අමරේලාගේ සහ රාජපක්ෂලාගේ කතාව


l ශාන්ත විජේසූරිය

උතුරු හා නැගෙනහිර වෙනම පාලනයක් ගෙන ගිය එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කර, අදට අවුරුදු තුනයි මාසයක් ගත වී ඇත. යුද්ධයට පෙර අපේ රටේ ඊනියා බුද්ධිමතුන් ගේ සිට අති බහුතරයක් දෙනා හිතුවේ, අපි මුහුණ දෙන ආර්ථික දේශපාලන සහ සමාජමය ප‍්‍රශ්න වලට මෙන්ම අපරාධ වලට ප‍්‍රධාන හේතුව යුද්ධය කියාය. නමුත් යුද්ධය අවසන් වී වසර තුනක් ගතවී ඇතත්, යුද්ධ පැවති කාලයට සාපේක්ෂව අප මුහුණ දෙන ආර්ථික දේශපාලන සහ සමාජමය අර්බුද මෙන්ම අපරාධවල වර්ධනය වීමක් මිස අඩුවීමක් දක්නට නැත. ආණ්ඩුව යුද්ධයට පෙර දෙමළ ජනතාව සිටි තත්ත්වයට වඩා පහළට ඔවුන්වඇඳ දමා ඇත.

වාර්ගික යුද්ධය ධනපති ක‍්‍රමයේ අනිවාර්ය ප‍්‍රතිඵලයකි. යුද්ධයත් ධනපති ක‍්‍රමයත් දෙකක් ලෙස තේරුම් ගත් බොහෝ දෙනා, ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාවක් යස ඉසුරින් පිරි දිවයිනක් බවට පත්කරනු ඇතැයි මිත්‍යාවක සිටියහ.

දරුවන් වැදුවත් ඔවුන්ට කන්න, බොන්න සහ අදින්න දෙන්න විධියක් නැති නිසා, දරුවන් වලදමන, ගඟට විසි කරන, ලාච්චුවල දමා මරා දමන සමාජයක් රාජපක්ෂලා මෙරට නිර්මාණය කර ඇත.

යුද සමයේ මෙන්ම යුද්ධයෙන් පසුවත්, මෙරට සිදු වූ සෑම සංවිධානාත්මක මිනීමැරුමකට සහ පැහැර ගෙන අතුරුදන් කිරීම් වලට රාජපක්ෂ ආණ්ඩුව ඍජුව වගකිව යුතුය.

රාජපක්ෂ ආණ්ඩුව තම විරුද්ධවාදීන්ට එරෙහිව රාජ්‍ය ත‍්‍රස්තවාදය යොදා ගන්නවාට අමතරව සමාජ ක‍්‍රමයේ කුණුවීමේ ප‍්‍රතිඵලයක් ලෙස බිහිවන ගැමි සහ නාගරික පාදඩ පංති කොටස් ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් යොදා ගනී.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පාතාලයේ සහ කුඩු ජාවාරම්කාරයෝ වැනි පුද්ගලයින් පැහැරගෙන ගොස් අතුරුදන් කරන අතරම, ඔවුන්ට පක්‍ෂපාතී, ඔවුන් කියන දේ කරන නිල පාතාලයන් අනික් පැත්තෙන් ගොඩනඟමින් සිටිති. එවැනි මිනීමරු පාතාලයක් ගොඩනගන බවට ඇති හොඳම උදාහරණය ගීගන ගමගේ අමරේ නොහොත් ජුම්ලපිටියේ අමරේය.

පසුගිය 15 දා (2012.06.15) ජුලම්පිටිය අමරේ තවත් මැර පිරිසක් සමඟ ගොස් හැඩිවත්තේ ජවිපෙ සාමාජිකයකු ගේ ගෙදර පැවති රැස්වීමකට කඩා වැදී වෙඩි තැබූවේය. එම වෙඩි තැබීමෙන් ජවිපෙ සාමාජිකාවක් වන එදිරිමාන්නලා ගේ මාලනී (50) සහ ජවිපෙ කිසිදු සම්බන්ධයක් නොමැති ජයසේන පතිරණගේ නිමන්ත හේෂාන් (18) නැමැති තරුණයා ඒ තැනම මිය ගියේය. මෙම ප‍්‍රහාරයෙන් තවත් පිරිසකට තුවාල සිදු වූහ.

මෙම ප‍්‍රහාරයට ආසන්න හේතුව ලංකා පුවත් පතේ ‘මැදමුලනින් කිරි පොවන දඩබල්ලා බැඳ දමනු ‘යනුවෙන් ඵල වූ ලිපිය බව කියති.

ජුම්ලපිටිය අමරේ සහ තවත් මැර පිරිසක් යතුරු පැදි පහකින් රැස්වීම් භූමියට පැමිණ වෙඩි තබා රැස්වීම් භූමියේ සිටි පිරිසට පොලූවලින් පහර දුන් බව එල්.ආර්. සරත්, මිද්දෙණිය පොලිසියට සහ කොළඹින් පැමිණ රහස් පොලිස් නිලධාරීන්ට කට උත්තර ලබා දී ඇත.

අමරේ සහ තවත් මැර පිරිසක් ජවිපෙ රැස්වීම් භූමියට පැමිණ වෙඩි තබා කාන්තාවක් සහ තරුණයකු ඝාතනය කළ බවට ඇසින් දුටු සාක්කි තිබියදීත්, පොලිසිය ජුලි 19 වන දින අමරේ තංගල්ල මහාධිකරණය බාරවන තෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ නැත.

නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පරීක්ෂණ කණ්ඩායම් හතරක් පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මාධ්‍යයට ප‍්‍රකාශ කළේය. එම පොලිස් කණ්ඩායම් හතරෙන් එක කණ්ඩායමක් හෝ අමරේගේ රාජ්‍ය වන ජුලම්පිටියට ගියේ නැත.

සිද්ධිය වූ විගස ජවිපෙ පිරිස කලහාකාරී ලෙස හැසිරීමට ඉඩ ඇතැයි ආණ්ඩුව රටට පෙන්වා ජුලම්පිටිය අමරේ ආරක්ෂාව සඳහා ජුලම්පිටිය කටුවන සහ මිද්දෙණිය අවට ප‍්‍රදේශවල යුද හමුදාව සහ විශේෂ කාර්ය බලකාය යොදවන ලදී.

