මෙන්න නිධානයක් ගැන ඔත්තුවක්

(ප්‍රමාදය කණගාටුවට මුල වේ )

පුර විද්‍යා ස්මාරක ඩෝසර් කරමින් රන් පිළිම කඩු සොයන දේශපාලකයන් , ඔවුන්ගේ හෙන්චයියන් සහ එස් ටී එෆ් එකේ නිදන් යුනිට් එක වෙත කෙරෙන කාරුණික වැදගත් දැන්වීමයි. (මෙම ඔත්තුව දිවයින පුවත්පතේ අනුග්‍රහයෙනි) පුදුකුඩිඉරිප්පුවේ සොහොන් බිමක වළලා ඇති කන්ටේනරයක්‌ තුළ කොටින්ගේ මහත් ධනස්‌කන්ධයක්‌ ඇති බවට ආරක්‍ෂක අංශ වෙත තොරතුරු හෙළිවී ඇත. මේ රහස්‌ තොරතුරු දන්නා තැනැත්තා වව්නියාවේ සිටින බවද හෙළිවී තිබෙන අතර ඔහු ගැන විමර්ශනයක්‌ අරඹා තිබේ. මොහු හිටපු කොටි බුද්ධි ක්‍රියාකාරිකයකු බවට සැක කෙරේ. වන්නි මෙහෙයුමේ අවසාන සටනේදී කොටි නායකයන්ගේ වස්‌තුව මේ කන්ටේනරයේ දමා වළ දමන්නට ඇතැයි විශ්වාස කෙරේ.

වහාම ප්‍රමාද නොවී ක්‍රියාත්මක වන්න. වව්නියාවේ සිටින තැනැත්තා සොයාගෙන පොඩ්ඩක් අත පය අඹරවා ඔලුව වතුරේ ඔබා මෙම කන්ටේනරය තියන තැන සොයා ගන්න. ඉන්පසු නිදන් යුනිට් එක පොලිස්පතිවරයාගේ අනු දැනුම පිට පිට යවන්න . පුදුකුඩිඉරිප්පුව පැත්තේ පොලිසි වලට එලියට නොබසින ලෙසට පොලිස්පතිවරයාගේ කාර්යාලයෙන් ෆැක්ස් එකක් යවන්න. බැකෝ සහ ලොරි අදාල ප්‍රාදේශීය සභාවෙන් ලබා ගත හැක. නමුත් රියදුරෙක් කොළඹින් ගෙනියන්න ප්‍රාදේශීය සභාවේ රියදුරෙක් මේකට ගාව ගත්තොත් පසුව ඒ අසරණයා මරන්ට වේවි. ඒ නිසා පව් නොකොට නිධානය ගන්න. කෝකටත් කට්ටන්ඩියෙක් අරගෙන යාම සුදුසු වේ. (මේ සඳහා එස් ටී එෆ් එකේ නිදන් යුනිට් එකේ කට්ටන්ඩියා යොදාගන්න) කන්ටෙනරය ගොඩගත් පසු එය කෙලින්ම කොළඹ ......... (බලධාරියා විසින් කපා දමන ලදී ) ගෙනයන්න. ඉන් පසු ඒ ධනය කේ පී ගේ සල්ලි මෙන් ලංකාවේ පින්වත් ජනතාවට දැහැටවත් දැකීමට හැකි නොවනු ඇත. නමුත් ඔය ධනය ප්‍රභාකරන් කෑවත් .......... (බලධාරියා විසින් කපා දමන ලදී ) කෑවත් එකය. ඒ මොකද අපි හැමදාම එක තැන නිසාය.

රණ රාල