ආගම් යුද්දයක් දඹුල්ලෙන් ඇරඹෙයි ?

දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලියකට අද අලූයම් කාලයේදී පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක් එල්ලකර ඇතැයි බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර මුජුබර් රහුමාන් මහතා පවසයි. නමුත් මෙහි සත්‍ය අසත්‍යතාව අප තවම නොදනිමු. අප දැනට දන්නේ ආගම් විරෝධී හැඟීම් දඹුල්ලේ උත්සන්න වන බවය. ඉනාමළුවේ සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මුස්ලිම් ආගමික විරෝධයක් දඹුල්ලෙන් අරඹා තිබේ. මෙම විරෝධය ඇරඹි තිබෙන්නේ දඹුල්ලේ ගොවින් ගොවි නිපැයුම් විකුණා ගැනීමට නොහැකිව හාන්සි වී සිටින අවස්ථාවකය. ඒ නිසා දඹුල්ලේ ගොවීන්ගේ සැබෑ ජිවන ගැටළු වලට පිළියම් දීම වෙනුවට අවධානය වෙනතකට යොදවිමට ආගම නැමති අබින් නොයෙකුත් චීවරධාරීන් හරහා ආණ්ඩුව විසින් බෙදා හරිනවාද යන ගැටලුව මෙහිදී මතු වේ.

ඉනාමළුවේ සුමංගල හිමියන් 1990 ගණන් වලදී කණ්ඩලම හෝටලය තනන විට ගිණි තියාගෙන අපවත් වනවා යැයි වහසි බස් බිනූ යතිවරයෙකි. නමුත් කණ්ඩලම හෝටල් පාලක මණ්ඩලය විසින් උන්වහන්සේට මුල්‍යමය දායකත්වයක් ලබා දීමෙන් පසු කණ්ඩලම විරෝධය හුලං ගිය බැලුමක් විය. අද උන්වහන්සේ ඉඳ හිට දානය ගෙන්වා ගන්නේ ද කණ්ඩලම හෝටලයෙනි. දඹුල්ල රජමහ විහාරයට මාසිකව ඉතා විශාල මුදලක් ලැබේ. උවැසියන්ට වැසිකිලි යාමට හදිසියක් උවහොත් එයටද මුදල් ගෙවිය යුතුය. ඉනාමළුවේ සුමංගල හිමියන්ගේ මෙම මුදල් කන්දරාව දඹුල්ලේ දුප්පත් බෞද්ධ ගොවීන්ගේ බඩගිනි නිවීමට වැය කරන්නේ නම් එය සැබෑ බුදු මගට පිවිසීමකි. මෙවැනි සැබෑ ධාර්මික කටයුතු පසෙකලා අහක යන මුස්ලිම් පල්ලියක් නිසා ආගමික සහජීවනය කඩා බිඳ දමා මිනිසුන් කුපිත කිරීම බුදු පුතෙකුට නොවටී. මුස්ලිම් අන්තවාදීන් විසින් සිදු කරන විනාශකාරී ක්‍රියා සඳහා පියවර ගත යුත්තේ හැඟීම් වලින් නොව බුද්ධියෙනි. කණ්ඩලම උද්ගෝෂණයෙදී කලාක් මෙන් පුස් වෙඩි උද්ගෝෂණ මගින් වන්නේ තමන්ගේ මඩිය තර වීමත් සිංහල බෞද්ධයා නන්නත්තාර වීමත් පමණි. වාර්ගික යුද්ධයක් නිසා ලේ ගංගා ගලා ගිය රටක තවත් ආගමික යුද්ධයක් යනු පුර්ණ විනාශයක් බව අප සැමදෙනාම තේරුම් ගත යුතුය.

| අමිල ගුණරත්න