කටුවන ජවිපෙ රැස්වීමට පහර දුන්නෙ මෑතකදී එම පෙරමුණෙන් කැඩිලා ගිය පිරිසක් බව, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය ප‍්‍රකාශක ලක්ෂ්මන් හුළුගල්ල මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුණි. කටුවන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය එම සිද්ධි ඇසින් දුටුවන් ගෙන්, කට උත්තර ගන්නටත් මත්තෙන්, කටුවන ජවිපෙ රැස්වීමට පහර දුන්නේ එම පෙරමුණේ මෑතකදී කැඩිලා ගිය පිරිසක් යයි හුළුගල්ලේට කියන්න තිබෙන සාක්ෂි මොනවාද? ජවිපෙ මෑතකදී කැඞී ගිය පිරිස කටුවන ජවිපෙ රැස්වීමට පහර දෙන්නට ගියේ, හුළුගල්ලට දැනුවත් කරලා ද?

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කරවිට මහතා ගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් කටුවන ප‍්‍රදේශය පිටත් කර යැව්වේ ජුලි 17 වැනිදාය.

පොලිස් කණ්ඩායම් ජුලි 17 වන දා හැඩිවත්තේ සිද්ධිය වූ ස්ථානය යනවිට ලියුම්කරුද ඒ ස්ථානයට ගොස් සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කරන්නට මත්තෙන්, හුළුගල්ල කටුවන සිද්ධියට ජවිපෙ මෑතකදී කැඞී ගිය පිරිසක් සම්බන්ධ බව දැන ගත්තේ කෙසේද? හුළුගල්ල ඒ දැන ගත් විධිය දැන ගන්නට මාධ්‍යවේදීන් මෙන්ම මේ රටේ ජනතාවට අයිතියක් ඇත. හොරාට කලින් කෙසෙල් කැන වැට පනිනවා කියලා කියමනේ මෙවැනි දේවලටය.

ජාතික ආරක්ෂාව පිළිබඳව මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටු වන්නේ රටේ ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගත වූ අවස්ථාවක මාධ්‍ය මෙන්ම රටේ ජනතාවත් දැනුම්වත් කිරීමටය. ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානය තිබෙන්නෙ ක‍ටුවන මීනීමැරුම් දෙකත් සමග මීනීමැරුම් 24ක් මංකොල්ල කෑම් 15ට සම්බන්ධ, වරෙන්තු පහළොවක් තිබෙන සහ ස්ත‍්‍රී දුෂණ චෝදනා එල්ල වී ඇති මැදමුලන වලව්වේ දන්කූඩ වලට මිනීමරණ පුද්ගලයකු ආරක්ෂා කිරීමට නොවේ.

කටුවන ජවිපෙ රැස්වීමට පහර දුන්නෙ එම පෙරමුණේ මෑතකදී කැඩි ගිය පිරිසක් යැයි හුළුගල්ල පුන පුනා කියන්නට යෑමෙන්, රාජපක්ෂවරුන් අමරේ ආරක්ෂා කිරීමට ඇති උවමනාව විද්‍යාමාන විය.

අමරේ හැඩිවත්තේ ජවිපෙ රැස්වීමට පහර දෙමින් සිටියදී එනම්, ඔවුන් පැමිණ විනාඩි විස්සකට පසු ඔහුගේ ජංගම දුරකතනය ඇමතුමක් ලැබී ඇති බවත්, එම දුරකථන ඇමතුමත් සමඟ’’හරි දැන් යමල්ලා’’ කියා අමරේ පැමිණි පිරිසත් සමඟ ගොස් තිබේ.

ආවා යැයි කියන එම දුරකථන ඇමතුමත් සමඟ අපට නිගමනය කළ හැක්කේ, ජවිපෙ රැස්වීමට කළ මෙම ප‍්‍රහාරය අමරේ හුදු පෞද්ගලික කෝන්තරයක් මත පමණක් සිදුවූවක් නොවන බවයි.

කටුවන ජවිපෙ රැස්වීමට පහර දුන්නේ ජවිපෙ මෑතකදී කැඩිය ගිය පිරිසත් යයි ආණ්ඩුව කියද්දීත් ජවිපෙ ආණ්ඩුවේ වලේ නොවැටී පරිනතව කටයුතු කිරීම ගැන අප සැබැවින්ම ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පේ‍්‍රමකුමාර ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මහත්මිය පැහැරගත් අවස්ථාවේ සමහරු ජවිපෙ දිහා සැකෙන් බලද්දී, පෙරටුගාමී සහෝදරවරු කිසිදු සැකයකින් තොරව ඇඟිල්ල දිගු කළේ ආණ්ඩුවටය.

ආණ්ඩුව රටේ ලේ වැගිරීම් ඇතිකර තමන්ගේ විරුද්ධවාදීයා වළලා දැමීමට ආණ්ඩුව කැපූ වලේ ආණ්ඩුවම වැටී තිබේ. අමරේ බේරා ගන්නට රාජපක්ෂවරු මොන තරම් දැගලූවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය කළ හෙළිදරව් කිරීමත්, කටුවන ඝාතන සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි ජවිපෙ ගෙන ගිය උද්ඝෝෂණයත් හමුවේ වෙනත් නඩුවක වරෙන්තුවකට යැයි කියා හෝ ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන්නට රාජපක්ෂවරුන්ට අවසානයේ සිදු විය.

රාජපක්ෂට ඔහුගේ පෞද්ගලික සහ දේශපාලන ජීවිතය ඇතුළේ කීර්තිමත් ඉතිහාසයක් තියා අඩුම තරමේ ඔහුට ඔහු ගැන සතුටු විය හැකි ඉතිහාසයක්වත් තිබේදැයි සැක සහිතය.

රාජපක්ෂ ඔහුගේ දේශපාලන ඉතිහාසය පුරාම, මෙම සමාජ ක‍්‍රමයේ ප‍්‍රතිඵලයක් ලෙස සමාජ දුවිලි බවට පත්වූ විතාරන්දෙණියෙ උක්කුවා, දම්මුල්ලෙ චණ්ඩි සහ සූරිය වැව වම්බෝට්ටා වැනි පුද්ගලයින් ඔහු යොදා ගත්තේය.

තාත්තා ගිය පාරේ නොගිය එකා, නොට්ටිගේ පුතා යැයි කියා අපේ සමාජයේ පැරැණි කියමනක් ඇත. මෙම කියමන රටේ සෑම දරුවෙකුටම ගැලපුනේ නැතත් 'ඔටුන්න හිමි කුමාරයාට' නම් කදිමට ගැලපේ. මන්ද ඔටුන්න හිමිකුමාරයා පියා ගිය අඩිපාරේ යමින් දේශපාලන දිවිය ආරම්භ කර ඇත්තේ ජුලම්පිටිය අමරේලා සහ දම්මුල්ලේ චණ්ඩි මල්ලීගේ පුතාලා වට කොට ගෙනය. අමරේ නිල් බලකා සංවිධානයේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ නායකයෙකි. 2010 පැවැති මහමැතිවරණයේදී චමල් රාජපක්ෂ ට ඡන්දය නොදී නාමල් රාජපක්ෂට පමණක් ඡන්දය ලබා දෙන ලෙස අමරේ ජූලම්පිටියේ පැවැති මැතිවරණ වේදීකාවේදී ප්‍රකාශ කළ බව ගම් වැසියෝ කියති.අමරේ කරනු ලැබූ මෙවැනි ප්‍රකාශවලින් විද්‍යමාන වන්නේ රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර අර්බූධයය.

