ජෙනරාල්ගේ ජීවිතය අනතුරේ !

Lanka News Web

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූල ඝාතනය කිරීමට නායකත්වය දුන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කිරීමෙන් පසුව රජය ඔහුට මෙතෙක් කිසිදු ආරක්‍ෂාවක් සපයා නොමැත. එම තත්ත්වය යටතේ ජෙනරාල්වරයාට ආරක්‍ෂාව සපයන ලෙස රජයට බල කරන ලෙස ඉල්ලා අධිකරණය වෙත පෙත්සමක් ගොනු කිරීමට ඔහුට හිතවත් විශ‍්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටී.

එම පිරිස ඊයේ (23) පස්වරුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතීඥයින් පිරිසක් හමු වී ඇත.

ෆොන්සේකා මහතා නිදහස් කිරීමෙන් පසු ඔහුට ප‍්‍රභූ ආරක්‍ෂක අංශයේ නිලධාරීන්ගේ ආරක්‍ෂාව සපයන බවට ජනාධිපතිවරයා, ටිරාන් අලස් මන්තී‍්‍රවරයාට පොරොන්දු වී තිබූ නමුත්, මේ දක්වා ඒ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් නිසි ප‍්‍රතිචාරයක් දක්වා නොමැත. මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඊයේ කියා සිටියේ, ෆොන්සේකා මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉල්ලීමක් ලැබුනහොත්, ඒ සම්බන්ධයෙන් කි‍්‍රයා කිරීමට සූදානම් බවයි.

කෙසේ වුවද, ෆොන්සේකා මහතා දැනට පදිංචිව සිටින තලවතුගොඩ නිවස අසල ඇති වෙල්යායේ සිට ස්නයිපර් තුවක්කුකරුවකුට ඉතා පහසුවෙන්ම ෆොන්සේකා මහතා ඉලක්ක කර ගැනීමේ අවදානමක් පවතින බව ෆොන්සේකා මහතාට හිතවත් විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු අප වෙත පැවසීය.