සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

| අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්
කොළඹ අගරදගුරු හිමි

ශ්‍රී ලංකා දේශය පුරා අවාසනාවන්ත ලෙස ප්‍රචලිත වෙමින් පවත්නා ප්‍රචණ්ඩත්වය, භේද බින්නවීම් මෙන්ම හිංසාකාරි ක්‍රියාකාරකම් සමස්ත සමාජය යම් ආකාරයේ ව්‍යාකූලත්වයකට ඇද දමමින් සිටින්නේ ය. නීතියේ ආධිපත්‍යය මෙන්ම සාධාරණත්වයේ නීති රීති හෑල්වලුවට ලක් වෙමින් පවතින බවක් ද දීස්වේ. මේ සියලු තත්ත්වයන් වල අධාර්මික ප්‍රතිපත්ති මත පිහිටා හිංසනය පිටු දකිමින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව හා මානව හිතවාදීව කටයුතු කිරීමේ වගකීම වෙත රජය ද සියලුම දේශපාලන පක්ෂ මෙන්ම ජනහිතකාමී බලවේග ද යොමු විය යුතු බව අපගේ හැඟීමයි.

මේ සඳහා පළමුව ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති තුමන් ඇතුලු මැති ඇමැතිවරුන් මීටත් වඩා පරිත්‍යාගශීලි කැපවීමකින් මෙන්ම නම්‍යශීලි බවකින්ද කටයුතු කළ යුතු බව පැහැදීලිය. මෙම නැඹුරුව වඩාත් අවශ්‍යව ඇත්තේ අප රට තුළ ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට විත් ශක්තිමත් වූ ජනාධිපති පාලන ක්‍රමය නිසාය. පරිපාලන බලය, වඩාත් මධ්‍යගත පසුබිමක ඇති විට නම්‍යශීලිව සැමගේ අදහස්, උදහස් සලකා බලමින්, ඒවාට ගරු කරමින් ක්‍රියා කිරීමේ සමතුලිත භාවයක් ගොඩනැඟීම රට පාලනය කරන්නට කැඳවීම ලබන්නන් තුළ තිබිය යුතු ගුණයක් වන්නේය. එවැනි නම්‍යශීලි වාතාවරණයක් පාලන තන්ත්‍රය තුළ නොමැති වුවහොත් රට තුළ භයානක අරගල බිහිවීම වැළැක්විය නොහැකිය. ඒ නිසාම ප්‍රජාතන්ත්‍රවාදය වෙත වඩාත් නැඹුරු වූ පාලන ව්‍යුහයක් ඇති කිරීමට වෙහෙසීම පාලන තන්ත්‍රය භාරව සිටින සියල්ලන්ගේ යුතුකමකි.

ඒ අතරම විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර සමතුලිත බල තුලනයක් වෙත නැඹුරු වීම ද වැදගත් වේ. අද පවතින විධායකයේ අඩුපාඩු ඇත්නම් එයට, මෙරට සියලුම දේශපාලන පක්ෂ එ∞ සිට ∞යක වී ඇති බව කිව යුතුය. එබැවින් වඩාත් ප්‍රජාතන්ත්‍ර හිතවාදී පාලන ව්‍යුහයක් සඳහා එකිනෙකා වෙත ඇඟිලි දීක් කිරීමෙන් බැහැරව සියලුම දේශපාලන බලවේග එකාවන්ව කටයුතු කිරීම රටේ පොදු උන්නතියට හේතු වන්නේ ය.

අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ අද ආරම්භ කරන සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය තුළින් සියලුම දේශපාලන හා ජනහිතකාමී සංවිධාන පවතින රජය සමඟ ද සංවාදයක යෙදෙමින් මේ රටේ අප මුණ ගැහෙන විවිධ මත භේදයන්ට පිළිතුරු සෙවීමට කටයුතු කරනු ඇතැයි මා සිතමි. මේ පිළිබඳව නම්‍යශීලිව ද, ධර්මයේ ප්‍රතිපත්ති වලට එකඟව එකිනෙකාට ගෞරව කරමින් ද එකිනෙකා ඉවසමින් ද කටයුතු කරන්නට අතිගරු ජනාධිපති තුමන්ගෙන් මෙන්ම අනෙකුත් දේශපාලන නායකත්වයෙන් ද කාරුනිකව ඉල්ලා සිටිමි. එලෙසම මෙරට අපට උරුමවන ප්‍රශ්න අප අතරම ශිෂ්ට සම්පන්නව නිරාකරණය කරගන්නට ද, අප රට තුළට විදේශීය බලවේග අත පෙවීම අවම කරගන්නට ද අපට හැකි වනු ඇත. අප හමුවේ ඇති එවැනි තත්ත්වයන්ට බුද්ධිමත්ව ද, ධාර්මික බව පෙරදැරි කර ගනිමින් ද පිළිතුරු සොයමු. ලක්මවදීනේවා!