අමරේ කියන්නේ කවුද?

අමරේ ගම ජුලම්පිටියයි. හීන් කොරටුවේ කළු මහත්තයා කියන්නෙ ඔහුගේ පියායි. අමරේ පියා ධීවර අමාත්‍යාංශයේ රියදුරෙකු වශයෙන් රැකියාවක් කර ඇත. අමරේ අම්මා ගාල්ලේ කාන්තාවකි. අමරේ පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ හයවන පංතිය දක්වා පමණි. ඔහුට අක්කා කෙනෙක් සහ මල්ලී කෙනෙක් ඇත. අමරේට ඉඩම් වලට ඇති කෑදරකම නිසා ඔහු ගේ සහෝදරිය සහ සහෝදරයා ගමෙන් පන්නා ගෙන තිබේ. අමරේ අවුරුදු 18 ක පුතෙක් ඇත. ඔහු ද ඔහු ළඟ නැත. අමරේ තාත්තයි අම්මයි අද ජීවතුන් අතර නැත. ඔවුන් ජීවතුන් අතර සිටිය දී අමරේ බීමතින් පැමිණ අම්මාටයි තාත්තාටයි පහර දෙන බව ගම්මු කියති.
අමරේ විවිධ මැර වැඩ සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාර ගත වන්නේ අවුරුදු 18 දීය.

අමරේ මුලින් නිරූපමා රාජපක්ෂට අයත් කොන්දගල වලව්වේ මුරකරුවෙකු ලෙස සේවය කොට ඇත. නිරූපමා අදටත් අමරේට අවශ්‍ය දේවල් සපයන්නීය. ඔහුට දේශපාලන මැර වැඩ සඳහා කවා පොවා ඇති දැඩි කළේ නිරූපමා රාජපක්ෂ මහත්මියයි.

තංගල්ල බන්ධනාගාරයේ නිලධාරීන් ප‍්‍රාණ ඇපයට ගෙන එහි සිරකරුවෝ 2002 ජුලි 02 වැනිදා කැරැල්ලක් ගැසූහ. එම කැරැල්ල අවස්ථාවේ අමරේ සිටියේද තංගල්ල බන්ධනාගාරයේය. ඔහු ඒ කැරැල්ලේ කැපී පෙනෙන පුද්ගලයා බවට පත්විය.

එවකට පැවති ආණ්ඩුව කැරැල්ල සන්නද්ධ හමුදා යොදා මර්දනය කරන්න යද්දී, ඒවකට විපක්ෂ නායකව සිටි ජනාධිපති රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අභ්‍යන්තර කටයුතු ඇමති ජෝන් අමරතුංග සමඟ තංගල්ල බන්ධනාගාරයට ගියේය.

‘‘අමරේ... අමරේ... මම මහින්ද, එළියට බැහැපන්...’’ යැයි කියා ජනාධිපති රාජපක්ෂ අමරේට කථා කළේය. අමරේ ජනාධිපති රාජපක්ෂ විශ්වාස කර එළියට පැමිණියේය. ජනාධිපති රාජපක්ෂ ගේ විධානයට එළියට පැමිණි අමරේ ගැන, රාජපක්ෂට ලොකු ආඩම්බරයක් ඇති විය. ජනාධිපති රාජපක්ෂ සහ අමරේ අතර විශ්වාසය ගොඩ නැගෙන්නේ ඒ අයුරිනි.

අමරේ ගෙ අපරාධ කැරැට්ටුව

නෙළුවේ ප‍්‍රියන්ත ගෙන් පස්සේ දකුණේ පාතාලයේ කෙරුමා බවට අමරේ නිතරගයෙන් පත් විය. නෙළුවේ ප‍්‍රියන්ත මීට අවුරුද්දකට පෙර විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට ගෙන වද දී මරා දැමුවේය. අමරේ මුලින් ප‍්‍රියන්ත සමඟ වාසය කළේය. පසුව ඔහු ප‍්‍රියන්ත සමඟ අමනාප වීය. අමනාපය කොතරම් දුර දිග ගියේ ඇයි කීවොත් ප‍්‍රියන්ත අමරේ මරන්න කීපවතාවක්ම උත්සාහ කළේය. විශේෂ කාර්ය බලකායෙන් ප‍්‍රියන්තව අත්අඩංගුව ගත් පසු ඔහුට වධ දී මරා දමන්නේ ද අමරේ විසින් යැයි කියති.

අමරේ පුද්ගල ඝාතන 24 සහ මංකොල්ල කෑම් 15කට සහ වාහන හා ගෙවල් ගිනි තැබීම් 20කට පමණ සම්බන්ධය. අමරේ සිදුකර ඇති පුද්ගල ඝාතන 24 න් අටක්ම ජුලම්පිටිය ගමේ පුද්ගලයෝ වෙති.

ජූලම්පිටියේ අක්කර තුනේ ගෙදර පදිංචිව සිටි ක්‍රිෂාන්ත මංජුල, ඔහුගේ මිතුරෙකු වන අමිලගේ නිවසේ නිදා සිටියදී අමරේ විසින් පැහැරගෙන ගොස් මරා දැමුවේය.

පසුව ඔහුගේ මළ සිරුර මිද්දෙනිය බෝකැන්ද යායේ සුනිල් නැමැත්තාගේ නිවස ඉදිරිපිට දමා ගොස් තිබිණි. මංජුල ක්‍රිෂාන්ත, ජුලම්පිටිය ගමේ සිටි කඩවසම් සහ සටන් ශිල්ප ක‍්‍රම පිළිබඳ හැදැරූ තරුණයෙකි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රධානත්වයෙන් 2011 යේ වළස්මුල්ලේ පැවති රැස්වීමට අමරේ සහ ඔහුගේ ගෝලයින් කඩා වැදී වෙඩි තබා රැස්වීම කඩාකලප්පල් කළහ. අමරේ මෙම රැස්වීමට පහර දීම සඳහා පැමිණ සිට ඇත්තේ යුද හමුදා ඇදුමට සමාන ඇදුමකින් සැරසී ගෙනය. අමරේ රැස්වීම් අසල තිබූ ට‍්‍රාන්ස්පෝමරයකට වෙඩි තැබීම නිසා විදුලි රැහැනක් පහර දෙන්නට පැමිණි මැරයකුගේ ඇඟ මත කඩා වැටී, විදුලි සැර වැදීම නිසා මැරයා එම ස්ථානයේම මිය ගියේය. එම මිය ගිය මැරයා විහාරන්දෙණිය ප‍්‍රදේශයේ පුද්ගලයකු වන අතර ඔහුගේ අවසන් කටයුතු රහසිගත ස්ථානයක සිදු කෙරී තිබේ.

