මිත්‍යාව පසුපස යන ශ්‍රී ලංකික සමාජය

| අමිල ගුණරත්න

ශ්‍රී ලංකාව යනු නොදියුණු සමාජයකි. එම සමාජයේ මිත්‍යා විශ්වාස එමටය. විද්‍යාව විෂයක් ලෙස ඉගනගත් පුද්ගලයන් තුල පවා විද්‍යාත්මක චින්තනයක් නැත. එම නිසා ඔවුන් ඕනෑම කපටියෙකුගේ , කට්ටඩියෙකුගේ, කපුවෙකුගේ මුලා බස් වලට ඔවුන් රැවටෙති. මෙම කපටින් මුලාවට පත් වූ ජනී ජනයාගේ පසුම්බි හිස් කරන අතර මිත්‍යාව සමාජයේ වපුරති. මෙහි ඇති භයානක පාර්ශවය නම් ප්‍රබල දේශපාලකයන්ද මෙම කපටින්ගේ දැපනේ වැටීමයි. ඉන්දියාවේ මලයාලම් ගුරුකම් කරන්නන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉතා ප්‍රබල භූමි බන්ධනයක්‌ සිදු කර ඇති අතර එය ඉවත් කරගන්නා තුරු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම් දිනෙන් දින වැඩි වන බව දේවතාවුන් වහන්සේලා පවසන බව බොරලැස්‌ගමුව විෂ්ණු දේවාලයාධිපති දේවගැති අසේල වික්‍රමසිංහ නැමැත්තෙකු පැවසූ බව බොහෝ පුවත්පත් වාර්තා කරයි. මෙවැනි පුද්ගලයන්ට ජනමාධ්‍යකරුවන් ප්‍රසිද්දිය දෙන්නේ නිකම් නොවේ. ඒ සඳහා කට්ටඩියා හෝ කපුවා පත්‍ර වාර්තාකාරයාට මුදල් අරක්කු බුරියානි වැනි ත්‍රිත්වයෙන් සලකති. ඒවා ලබාගෙන පත්‍ර වාර්තාකාරයා ජනතාවට මුලාව ලඟා කර දෙති. ඊලාම් යුද්ධය පැවති කාලයේද මෙවැනි කතාවක් නිර්මාණය කොට තිබුණි. එය තදින් ඇදහු ජෙනරාල් රොහාන් දළුවත්ත කපුවන් ,සායි බබා පසුපස ගොස් යුද්ධය අනාගත්තේය. මොන වැරදි තිබුනත් ජෙනරාල් ෆොන්සේකා මේ මිත්‍යා කතා ඇදහුයේ නැත. ඒ නිසා ඔහු විස්වාස කලේ සොල්දාදුවගේ හැකියාවය. ඒ නිසා යුද ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔහුට හැකි විය. මෙවැනි කතා හිටි හැටියේ පැතිරවීම යට වෙනත් අරමුණු තිබේ. මෙවැනි කතා මගින් රට පාලනය කරන දේශපාලකයන්ට භීතිය ගෙන එන සයිකෝසියාවක් නිර්මාණය කර ඔවුන් වසඟයට ගැනීමට වර්තමාන රස්පුටින් කපුවන් සමත්ය. දේශපාලකයා මෝඩයෙක් නම් නාස් ලනුව කපුවාට පහසුවෙන් දමා ගත හැක. කපුවන්ට මුදල්, රත්රන්, ඉඩම්, ගැහැණු ගලාගෙන එන අතර මිත්‍යාව විශ්වාස කරන ජනයා කරවටක් එරිලාය. සංවර්ධිත රටවල් දියුණු වුයේ මෙවැනි මිත්‍යාව වපුරන කපටින් සිරගත කොට හෝ මානසික රෝහල් වලට ඇතුලත් කිරීමෙනි. නමුත් ලංකාවේ මෙවැනි කපටින් සහ අර්ධ මානසික රෝගීන් දෙවියන්ගේ මාධ්‍ය ලෙස සලකති. ලංකාව තවමත් නොදියුණු සහ අවසංවර්ධිත රටක් වීමට මෙම මිත්‍යා වපුරන්නන් (කපුවන් කට්ටඩියන් ගේ මෙන්ම ඔවුන්ට කුලියට ප්‍රසිද්දිය ලබා දෙන මාධ්‍යවේදීන් ) ගේ කෙරුවවල්ද හේතු කරනා වේ.