ෆොන්සේකා නිදහස් කළ කතාවේ ඇත්ත මෙන්න

ජනාධිපතිවරයා විසින් සරත් ෆොන්සේකා මහතා කොන්දේසි විරහිතව නිදහස් කර ඇතැයි කියමින් ජනතාව නොමග යැවීමට මාධ්‍ය ආයතන ආණ්ඩුවට 'කඩේ ගිය' බවත්, ජනමාධ්‍ය විසින් සැබෑ තත්වය හෙළිදරවු කර තිබුනේ නම්, ෆොන්සේකා මහතාට කොන්දේසි විරහිත සමාවක් ලබාදෙන ලෙසට බලපෑම් කිරීමට ජනතාවට කල්වේලා තිබු බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේබව කියා සිටියේ, අද (24) පෙරවරුවේ සිරිකොත එජාප මුලස්ථානයේදී එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සාමාජිකයින් අමතමිනි.

ජනාධිපතිවරයා සමග සාකච්ජා පැවැත්වූ ටිරාන් අලස් මන්ත්‍රීවරයාද එකී නොමග යැවීමට හවුල්වූ බවත්, එහෙයින් ඔහු වහාම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවටත්, රටටත් ජනතාවටත් මේ ගැන කරුණු කිවයුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේය.

මෙහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.

'' හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමාගේ අයිතිවාසිකම් සහ තනතුරු සම්පූර්ණයෙන් ම ලබා ගැනීමටත් ඔහුට විරුද්ධව තිබෙන නඩු තීන්දු සියල්ලම අහෝසි කිරීමටත්, ඔහු නිසා යුද හමුදාවෙන් පහකළ සියල්ලන්ට වන්දි ලබා ගැනීමටත් අවශ්‍ය පියවර ගැනීමට අප මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.

හිටපු යුද හමුදාපති මහතාට එරෙහිව පැවරූ සියලූ නඩු පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට සහ ජාත්‍යන්තර ගිවිසුම්වලට විරුද්ධ නිසා ඒ කිසිදු නඩුවක් පිළිනොගන්නා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රධාන එකාබද්ධ විපක්ෂය කියා සිටින්නේ ඒ සියලූ නඩු සහ නඩු තීන්දු අහෝසි කළ යුතු බවයි.

සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන බව ආණ්ඩුව කියා සිටියේ, 2011 දෙසැම්බර් මාසයේ සිට වන අතර ජනවාරි පළමුවැනිදා හෝ ජාතික නිදහස් දිනයේදී හෝ වෙසක් පෝ දිනයේදී ඔහු නිදහස් කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වුණා.

ඒ කිසිදු අවස්ථාවක ඒ මහතා නිදහස් නොකළ ආණ්ඩුව අවසානයේ දී ඔහු වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කරනවිට එසේ කරන්නේ කිනම් පදනමක් යටතේ ද කියා ප‍්‍රකාශ කළේ නැහැ.

මේ සම්බන්ධයෙන් විවිධ අය විවිධ ප‍්‍රකාශ කළ අතර ආණ්ඩුව සරත් ෆොන්සේකා මහතාට සමාව දී ඇත්දැයි ද දැන් ඔහුට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි යැයිද යනුවෙන් මතයක් ගොඩ නැගූ බව කිවයුතුයි.

කෙසේ නමුත් ඒකාබද්ධ විපක්ෂය සමඟද අපේ කෘත්‍යධිකාරී මණ්ඩලය සමඟද මේ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡ කර අපේ මහලේකම් තිස්ස අත්තනායක මහතා මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කළේ මේ කියන සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය ලකුණු අප ඒ නිදහසේ නොදුටු නිසයි.