අමරේ, ගල්පොත්තයායේ ගෙදර බේබි මල්ලි සොයා ගෙන ඔහු ගේ නිවසට ගියේය. බේබි මල්ලි චමල් රාජපක්ෂ මහතාගේ රියදුරෙකි. ඔහු රාජපක්ෂට මේ ගැන දැනුවත් කළේය. රාජපක්ෂ, අමරේ සහ බෙබිව මැදමුලන වලව්වට ගෙන්වා ගෙන සමාදාන කළේය.

කංකානම්ගේ ගුණපාල හෙවත් ගල්වාඩිගේ බාල මහත්තයාට (61) 2011 අගෝස්තු 11 වැනිදා රාත‍්‍රියේ පහර දී ඔහුගේ අත් දෙකම කඩා දමා බාලමහත්තයා ගේ කඩය ද ගිනි තැබූවේය. බාලමහත්තයා ගේ අත් දෙකම කඩා ඔහුගේ කඩය ගිනි තබා ඇත්තේ ජුලම්පිටියේ අමරේ සහ ඔහුගේ ගෝලයකු වන නාවික හමුදාවෙන් පැන ආ මිරිස් සමන් සමගය. බාල මහත්තය එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෙකි.

වී ලෑන්ඩි සමූහ ව්‍යාපාරයේ අධිපති සමන් වීරසිංහ (38) මහතා මළ ගෙදරක ගොස්, ගෙදර යමින් සිටියදී 2005 පෙබරවාරි 25 වන දා මඟ සැගවී සිටි පුද්ගලයකු තැබූ වෙඩි පහරකින් මිය ගියේය.

2004 දකුණු පළාතේ හොඳම මාර්ග ප‍්‍රවාහන සේවයට හිමි සම්මානය වීරසිංහ විසින් හිමිකර ගත්තේය. වීරසිංහ 2005යේ ජනාධිපති වරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රචාරක කටයුතු වලට මුදල් මෙන්ම බස් රථ ලබා දී ඇත. වීරසිංහට මැද මුලන වලව්වට රැගෙන ගොස් රාජපක්ෂවරුන්ට, හඳුන්වා දී ඇත්තේ අමරේ විසින්ය.

පසුව අමරේ, වීරසිංහ ගෙන් රුපියල් ලක්ෂයක් සහ වායු සමනය කළ ලොරියක් ඉල්ලා ඇති බවත් වීරසිංහ එය ලබා නොදීම නිසා අමරේ ඔහු සමඟ අමනාප වී තිබේ. මෙම අමනාපය දුර දිග යෑම නිසා අමරේ වීරසිංහට ඝාතනය කළ බව ජුලම්පිටි ජනතාව කියති.

නමුත් වීරසිංහ ඝාතනයට සැකකර ඔහු ළඟ සේවය කළ ‘පොඩි මාමා’ නැමැත්තා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පහර දීම නිසා ඔහු අද අංශභාග රෝගියකු බවට පත්ව ඇත.

මල්හේවාගේ , හිච්චි මාමා ගේ අක්කර දෙක ඉඩමක් අමරේ බලෙන් අල්ලා ගෙන එහි ආදායම් ලබා ගත්තේය. පස්සේ හිච්චි මාමා (ජවිපෙ සාමාජිකයෙක්) අමරේ ට විරුද්ධව තංගල්ල අධිකරණයේ නඩුවක් පැවැරුවේය. නඩුවෙන් හිච්චි මාමාට ඒ ඉඩමේ අයිතිය නැවත ලැබිණ. 

පිස්කල්කරු මගින් ඉඩමේ මායිම් ලකුණු කර දීමෙන් පසු හිච්චි මාමා ඒ ඉඩමේ වැට ගැසීමට සූදානම් වූයේය. ඉඩමේ වැට ගැසීම සඳහා හිච්චි මාමා ගේ සහෝදරියන් දෙදෙනාගේ ස්වාමිපුරුෂයෝද පැමිණ සිටියහ. හිච්චි මාමා ගේ එක් සහෝදරියකගේ ස්වාමි පුරුෂයා පොලිස් නිලධාරියෙකි. වැට ගැසුවා කියා අමරේ ඒ පොලිස් නිලධාරියාට පරහ දී ඔහු ලව්වා සවිකර තිබු සියලූම කණු උගුලා දැමුවේය. පසුව අමරේ ගේ පහර කෑ පොලිස් නිලධාරියාව ඔහුගේ ඥාතින් මාතර රෝහල ඇතුළත් කර ඇති අතර අමරේට එරෙහි කිසිදු පරීක්ෂණයක් නොකෙරිණි.

අමරේ අක්කර 100ක පමණ ඉඩම් ප‍්‍රමාණයක් බලහත්කාරයෙන් අල්ලා ගෙන භුක්ති විදියි. මෑතකදී ඔහු මිද්දෙනිය මෝලන්යායේ අක්කර 20ක පමණ බලහත්කාරයෙන් අල්ලා ගෙන කැබිලි වලට කඩා විකුණා ඇත. මෙම ඉඩම කැබිලි කර විකුණා ඇත්තේ අමරේට ඇප දී දඬුවම් විදින ඇපකරුවන් බේරා ගැනීම සඳහා යැයි කියති.

අමරේ ගෙන් පහරක් නොකෑ තරුණයෙකු ජුලම්පිටියේ සිටි නම් ඒ ඔහු සමඟ සිටින අයකු පමණි. ජුලම්පිටිය ගමේ සමහර තරුණයන්ට අමරේ රොබින් හුඞ් කෙනෙකි. නමුත් ජුලම්පිටිය ගමේ අතිබහුතරයක් ගැමියෝ අමරේට ශාප කරති.

අමරේ විසින් අතපය කඩපු, ඇස් අන්ධ කළ, අතපය පුච්චපු, පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලපු සහ වෙඩි තැබු තවත් සියදෙනෙකු පමණ ජුලම්පිටියෙ ගමේ සිටිති.

