිබෙන්නකි. මහත්වරුනි මෙය දුවන බළලුන්ට උම්බලකඩවලින් දමා ගසනවා හා සමාන නොවන්නේද? මේ සියල්ල හමුවේ අද අපට ආණ්‌ඩුවෙන් අසන්නට ඉතුරුව ඇත්තේද ඒ කතාව පමණකි. 

 -->