ආණ්ඩුව උත්සාහ කළේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සම්පූර්ණයෙන් නිදහස ලබා දී ඇති බව පෙන්වීමට. ජනතාව ඇත්ත තත්ත්වය දැනගන්නා විට කාලය ඉක්ම යන බව ආණ්ඩුව දැන සිටියා. සරත් ෆොන්සේකාට පූර්ණ නිදහස ලබා දී නොමැති බව ඒ මොහොතේම දැන ගත්තානම්, ඊට එරෙහිව දේශපාලන ව්‍යාපාරයක් ගෙන යන්න අවස්ථාව තිබුණා. ඔහු නිදහස් කරන අවස්ථාවේදී ඇත්ත තත්ත්වය ගැන කියා නොසිටියේ ඒ නිසයි.

මෙසේ ක‍්‍රියාකරමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට බොරුවක් කළ බව මේ අනුව පැහැදිලි වෙනවා. නමුත් ඒ අවස්ථාවේදී පුද්ගලික ජනමාධ්‍ය සහ නිදහස් යැයි කියන ජනමාධ්‍ය ආණ්ඩුවේ ඒ ක‍්‍රියාවලියට සහයෝගය ලබා දීම අප හමුවේ තිබෙන භයානක ප‍්‍රශ්නයක් බව කිව යුතුයි.

මේ පුද්ගලික සහ නිදහස් කියන සෑම ජනමාධ්‍යක්ම කියා සිටියේ, සරත් ෆොන්සේකා නිදහස් කළා. ඔහු දේශපාලනයට එනවා. එක්සත් ජාතික පක්ෂයට බැඳෙනවා. නව දේශපාලන කණ්ඩායම් ගොඩ නගනවා කියලා.

නමුත් සරත් ෆොන්සේකාට සැබෑ නිදහස ලැබී නොමැති බව කවුරුවත් නිවැරදිව කියා සිටියේ නෑ. එකම ජනමාධ්‍යක්වත් මේ කාරණය ගැන රටට ජනතාවට ඇත්ත කිව්වේ නෑ. ජනතාවට ඇත්ත කියන්න පුද්ගලික මාධ්‍යට යුතුකමක් තිබෙනවා.

සරත් ෆොන්සේකා මහතාගේ නිදහස ගැන 'දෙරණ' මාධ්‍ය මගින් කරුණු විමසූ අවස්ථාවේදී මම කියා සිටියේ එ ගැන පසුව ප‍්‍රකාශයක් කරන බවයි. ඒ ප‍්‍රකාශය අල්ලාගෙන ඒ අය කියාසිටියේ, මම මේ ක‍්‍රියාවලියට විරුද්ධ බවයි. ඇත්ත වශයෙන්ම ඒ අවස්ථාවේදී මම මෙහි ඇත්ත තත්ත්වය දැන සිටියේ නැහැ.

මේ ජනමාධ්‍ය මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ගෙන ගිය ක‍්‍රියාවලිය නතර වූයේ ද 'සන්ඬේ ටයිම්ස් 'පුවත්පත ඇතුලූ ඉංග‍්‍රීසි පුවත්පත් කිහිපයක් බොරු නොකියා මේ ක‍්‍රියාවලියේ ඇත්ත තත්ත්වය එම පුවත්පත් ඔස්සේ පළ කිරීමෙන් පසුවයි. නමුත් දිනපතා පුවත්පත් විවිධ කරුණු කාරණා කියමින් තවදුරටත් එම ව්‍යාපාරය ඉදිරියට ගෙන ගිය බව කිව යුතුයි.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය බන්ධනාගාර කොමසාරිස්වරයාට යොමු කළ ලිපිය එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනමාධ්‍යට හෙළි කළා. ඒ ලිපිය අනුව සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් සිදු කර තිබෙන්නේ ඉදිරියට ඇති සිරදඬුම් කාල ඉවත් කිරීම පමණයි. ඒ අනුව සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ මෙම ක‍්‍රියාවලිය සමාවක් නොවේ.