අමරේ ටී 56 යේ ස්වයං ක‍්‍රීය ගිනි අවිය කරේ එල්ලා ගෙන මිද්දෙණිය,මුරුතවෙල,වීර කැටිය ,කටුවන, වළස්මුල්ල, සහ ජුලම්පිටියෙ නගර වල සැරිසරයි. අමරේ ටී 56යේ ගිනි අවිය කරේ එල්ලා ගෙන නගරවල සැරි සරද්දී පොලිස් නිලධාරීන් එක්කෝ ඔහු මඟ හැර යති නැතිනම් අහක බලා ගෙන යති. ජුලම්පිටිය ගමට අමුත්තෙක් එනවිට අමරෙගෙන් අවසර ගතයුතුය. එසේ නොවී අමරේට අසු වුණොත් ඔහු නැවත යන්නේ ගෙදර නොව රෝහලටය.

අමරේ එක අවස්ථාවක සන්නා සන්නද්ධව නිරූපමා රාජපක්ෂගේ කැබිරථයෙන් ගමන් කරද්දී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන පසුව ඉහළ නියෝගයක් මත මුදා හැර තිබේ.

අමරේ සහ ජවිපෙ 1989 දී ජූලම්පිටියේ අමරේව ජේවීපී කාරයකු යයි සැක කොට ජූලම්පිටියේ අම්රේව හමුදාව මගින් අත් අඩංගුවට ගන්නා ලදී. පසුව අමරේ ගෙන් ජවිපෙ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා වධහිංසා පමුණුවා අවසානයේ ඉස්ත‍්‍රිරික්කයක් රත් කර ඔහුගේ පිට පුච්චා ඇත.

හමුදාවෙන් අමරේ අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණ වූයේ ජවිපෙ ක්‍රියාකාරකම් නිසා යයි ඔහු විස්වාස කළ නිසා එතැන් පටන් ඔහු ජවිපෙට වෛර කරන්නට පටන් ගත්තේය. ජවිපෙ සාමජිකයකු වූ පැටි අයියාට පහරදී ඔහුගේ ත‍්‍රීරෝද රථය අමරේ විසින් ගිනි බත් කළේය. පැටි අයියා අමරේට එරෙහි ව නඩු අංක 96236/94 යටතේ තංගල්ල උසාවියේ නඩුවක් ගොනු කර තිබේ.

ජලම්පිටිය හංදියේදී ජවිපෙ සාමාජිකයන් දෙදෙනකු වන ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජිනදාස කිතුලගොඩගේ බාල සොහොයුරා වන කිරිමහත්තයාට සහ ඉස්කෝල මහත්තයාට පහර දී ඔවුන් ගමන් කළ ත‍්‍රීරෝද රථය අමරේ විසින් පෙරළා දැමුවේය. ඔවුන් අමරේට එරෙහිව මේ පිළිබඳ පැමිණිල්ලක් මිද්දෙණිය පොලිසියට දමා ඇත.

අමරේ පහර දීම නිසා කිරිමහත්තයා අදටත් ගමට නොපැමිණෙයි.

අමරේ ගැන සහ මැදමුලන වලව්ව සම්බන්ධ කර 'ලංකා' පුවත් පතේ ඵල වූ ලිපියට, තොරතුරු ලබා දුන්නා යැයි කියා, අමරේ ජුලම්පිටිය ගමේ විසිදෙනකගේ පමණ අතපය කපා දමා තිබේ.

මෙරට සන්නද්ධ කැරැලි දෙකකට නායකත්වය දුන්, ජුලම්පිටියේ ජවිපෙ සහෝදරවරුන් අමරේ ඉදිරිපිට ප‍්‍රගුණ කරන මේ ඉවසීම ප‍්‍රාතිහාර්යයක් මිස බියගුළු කමක් නම් නොවේ.

ජුලම්පිටිය අමරේ මේ සමාජ ක‍්‍රමයේ ප‍්‍රතිඵලයකි. අපි අමරේට පෙර ගෝනවල සුනිල්, සහ සොත්ති උපාලිලා අපි දැක ඇත්තෙමු. මෙරට දේශපාලනඥයන් තමන් ගේ පාදඩ දේශපාලන අරමුණු වෙනුවෙන් ඉතිහාසය පුරා සාමජයෙන් පිට මං කළ මෙවැනි පුද්ගලයන් යොදා ගෙන තිබේ. අමරේ අපරාධකාරයකු බවට පත් කළේ, පොලිසිය නොව රාජපක්ෂවරුන්ය. අමරේ ගේ අතේ ඇගිලි අතර තැවැරුනු අහිංසක මිනිසුන් ගේ ලේ වලට රාජපක්ෂවරු වගකිව යුතුය.

ආර්. එල්. සරත් (43)

මම ව්‍යාපාරිකයෙක්. මම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක්. 2012.06.15 වෙනිදා කටුවන කඩිවත්ත අපේ සාමාජිකයෙක් ගෙදර රැස්වීමක් තිබුණා. ඒ රැස්වීමට කථිකයෙක් විදියට බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී වෛද්‍ය නලීන් ජයතිස්ස සහෝදරයත් සහභාගි වුණා. ජයතිස්ස සහෝදරයා කථා පටන් අරගෙන විනාඩි විස්සක් විතර යද්දී. ජුලම්පිටිය පැත්තෙ ඉඳලා මෝටර් සයිකලයක් ඇවිල්ලා රැස්වීම ළඟ නතර කළා. ඒ මෝටර් සයිකලේ දෙන්නෙක් හිටියා. එක් කෙනෙක් අත ටී 56 යේ තුවක්කුවක් තිබුණා. මම හිටියේ රැස්වීම පිටුපස්සේ. ටී 56යේ තුවක්කුවත් අතැති මෝටර් සයිකලයෙන් බැස්ස පුද්ගලයා රැස්වීම පැත්ත වෙඩි තිබ්බා. වෙඩි දහයක් විතර තිබ්බා.

මම බැලූවා කවුද කියලා බලනකොට ටී 56 තුවක්කුව අතේ තිබුණු පුද්ගලයා ජුලම්පිටිය අමරේ කියලා මම අදුර ගත්තා. පස්සේ බයිසික ල් වලින් ආපු දෙන්නෙක් පොලූ අරගෙන ඇවිල්ලා ගේ ඇතුලේ තිබුණු බඩු මුට්ටු වලට පහර දුන්නා. වෙඩි තියන කොට රැස්වීමේ හිටපු අය සීසී කඩ දුවන් පටන් ගත්තා. මම ඊට පස්සේ පාර පැත්තට බැහැලා ගියා. අමරේ ගේ ඇතුළට ඇවිල්ලා රැස්වීම තිබුණු ගෙදර රංජිත් ලියනගේ ගේ පුතෙකුට පොල්ලකින් පහර දෙනවා දැක්කා. ඒත් එක්කම අමරේ ට දුරකථන ඇමතුමක් ආවා. දුරකථන ඇමතුමත් සමඟ හරි යමල්ලා කියලා අමරේ කට්ටියත් සමඟ බයිසිකල් වල නැගලා ගියා. අමරේ හමුදාවේ කැලෑ ඇදුමට සමාන, කොට කලිසමක් සහ දුඹුරු පාට ටී ෂර්ට් එකක් ඇදගෙන හිටියා. මම කලින් අමරේව හඳුරනවා. අමරේත් එක්ක දහදෙනෙක් විතර ආවා. අමරේ මීට කලිනුත් මේ ප‍්‍රදේශයේ අපරාධ රැුසකට සම්බන්ධ පුද්ගලයෙක් රාජපක්ෂලාගේ හෙංචයියෙක්.

