බ්රූනෙයි හෙලිකොප්ටර් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට


l කිෂානි වැලිවිටිගොඩ 

හෙලිකොප්ටර් යානයක් අනතුරට පත් වීමෙන් එහි ගමන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට බ්රූනෙයි බලධාරීන් විදෙස් පුවත් එජෙන්සි වෙත ප්‍රකාශ කර තිබේ. මෙසේ අනතුරට ලක් වී ඇත්තේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයකි. හමුදා ශිෂ්‍ය භටයන් 11 දෙනෙකු වනාන්තරයක පැවැත්වූ පුහුණු වීම් අවසන්කොට නැවත තම නිවෙස් බලා පැමිණීමේදී මෙම අනතුර සිදු වී තිබේ.

බ්රූනෙයි හි පාලක අධිරාජයා වන සුල්තාන් හස්සනාල් බෝල්කියාහ්, අනතුරින් දිවි ගලවා ගත් හමුදා ශිෂ්‍ය භටයින් දෙදෙනාගේ සුව දුක් බැලීමට ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටි රෝහලට ගොස් තිබේ. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වුවන්ගේ පවුල් වෙත පාලක අධිරාජයා වන සුල්තාන් බෝල්කියාහ් ශෝකය ප්‍රකාශ කළ බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

හෙලිකොප්ටර් යානය අනතුරට පත් වූ හේතුව තවමත් සොයාගෙන නැති අතර තව දුරටත් මේ සම්බන්ධව විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය විදෙස් පුවත් වෙත අදහස් දැක්විය.