එසේ නම් මේ ඇත්ත තත්ත්වය රටට හෙළි නොකළේ ඇයි? ජනමාධ්‍ය මේ අයුරින් ක‍්‍රියාකළේ ඇයි? අපි නිදහස් මාධ්‍ය ගැන කතා කරනවා. නමුත් මේ මාධ්‍ය ආණ්ඩුවට කඬේ ගියා. ආණ්ඩුවට වැඩ කටයුතු කර දුන්නා. මේ තරම් පුද්ගලික මාධ්‍ය සහ නිදහස් මාධ්‍ය තිබියදී කවුරුත් ඇත්ත කිව්වේ නෑ.

ශ‍්‍රී ලංකා කර්තෘ සංසදයක් තියෙනවා එහි සභාපතිවරයා වන්නේ ලංකාදීප ප‍්‍රධාන කර්තෘ සිරි රණසිංහ මැතිතුමයි. කර්තෘ සංසදයේ මූලධර්ම අනුව බැලූවොත් මේ මාධ්‍ය, ඒ මූලධර්ම සියල්ල උල්ලංඝනය කර තිබෙනවා. ඇත්ත වසන් කොට ජනතාව මුලා කළා.

රජය පාලනය කරන මාධ්‍ය තියෙනවා. ඒ මාධ්‍ය නටන්නේ රජයේ තාලයටයි. ඒ තාලයත් අපි දන්නවා. දිනමිණ පුවත්පත ආණ්ඩුවේ තාලය දන්නවා. ඒ නිසා ඒ පුවත්පත ඒ තාලයට නටනවා. අප ඒ කි‍්‍රයාවලිය පිළිගන්නේ නෑ. ඊට විරුද්ධයි. කෙසේ නමුත් ඒ අය මේ ආණ්ඩුවේ තාලයට නැටීම කරන්නේ සැඟවී නොව ප‍්‍රසිද්ධියේමයි. ලංකාදීප පත‍්‍රයත් නටනවා. නමුත් ඒ අය තාලය ගන්නෙ ප‍්‍රසිද්ධියේ නොවේ. ඒ අය නටන්නේ අයිපොඞ් එක්ක අයිපොඞ් එකෙන් තාලය එනවා. ඊට පසුව ඒ තාලයට නටනවා. මිනිස්සු හිතාගෙන ඉන්නේ ආණ්ඩුවේ තාලයට නටන්නේ ලංකාදීප නොව දිණමින පුවත්පත කියාය. දිණමින පුවත්පතේ කර්තෘ සහ ඒ වාර්තාකරුවන් ප‍්‍රසිද්ධියේම නටනවා. නමුත් ලංකාදීප එක්කෙනා අයිපොඞ් ගහගෙන නටනවා. සිදුවන්නේ කුමක්ද කියා ඒ වාර්තාකරුවත් දන්නේ නෑ.

අවසානයේ සිදුව තිබෙන්නේ කුමක්ද? විශ්වාස කරන්න කියා කියපු පත්තරය අපට විශ්වාස කරන්න බෑ. එච්චරටම ආණ්ඩුවට කඬේ යනවා. එච්චරටම ආණ්ඩුව බයවෙලා. මේ ක‍්‍රියාවලිය වැරදියි කියා කතුවැකියෙන් කියන්න පුළුවන්ද? ආණ්ඩුව කළේ බොරුව කියා කතුවැකියෙන් කියන්න පුළුවන්ද? අපි අසන්නේ එපමණයි. මේ කතාව හෙට පළ කරාවිද කියාවත් මම දන්නේ නෑ. ඒ මන්ද මේ අය කියන්නේ පත්තරයක් ගැන කුමක් හෝ කතා කළොත් අනෙකුත් මාධ්‍යයන්හි ඒ ගැන පළ නොකරන බවයි.