එස්. කීර්තිපාල (45)

මට දරුවෝ හතර දෙනක් ඉන්නවා. රැකියාවක් වශයෙන් කරන්නේ ගොවිතැන. අමරේගේ ගෝලයෙක් වන චතුරට අපි ගැහුව්වා කියලා 1998 අවුරුද්දේ රාත‍්‍රියක මම බත් කා කා ඉන්නකොට ඇවිල්ලා මගේ දකුණ කකුළට වෙඩි තියලා කැඩුවා. ඒ වෙලා මගේ ගෙදර හිටපු යාළුවෙකුටත් තුවාල වුණා. මම වෙඩි කා ගෙන ළඟම තිබුණු කැලයකට ඇදුනා. පාන්දර හය වෙනකම් අමරේට බයේ, ඉස්පිරිතාලෙට යන්න වාහනයක් ආවේ නැහැ. වීරකැටිය ඉස්පිරිතාලෙට අරගෙන ගියා. එතැනින් මාතරටත් මාතරින් ගාල්ලේ කරාපිටිය රෝහලටත්, අරගෙන ගියා. කරාපිටිය රෝහලේ මාසයක් හිටියා පස්සේ ගෙදර යන්න බැරි නිසා තණමල්විල මල්ලිගේ හේනට ගියා. ටික දවසකට පස්සේ අමරේ තවත් දෙනේනෙක් මම හිටපු හේනට ඇවිල්ලා මගේ වම් කකුල පොල්ලකින් ගහලා කැඩුවා. මල්ලී බලාගෙන ඉන්නැද්දීම, අමරේ ගේ අතේ ගල්කටස් එකකුත් බෝම්බයකුත් තිබුණා. පස්සේ රත්නපුර රෝහලට ඇතුළත් කළා. රත්නපුර රෝහලේ මාසයක් බෙහෙත් අරගෙන, ගෙදර ගියා.

ඩබ්ලිව් විමලාවතී (65)

අපට ජුලම්පිටියේ, මල් හේවා අයිනෙගේ අමරේ ගෙන් 1997 ඉඳලා කරදරයි. මගේ පුතා කීර්ති අබේවර්ධනව 1998 ජුනි 08 වෙනිදා අමරේ වෙඩි තියලා මැරුවා. අමරේ පුතාව මරණ කොට ඔහු සේවය කළේ කාලතුවක්කු රෙජිමේන්තුවේ. පුතා තවත් යාළුවෙක් සමඟ මෝටර් සයිකලය හදන්න කියලා ජුලම්පිටියේ ඉස්කෝලේ ළඟ බයිසිකල් කඩයට ගිහිල්ලා තිබුණා. අමරේ පුතාගෙන් කප්පම් ඉල්ලා තිබුණා. පුතා කප්පම් දීම ප‍්‍රතික්ෂේප කරපු නිසා, බයිසිකල් කඬේ ළඟදී පුතාගේ අත් දෙක බැඳලා, වෙඩි තියලා තිබුණා. පුතාගේ යාළුවාටත් අමරේ පහර දීලා. අමාරු වුණා.

පුතාගේ අවසන් කටයුතු වලට පෙර දින රාත‍්‍රියේ මළ ගෙදරට අමරේයි අමරේ ගෝලයෙක් වන චතුරංග බෝම්බ ගහනවා. පුතාගේ අවසන් කටයුතු වලට සහභාගි වෙන්න ආපු, කාලතුවක්කු රෙජිමේන්තුවේ පුතාගේ යාළුවෝ සීසීකඩ දුවනවා. පස්සේ පුතාගේ යාළුවෝ පුතාගේ අවසන් කටයුතු වලටත් ඉන්නෙ නැතිව රාත‍්‍රියේ යනවා. අමරේ පුතාව වෙඩි තියලා මරන්න කලියෙන්, ලක්ෂ ගණනක් වටිනා කඳන් මැස්සට බෝම්බ ගහලා ගිනි තියනවා. 2008 අපේ‍්‍රල් 25 වන දා රාත‍්‍රියේ ගෙදර හිටියේ තාත්තයි (ඒ.කේ. සිරිසේන) මමයි විතරයි.

අමරේ ගෝලයා චතුර, චතුරගේ මල්ලී ජගත් අපේ ගෙදරට වෙඩි තිබ්බා. චතුරලා අපේ ගෙදරට වෙඩි තිබ්බේ අමරේගේ කීමටයි. චතුර අපේ ගෙදර වෙඩි තියනකොට අමරේ හිටියේ තංගල්ල බන්ධනාගාරයේ. තාත්තාගේ පපුවට වෙඩි වැදිලි තාත්තා මැරුණා. මගේ බඩටයි, වම් පැත්තේ ඉකිලිය පහළට වෙඩි දෙකක් වැදිලා තිබුණා. මාස දෙකක් ගාල්ල කරාපිටිය රෝහලේ නැවතිලා ප‍්‍රතිකාර ගත්තා. පස්සේ චතුරයි, චතුරගේ මල්ලී ජගත්වයි යම් පිරිසක් විසින්මරනවා. මගේ අනික් දරුවන්ට පාරට බැහැලා යන්න විඳියක් නැහැ. අමරේ තුවක්කු අරගෙන පස්සෙන් එළවනවා. මගේ ලොකු පුතා ක‍්‍රිස්ට් අබේවර්ධනව කීප වතාවක් මරන්න පන්නලා තියෙනවා.

