ජෙනරාල්ට එරෙහි යුද අධිකරණයේ දඬුවම අහෝසි කිරීමට ගෝඨා එරෙහි වෙලා

Lanka News Web

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව දෙවන යුද අධිකරණය විසින් ලබා දී තිබූ මාස 30 ක සිර දඬුවමට අදාළ චෝදනාවලින් ඔහුව නිදොස් කොට නිදහස් නොකරන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා වෙත දැඩි ලෙස බලපෑම් කර තිබූ බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එවැනි තීරණයක් ගත හොත් යුද අධිකරණයේ සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පමණක් නොව, ෆොන්සේකා මහතාට එරෙහිව පසුගිය කාලයේ පෙනී සිටි සියලූම හමුදා නිලධාරීන් දැඩි ලෙස කලකිරීමට පත්විය හැකි බව ආරක්‍ෂක ලේකම්වරයාගේ ස්ථාවරය වී ඇත.

ජනාධිපතිවරයාද එම කාරණය අනුමත කර ඇති අතර, ඒ අනුව ෆොන්සේකා මහතාට එරෙහි චෝදනා නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කර නැත. එම තත්ත්වය යටතේ යුද හමුදා දෙවන අධිකරණයේ තීන්දුව යටතේ ෆොන්සේකා මහතා වසර දෙකකට වැඩි කාලයක් සිර දඬුවම් විඳ ඇති හෙයින්, ඔහුට වසර 07 ක් යන තෙක් ප‍්‍රජා අයිතිය අහිමි වී ඇත.

රෝගාතුරව සිටින රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය අලූත්වැව සෝරත හිමියන්ගේ දුක සැප සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා ඊයේ (23) පස්වරුවේ කතරගමට ගිය අවස්ථාවේදී ප‍්‍රධාන හිමි නමක් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අදාළව ජනාධිපතිවරයාගෙන් කරුණු විමසා ඇත.

එහිදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කොට ඇත්තේ, යුද හමුදා ප‍්‍රධානීන්ට බලපෑමක් විය හැකි හෙයින් යුද අධිකරණය විසින් දුන් තීන්දුව අහෝසි කිරීමට තමා කටයුතු නොකළ බවයි. එහෙත් එකී චෝදනාවලින් ෆොන්සේකා මහතාව නිදොස් කොට නිදහස් කිරීම ව්‍යවස්ථානුකූල බලයක් තමන්ට ඇති බවද ජනාධිපතිවරයා පවසා ඇත. ෆොන්සේකා මහතා යහපත් පැවැත්මක් ප‍්‍රදර්ශනය කරන්නේ නම් ඉදිරියේදී එවැනි සහනයක් ලබාදීම සඳහා හමුදා ප‍්‍රධානීන්ගේ කැමැත්ත ලබා ගැනීමට තමාට හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ෆොන්සේකා මහතා නිදහස් කළ වහාම තමාවත් හමුදා ප‍්‍රධානීන්වත් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යෑමට කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා එහි සිටි මහා සංඝරත්නය වෙත දැඩි කනස්සල්ලෙන් යුතුව පවසා ඇත.