මට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ කවුරුන් හෝ කතා කළොත් මේ අය ඒ කතාව ඉස්සල්ලාම පළ කරනවා. සමහර අවස්ථාවලදී මිනිසුන් හමුවී මේ ගැන අහනවා. නායකතුමා සමඟ සිටිනවාද නැද්ද කියා අපෙන් අහනවා. ජනාධිපතිතුමා ආණ්ඩුවට දොස් කිව්වොත් ඒකත් පළ කරන්න යනවා. හරි ඒක නිදහස කියමු. එසේනම් යම් මාධ්‍යයකට දොස් කිව්වොත් ඒක පළ නොකරන්නේ ඇයි. ඒ අනුව අභියෝගයක් ලෙස ඉදිරිපත් කරමින් මාධ්‍ය නිදහස තිබෙනවා ද නැද්ද කියා අප බලනවා. මාධ්‍ය නිදහස තිබෙනවානම් දෙරණ, දිනමිණ, සන්ඬේ ටයිම්ස් සහ ලංකාදීප ගැන කළ මේ කතාව පළ කළ හැකියි. එසේ නොවුණහොත් මාධ්‍ය නිදහස නොමැති බව කියන්න අපට සිදුවේවි. මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍යකරුවන්ට ඕනෑ ආකාරයට නැටීම නොව ජනතාවට නිවැරදි සහ සත්‍ය කරුණු හෙළිදරව් කිරීමයි.

නිදහසේ තොරතුරු ලබා ගැනීමට තිබෙන අයිතිය තහවුරු කෙරෙන කෙටුම්පත ජනතාවට අවශ්‍යයි. නමුත් මාධ්‍ය නිදහසේ නිවැරදි තොරතුරු ජනතාවට ලබා නොදෙනවානම් ජනතාවගේ තත්ත්වය කුමක්ද? පුද්ගලික ජනමාධ්‍ය සහ නිදහස් ජනමාධ්‍ය ජනතාව මුලා කිරීම සඳහා ආණ්ඩුවට කඬේ ගිය බව කිව යුතුයි.

නිදහස් කිරීමට කොන්දේසි පැනවූවාද යනුවෙන් මැයි 29 වෙනිදා සිය රාත‍්‍රී 7 සහ රාත‍්‍රී 10 ප‍්‍රවෘත්ති විකාශය ඔස්සේ ටිරාන් අලස් මන්ත‍්‍රීවරයාගෙන් ඇසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ කිසිදු කොන්දේසියන් නොපැනවූ අතර බොහො දුරට අප ඉල්ලූ දෙයට එකඟවුණා යනුවෙනුයි. ඔහු ඉල්ලූ දේට එකඟවුණා යැයි පැහැදිලිව කියා සිටි ටිරාන් අලස් අවසානයේදී ජනාධිපති තුමාටද ස්තූති කළා. එසේ ස්තූතිකළේ ඔහු ඉල්ලූ දේට එකඟවූ නිසයි. ඒ කියන්නේ ඔහු ඉල්ලා දී තිබෙන්නේ ඉදිරියට තිබෙන සිරදඬුවම් කාලය අහොසි කිරීම පමණක් විය හැකියි. ඉදිරියට තිබෙන සිරදඬුවම් කාලය පමණක් අහෝසිකරන ලෙස ඉල්ලූවේ ඇයි? පූර්ණ නිදහස ඉල්ලා නොසිටින්නේ ඇයි? ඉල්ලූ පරිදි නිදහස ලබා නොදී සිරදඬුවම් කාලය පමණක් ඉවත් කළා නම් ඒ ගැන කියන්න තිබුණා. ඒ ගැන ප‍්‍රකාශයක් කළ යුතුයි. නිදහස ඉල්ලා නොදුන්නානම් දැන් ඒ බව කිවයුතුයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවටත් රටටත් ජනතාවටත් ඔහු මේ ගැන කරුණු කිවයුතුයි.

මාධ්‍ය නිදහසක් නොමැති අතර සියලූ මාධ්‍ය සිටින්නේ ආණ්ඩුවට කඬේ යන බව කිව යුතුයි. බඩුමිල වැඩි වී උද්ගත වී තිබෙන උග‍්‍රජීවන අරගලය හේතුවෙන් ජනතාවට කඬේ යන්න නොහැකිතාවයක් පුද්ගලික මාධ්‍ය සහ නිදහස් මාධ්‍ය ආණ්ඩුවට කඬේ යෑම ගැන මම මගේ කනගාටුව ප‍්‍රකාශ කරනවා'' .