මට දැන් ඉන්නේ පිරිමි දරුවෝ තුන් දෙනයි ගැහැණු දරුවා විතරයි. අමරේට මුලින් උදව් කළේ නිරූපමා රාජාපක්ෂ නෝනා. පස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට අමරේ එකතු වුණා. මැදමුලන වලව්වේ හයියක් නැත්නම් අමරේට මෙච්චර හරියක් කරන්න බැහැ. අමරේගෙන් කරදයි කියලා අපි ජනාධිපතිතුමාට කිව්වා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් කිව්වා. අද වෙනකම් කිසිම සහනයක් නහැ. අපි ඉතාම අසරණ වෙලා ඉන්නෙ. අපට වෙන කියන්න කෙනෙක් නැහැ. රාජපක්ෂලාට විතරයි අපට කියන්න තියෙන්නෙ. අපේ පවුල වගේ අපේ පවුල් හත අටක්ම ඡන්දය දුන්නේ ජනාධිපති තුමාට, ජනාධිපතිතුමා ජුලම්පිටිය ගමෙන් ඒක ඡන්දයක් විතරක් ලොකු කර ගෙන අපිව මරන්න හදනවා. වීරකැටියේ හිටපු ඕ.අයි.සී කෙනෙකුට, පොලිසිය ඇතුළදීම පිහියක් ඇඳලා අමරේ අනින්න ගිහිල්ලා තිබුණා. ඉතිං අපි ගැන මොන කථාද?

සෝමලතා රණවීර මහත්මිය (43)

අමරේ 2009 යේ ඉඳලාම අපට කරදර කරනවා. අමරේ 2009යේ ජුලි 21 වෙනිදා ඇප මත හිරෙන් නිදහස්වෙලා එනවා. අමරේ නිදහස් වෙලා ඇවිල්ලා අපේ ගෙදරට වෙඩි තියලා, මාවත් දරුවෝ තුන්දෙනාත් ගෙට දාලා ගිනි තියනවා. අපි ජීවිත බේරාගත්තෙ බොහොම අමාරුවෙන්. ගින්නේන් ගෙයි තිබුණු ලක්ෂයක පමණ ගම්මිරිස් විනාශ වෙනවා. එදා ම රාත‍්‍රියේ රුවන් මානප්පෙරුම ගේ (නේවි රුවන්) තාත්තාට ගහලා ගෙදරට බෝම්බ ගහනවා. රුවන්ගේ අක්කාගේ ගෙටත් ගිනි තියනවා. රුවන්ගේ තාත්තාට අමරේ කීපවතාවක් වෙඩි තියෙනවා. නමුත් වැදෙන්නේ නැහැ.

රුවන්ගේ අයියලා දෙන්නෙක් හමුදාවේ ඉන්නවා. අමරේ 2011 අපේ‍්‍රල් 08වෙනිදා රාත‍්‍රියේ අමරේගේ ගෝලයෙක් වන මිහිරන් එක්ක ඇවිල්ලා අපේ ගෙදරට වෙඩි තියනවා. අමරේගේ සහ මිහිරගේ අතේ ටී 56 යේ ගිනි අවි දෙක්ක තිබුණා. අමරේලා අපේ ගෙදර වෙඩි තියපු දවසේ අම්බලන්තොට පැත්තෙ රාජු කියලා, ළමයින් ගේ තාත්තා ගේ යාළුවෙක් ඇවිල්ලා හිටියා. රාජුට වෙඩි වැදිලා අපේ ගේ ඇතුළෙම පණ යනවා. අපේ බාල පුතාගේ දකුණු කකුළට වෙඩි වදිනවා. ඔහු අදත් කිහිලිකරු වලින් යන්නේ. අමරේ වෙඩි තියන කොට අපි හිටියේ අපේ පරණ ගෙදර ගේ පරණ වුණාට ඒ ගේ ගොඩක් වටින ගෙයක්.

අමරේලා වෙඩි තියලා ඉවර වුණාට පස්සේ මම පොලිසියට කොල් එක්ක ගත්තා, මගේ කට හඬ අමරේට ඇහිලා මුන් තවමත් මැරිලා නැහැ කියලා නැවතත් වෙඩි තිබ්බා. පස්සේ මමත් මරිලා වගේ ඉඳලා පාන්දර එකට විතර පොලිසියට කෝල් එකක් ගත්තා. පොලිසිය පාන්දර දෙකට විතර අපේ ගෙදර ආවා. පස්සේ පොලිසිය තුවාලකාරයෝ ඉස්පිරිතාලෙට යවලා මරණ පරීක්ෂණ අවසන්වන තුරු ගෙදර ආරක්ෂාව දැම්මා. මම පොඩි පුතා එක්ක ඉස්පිරිතාලෙට ගියා. මරණ පරීක්ෂණ කටයුතු අවසන් කරලා මිනිය අයිතිකරුවන්ට බාර දුන්නා.

අමරේව පොලිසියට ගෙන්න බැරි බව ඔගොල්ලෝ දන්නවා. ළමයින්ගේ ජීවිතත් බේරා ගෙන ගමෙන් පිට වෙන්න තමන්ට රාජකාරි කරන්න බැහැ කියා මිද්දෙනියේ හිටපු ඕ.අයි.සී මහත්තයා අපට කිව්වා. ඊට පස්සේ අපි ගමෙන් පිට වුණා. අපි ගමෙන් පිට වෙලා අදට අවුරුද්දයි මාස තුනක් වෙනවා. ළමයින් තුන් දෙනාගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වුණා. අමරේයි අමරේගේ ගෝලයන් අපේ‍්‍රල් 23 වනදා දවල් අපේ ගෙවල් දෙකටම ගිනි තියලා තියෙනවා.

අමරෙයි, මිහිරයි ගෙට ගිනි තියනවා ගමේ අය දැකලා අපට කෝල් කරලා කිව්වා. අපේ ගෙට ගිනි තියනවා දැකපු අය පොලිසියට කියන්න බයයි. ගෙවල් දෙකේ වටිනාකම ලක්ෂ පනහක් විතර වෙනවා. ලක්ෂ දහයක විතර ඉරපු ලී තිබුණු මැස්සටත් අමරේලා පෙට්ට‍්‍රල් බෝම්බ ගහලා, ගිනි තියලා තියෙනවා.

‘‘උඹලත් වලව්වට යනවා නේද? මම අද වලව්වට කියලා ආවේ මම විරුද්ධ වුන් විනාශ කරනවා කියලා. ජනාධිපතිතුමාත් අපේ, පොලිසියත් අපේ, වලව්වත් අපේ, කොයි එකාටද පුළුවන් මට විරුද්ධව කටයුතු කරන්න.’’ කියලා. 2009 යේ අපේ ගෙදරට වෙඩි තියලා ගිනි තබපු වෙලාවේ අමරේ මට තර්ජනය කළා.

අපේ වත්තට අල්ලපු වත්තේ තමයි අමරේගේ ගේ තියෙන්නේ. අපේ අක්කර 10ක විතර පොල් සහ අනිකුත් බෝග බලහත්කාරයෙන් අල්ලගෙන කනවා. අමරේ ගමේ මිනිස්සුන් ගේ අක්කර 100ක් විතර බලෙන් අල්ලා ගෙන කනවා. ඉඩම් අයිතිකාරයෝ පොලිසිය වල පැමිණිලි දමන්නෙ නැහැ. පැමිණිලි දැම්මොත් දමපු එකා ගමේ වසලත් හමාරයි.

‘‘මාව පොලිසියෙන් අල්ලන්නෙ නැහැ. මාව පොලිසියෙන් අල්ලනවා නම් දේශපාලනය කරන්නෙ මොකටද?’’ කියලා අමරේ ගමේ මිනිස්සුන් ගෙන් අහනවාලූ. ‘

‘ඡන්ද කාලේ උන් මගේන් වැඩ ගත්තා දැන් මම උන් ගෙන් වැඩ ගන්නවා. මටත් විරුද්ධ මිනිස්සු මට දැන් ඉවරයක් කරලා දානවා’’ කියලා අමරේ ජුලම්පිටිය වීර කැටිය, මිද්දෙණිය, වළස්මුල්ල, ගල්හේන්ගොඩ සහ තණමල්විල ප‍්‍රදේශ වල මිනිස්සු මරනවා. අතපය කඩනවා ගෙවල් වලට වහන වලට ගිනි තබනවා. ගැහැණු අයවත් බලෙන් තියා ගන්නවා. අමරේ කියන කථා ඇත්ත, අමරේ ගේ වැඩ වලට වලව්වේ අය අත ගහන්නේ නැහැ. රාජපක්ෂලා නිහඬයි.

ජනාධිපති තුමාගේ අල්ලපු ගමේ මේ දේවල් වෙන්නෙ. මැදමුලන වලව්ව අපට ප‍්‍රදේශය අධි ආරක්ෂක කලාපයක්. ජනාධිපතිතුමා දන්නා කියන මිනිස්සුට තමයි අමරේ ගෙන් හිරිහැර විදින්නෙ. අපි ඡන්දය දුන්නෙත් ජනාධිපති තුමාට. අමරේ රාජපක්ෂලා ගේ බලපරාක‍්‍රමයේ මහිමයෙන් කරන්න තියෙන සියලූම බලූ වැඩ කරනවා. පොලිසියට කියලා වැඩක් නැහැ. තංගල්ල විශේෂ අපරාධ ඒකකය කිව්වම කියනවා අමරේව අල්ලන්න ඒගොල්ලන් නියෝග කරලා නැහැ කියලා. ජනාධිපති තුමාට ආරක්ෂක ලේකම් කිව්වා නමුත් වැඩක් වුණේ නැහැ. ඊට පස්සේ දෙවියන්ට කියලා බැලූවා.

දෙයියන්ට කිව්වාට පස්සේ අමරේ පෙරටත් වඩා හොඳට මැර වැඩ වල නියැලූණා. දෙවිවරුත් අමරේට බයයි. අපට වෙන කියන්න කෙනක් නැහැ. මේ අවනඩුව කියන්නෙ කාටද කියලා අපට දැන් හිතාගන්නවත් බැහැ. කොටි සංවිධානය හිටියා නම් හොඳයි කියලා අපට දැන් හිතෙනවා. ඒ තරමටම අපට මේ ආණ්ඩුව එපා වෙලා තියෙන්නෙ. ජුලම්පිටිය ගමේ මිනිස්සු හැන්දැ හයෙන් පස්සෙ පාරට බහින්නෙ නැහැ. සවස හය වෙනකොට ගෙවල් දොරවල් වහගෙන ඉන්නෙ. ලෙඩක් දුක්ක හැදුනොත් ගෙදරම මැරෙනවා. කතානායක චමල් රාජපක්ෂ මහත්තයාට ගමේ මිනිස්සු ගිහින් කිව්වාහම අමරේට කියලා බලන්නම් කියලා කියනවා.

අමරේ ගේ මැර වැඩ වලට එරෙහිව මිනිස්සු දහස් ගණක් පෙත්සම් ගහලා ඇති. නමුත් වැඩක් වෙලා නැහැ. අමරේ නඩු වලට නොගිහින් උසාවියෙන් වරෙන්තු කළත් පොලිසිය ඔහුව අල්ලන්නෙ නැහැ. අමරේ යුද හමුදා ඇඳුමක් ඇඳගෙන ටී 56යේ තුවක්කුවකුත් කරේ දාගෙන මිද්දෙනිය, වළස්මුල්ල වීරකැටිය සහ කටුවන නගර වල ඇවිදිනවා. පොලිසිය නොදැක්කා වගේ යනවා. අපේ දරුවෝ හෙල්මට් එකක් නැතිව ගියොත් අල්ලලා රාජකාරී කරනවා. අමරේ ගෙන් ගුටියක් නොකාපු තරුණයෙක් ජුලම්පිටිය ගමේ නැහැ. අනුන්ගේ දේවල් කොල්ලාකාගෙන උදේ ඉඳන් ? වෙනකම් අරක්කු බොන එක තමයි කරන්නෙ.

අමරේ තාත්තා ධීවර අමාත්‍යාංශයේ රියැදුරෙක් විදිහට රැකියාව කළා. අම්මටයි තාත්තාටයි ජීවත් වෙලා ඉන්නකම් ගැහුව්වා. තාත්තාට ගහක කුරුම්බා ගොඩියක් බොන්න දුන්නෙ නැහැ. වත්තේ පොල් කඩන දවසක අමරේ බන්ධනාගාරයේ ඉඳලා කියලා තියනවා තාත්තාට කුරුම්බා ගෙඩියක් වත් දෙන්න එපා කියලා. තාත්තාගේ අම්මාගේ මළ මිනියවත් ගෙදර තියා ගත්තේ නැහැ. අමරේට අක්කා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. ඒ දෙන්නාවත් ඉඩම් වලට ඇති තන්නාහකම නිසා ගමෙන් පන්නා ගෙන තියෙනවා.

අමරේ අම්මාගේ ගම ගාල්ලේ, විශ්වවිද්‍යාලයට තේරීලා හිටිය දේවාලෙ ගෙදර සුමනාව තමයි අමරේ බලෙන් විවාහ කරගත්තෙ. පස්සේ ඒ ළමයා අමරේ අඩම්තේට්ටම් ඉවසන්න බැරිව පැනලා යනවා. ඒ ළමයා දැන් ඉන්නේ ගාල්ලේ. ඒ ළමයාට අමරේ ගෙන් අවුරුදු 18ක විතර පුතෙක් ඉන්නවා. අමරේ ඊට පස්සේ ඉස්කෝලේ යන ළමයෙක් බලෙන් තියාගෙන හිටියා. ඒ මඟුලත් අවුරුදු දෙකකට පස්සේ කැඩුණා.